පොලිතින් මෙතරම් විසකුරුද? | දිනමිණ

පොලිතින් මෙතරම් විසකුරුද?

 

අද වනවිට පොලිතින් භාවිතය හිසරදයක් බවට පත්ව ඇත. මේ නිසා, ලෝකයේ බොහෝ රටවල පොලිතින් තහනම් කිරීමට විවිධ වැඩසටහන් ක්‍රියාත්මක කරමින් සිටී. තවත් සමහර රටවල් පොලිතින්

ප්‍රතිචක්‍රීකරණය කිරීම කෙරෙහි අවධානය යොමු කරයි. මේ කිසිදු වැඩපිළිවෙළක් මුළුමනින්ම සාර්ථක වී ඇති බවක් වාර්තාවල සඳහන් නොවේ. එම තත්ත්වය තුළ අනාගත ලෝකය පොලිතින් සමඟ කවර දිශාවකට ගමන් කරනු ඇත්ද? යන ගැටලුව පැන නැඟී ඇත. පොලිතින් භාවිතය සම්බන්ධයෙන් අපේ රටෙත් බොහෝ සෙයින් කතාබස් ඇති වී තිබෙන මේ කාලයේ, පොලිතින් ගැනදැනුම්වත් වීම වැදගත් ය.

අවසානයක් නැති කතාවක ආරම්භය

පොලිතින් පළමුවෙන්ම සංස්ලේෂණය කළේ හැන්ස් වොන් පීච්මන් නමැති ජර්මානු ජාතික රසායන විද්‍යාඥයායි. ඔහු එය සිදු කළේ 1898 වසරේදී බව සඳහන් වේ. එතැන් පටන් විවිධ විද්‍යාඥයන් අතින් පොලිතින් සංස්ලේෂණය පිළිබඳ පර්යේෂණ සිදු කෙරී ඇත. ඒ පර්යේෂණ හරහා අත්පත් කරගත් දැනුම, මහා පරිමාණ වශයෙන් පොලිතින් නිෂ්පාදනය කිරීමට ඉවහල් විය. ආරම්භයේදී පොලිතින් නිෂ්පාදනය සුළු පරිමාණ මට්ටමෙන් සිදු වුවත්, ජනගහන වර්ධනයත් සමඟ පොලිතින් නිෂ්පාදනය නොසිතූ නොවිරූ තරමට වේගවත් විණ. අද වනවිට වසරකට නිෂ්පාදනය කෙරෙන පොලිතින් ප්‍රමාණය, මෙට්‍රික් ටොන් මිලියන 100 ඉක්මවා යන බව සඳහන් වේ.

විනාශයක් ඇති මුත් විනාශ කළ නොහැකිය

භාවිතයෙන් පසු ඉවත ලන පොලිතින් ප්‍රමාණයත්, පොලිතින් නිෂ්පාදනය තරම් ම වේගවත් වුණේ ජනගහන වර්ධනයත් සමඟ ය. පොලිතින් ඉවත ලෑම බරපතළ පාරිසරික ගැටලුවකි. එයට හේතුව පොලිතින් දිරාපත් නොවීම ය. මේ නිසා, පොළොව ගොඩ කිරීම වැනි කටයුතු සඳහා පොලිතින් යොදා ගැනීම සිදුවේ. පස් යට වළලා දැමූ පළමු පොලිතින් කැබැල්ලවත් තවම දිරා පත් නොවී ඇතිවාට සැකයක් නැති බව විද්‍යාඥයෝ පවසති. වැළලීම හැරුණු විට පොලිතින් පුළුස්සා විනාශ කිරීමත් කෙනකුට යෝජනා කරන්නට පුළුවන. එහෙත් එය ද සුදුසු නැත. පොලිතින් පුළුස්සන විට හානිකර වායූ බැහැර වීම බරපතළ ගැටලුවකි. මේ නිසා, පොලිතින් විනාශ කිරීම සඳහා ඇති ප්‍රයෝගික විසැඳුම් අල්ප වී ඇත.

වැඩි විනාශය බෑග් එකේ

මිනිසාගේ පොලිතින් භාවිතයේ එක භයානක පැතිකඩක් නිරාවරණය කරන්නේ ඔහුගේ පොලිතින් බෑග් භාවිතයයි. භාණ්ඩ අසුරන කාර්යය ගැන සලකා බලන විට පොලිතින් බෑග් නැතිවම බැරිය. දැනට ගණන් බලා අන්දමට භාවිතයට ගෙන වරසකට ඉවත ලන පොලිතින් බෑග් සංඛ්‍යාව ට්‍රිලියනයකට අධිකය. මේ සා විශාල පොලිතින් බෑග් සංඛ්‍යාවක් වසරක් පාසා මහ පොළොව මත එකතුවීම කෙතරම් බරපතළ තත්ත්වයක්දැයි කියා ඔබට සිතා ගත හැකි ය.

කොතැනටත් කරදරයක්

ලෝකයේ පවත්නා පරිසර පද්ධති විවිධාකාර ය. ඒ අතර ජලජ, කාන්තාර, වන, තෘණ භූමි සහ තුන්ද්‍රා පරිසර පද්ධති ප්‍රධාන ය. පොලිතින් නිසා ලෝකයේ පවත්නා මේ සෑම පරිසර පද්ධතියකටම හානි පැමිණේ. නිදසුනක් හැටියට දැක්වුවහොත් එක්සත් අරාබි එමීර් රාජ්‍යයෙහි කාන්තාර ආශ්‍රිතව ජීවත්වන ඔටුවන් සහ වඳ වී යන ජීවී විශේෂ පොලිතින් මිශ්‍ර ආහාර ගැනීම නිසා මරණයට පත්වන බව වාර්තා වේ.

සෞඛ්‍යයට අහිතකරයි

බොහෝ පොලිතින්වල අඩංගු බහු ක්ලෝරිනිකෘත බයිෆීනෝල සහ බහු චක්‍රීය ඇරෝමටික හයිඩ්රො කාබන මිනිසාගේ සිරුරට අහිතකර ය. එකී රසායනික ද්‍රව්‍ය මිනිසාගේ ශරීරය අභ්‍යන්තරයට පිවිසෙන්නේ, මුහුදට පොලිතින් එකතු වී, ඒවා මත්ස්‍යයන් ආහාරයට ගැනීම නිසා ය. ඉන් පසු එකී රසායනික ද්‍රව්‍ය ආහාර ජාලවලට එකතු වේ. ඒ හරහා සිරුරට පිවිසෙන එම රසායනික, මිනිසාගේ හෝර්මෝන පද්ධතියේ ක්‍රියාකාරිත්වයට බාධා පමුණුවයි. එමෙන් ම, පිළිකා ඇතිවන්නටත් එම රසායනික හේතු වන බව තහවුරුවී ඇත.

වැඩි පිරිවැයක් දරා අයහපත ගෙන්වා ගැනීම

මිනිසාට මෙන් ම ඔහු ජීවත් වන පරිසරයට මේ සා මහා විශාල හානියක් කරන පොලිතින් සඳහා, මිනිසා විශාල ධනයක් වැය කරන බව ඔබ දන්නවාද? එකී වියදම දරන්නට සිදුවන්නේ පොලිතින් නිෂ්පාදනය කිරීමේදී ය. ප්ලාස්ටික් බෑග් 9ක් නිෂ්පාදනය කිරීමට වැය කෙරෙන බලශක්ති ප්‍රමාණයෙන්, මෝටර් රථයක් කිලෝමීටර භාගයක පමණ දුරක් ධාවනය කරවිය හැකි බව විද්‍යාඥයෝ පවසති.

ඉදිරියටත් ඒ අයහපතේ වෙනසක් නැත

පොලිතින් භාවිතයේ තත්ත්වය මේ තරම් බරපතළ තැනෙක තිබුණ ද, ඉදිරියේදීත් පොලිතින් නිෂ්පාදනය වැඩිවනවා මිස අඩුවීමක් නොවන බව විද්‍යාඥයන්ගේ මතයයි. ජනගහනය අධික රටවල් පොලිතින් භාවිතයට පෙලඹීම නිසා, අනාගතයේදී බරපතළ පාරිසරික ගැටලුවලට මුහුණ දෙනු ඇතියි මත පළ වේ. දැනට කෙරෙන ගණන් බැලීම් අනුව 2023 වර්ෂය වනවිට ඉන්දියාවේ පොලිතින් භාවිතය පමණක් 129%කින් පමණ වැඩි වනු ඇත.

විසැඳුමක් නැද්ද?

පරිසරයට පොලිතින් එකතුවීම අවම මට්ටමකට රැගෙන ඒමට නම්, එක්කෝ ඒවා ප්‍රතිචක්‍රීකරණය කිරීමට සිදු වේ. එහෙමත් නැත්නම් ඒවා භාවිතයෙන් ඉවත් කිරීමට සිදු වේ. දිරාපත් වන පොලිතින් හඳුන්වා දීම තවත් වැදගත් පියවරකි. මේ සෑම පියවරක්ම පාහේ විවිධ රටවල් අත්හදා බලා ඇත. එසේ වුවත්, වසරකට පොලිතින් බෑග් මිලියන 300කට අධික ප්‍රමාණයක් කැළි කසළ හැටියට මහ මුහුදට එකතු වීම වළක්වා ගැනීමට මිනිසා තවමත් අපොහොසත් වී ඇත.

තහනම විසැඳුමක් නොවෙයිද?

පොලිතින් භාවිතය තහනම් කළ රටවල් අතර කැපී පෙනෙන්නේ අප්‍රිකා කලාපයේ රටවල් ය. පොලිතින් තහනම ගෙන එන්නට පළමුවෙන් පියවර ගත් අප්‍රිකා රාජ්‍ය, දකුණු අප්‍රිකාවයි. ඉන් පසු තවත් අප්‍රිකා රටවල් 14කට ආසන්න සංඛ්‍යාවක් පොලිතින් තහනම් කරන්නට හෝ පොලිතින් භාවිතයට ගන්නන්ගෙන් බදු මුදලක් අය කරන්නට හෝ පියවර ගත්තේ ය.

මේ රටවල් අතර කෙන්යාව, මාලි, කැමරොන්, ටැන්සානියාව, උගන්ඩාව, ඉතියෝපියාව, මලාවි, මොරොක්කෝව, රුවන්ඩාව සහ බොට්ස්වානා යන රාජ්‍ය ඇත. එසේ වුවත්, කළු කඩ මුදලාලි හරහා වෙළෙඳ පොළට පොලිතින් නැවත පැමිණීම වැළක්විය නොහැකි මට්ටමකට පැමිණ තිබේ.

අප්‍රිකා රටවල් හැරුණු විට ලෝකයේ සංවර්ධිත රාජ්‍ය රැසක් ද පොලිතින් භාවිතයට වැට බඳින්නට උත්සාහ ගනිමින් සිටී.

ශ්‍රී ලංකාවත් එතැන ඇත පොලිතින් සහ ප්ලාස්ටික්

මුහුදට හෙලමින් මුහුද අපවිත්‍ර කරන රටවල් අතර පෙරමුණෙන්ම සිටින්නේ චීනය, ඉන්දුනීසියාව, පිලිපීනය, වියට්නාමය සහ ශ්‍රී ලංකාව යන රටවල් ඇති බව ඔබ දන්නවද?ඔබගේ පොලිතින් සහ ප්ලාස්ටික් භාවිතයත් ඒ සඳහා හේතු වී ඇතිවාට සැකයක් නැත. ඒ ගැන සිතා බලා පොලිතින් සහ ප්ලාස්ටික් භාවිතය අවම කරමින් කටයුතු කරන්න සිතට ගන්න.

අන්තර්ජාලයෙනි

මංජුලා විජයරත්න 

 

නව අදහස දක්වන්න