බේත් නොමිලේ... වාහ­නේට රුපි­යල් සීයයි | දිනමිණ

බේත් නොමිලේ... වාහ­නේට රුපි­යල් සීයයි

ටොම්සන් මහත්තයාත්, උන්නැහේත් උදේ පාන්දරම ගියේ ආණ්ඩුවේ මහ ඉස්පිරිතාලයටය.

“මේක ඉතින් එක දවසක්ම ඇරෙන වැඩක් නේ. නේද ටොම්සන් මහත්තයා...” කියා උන්නැහේ කීවේ යතුරුපැදි නැවතුම් පොළේ යතුරුපැදිය නවතමිනි. යතුරුපැදි හා ත්‍රීරෝද රථවලට ටිකට් කඩන්නෝ රතු කබා පැලඳ ගෙන එහා මෙහා යති.

“මං මෙතනට එන හැමදාම කල්පනා කරන්නේ මේ කුණු ඇළ ගැන උන්නැහේ... මේක කොයි තරම් අපවිත්‍රද? රෝහලක් අවට කිව්වාම කොයි තරම් පිරිසිදුවට තියෙන්න. ඕනැද? ”

“ඒක මෙහෙමනේ ටොම්සන් මහත්තයා. පාරෙන් මෙහා පැත්තේ රෝහලට අයිති නෑනේ. ඒක අයිති මහ නගර සභාවට නේ...” කියා උන්නැහේ කීවේය. ” ටොම්සන් මහත්තයා... දන්නවද මේකේ කතන්දරේ...?”

“මොන කතන්දරද උන්නැහේ... මෙතන මොනවද තියෙන කතන්දර?”

“ඇයි ටොම්සන් මහත්තයා... ඔය ඇළ අයිනෙන් තියෙන වෙළඳ මධ්‍යස්ථානේ බලන්නකෝ... ඒකේ ඇතුළෙ නැත්තේ මොනවද? හෝටල්... බේත් සාප්පු... රෙදි පිළි... හරියට සැමන් ඇහුරුවා වගේ... ඒ වුණාට කතන්දරේ ටොම්සන් මහත්තයා... නගර සභාවෙන් ඕකට බදු ගන්නවා... ඒ වුණාට ලයිටුත් නෑ.. වතුරත් නෑ.. පිරිසිදු කමකුත් නෑ... එක මං ඔය හෝටලේකින් ඉඳි ආප්ප කාලා මට බඩේ අමාරුවකුත් හැදුණා... ”

“ඇත්තට... එහෙනම් මං පෝළිමේ ඉඳලා දොස්තර මහත්තයා හම්බු වෙලා... බේත් ලියා ගෙන එන්නම්... උන්නැහේ පුළුවන් නම් බේත් ගන්න පෝළිමේ ඉන්න... එතකොට අපිට ටිකක් ඉක්මනට යන්න පුළුවන්...”

ටොම්සන් මහත්තයා ක්ලිනික් එකට ගියේය. උන්නැහේ බෙහෙත් දෙන පැත්තට ගියේය. ටොම්සන් මහත්තයාටත් පෝළිමය. බෙහෙත් දෙන පැත්තේද පෝළිමය. සෙනඟ සූ ගාලා පිරිලාය. බෙහෙත් ගන්න ඉන්න අය පුටු පේළියේ ඉඳ ගෙන සිටිති.

”අපරාදේ කියන්න බෑ.. හොඳට පුටු දාලා විදුලි පංකා හයි කරලා... ඒ අතින් නම් බොහොම හොඳයි... ඒ වුණාට ඉන්න සෙනඟ තමයි වැඩි... පෝළිම එන්න එන්න වැඩි වෙනවා...” කියා උන්නැහේ තනිවම කියා ගත්තේය.

ඒ අතර බෙහෙත් ගන්න ආ අයගෙන් පුටු පේළි පහක්ම පිරුණේය. උන්නැහේ ඉඳ ගෙන ඉන්නේ ටොම්සන් මහත්තයා එන තුරුය. ඒ හින්දා පෝළිමේ ඉස්සරහට යන්නත් බැරිය. එක තැන ඉන්නත් බැරිය.

” උන්නැහේ මොකද ඔතන ඔය කරන්නේ...? බේත් ගන්නද ඉන්නේ... ? ” කියා සැර දැමුවේ එතැන සිටි රෝහල් සේවකයෙකි.

“ ඔව්.. මං බේත් ගන්න තමයි ඉන්නේ... තාම බේත් ලියා ගෙන ආවේ නෑ.. එනකං තමයි මං ඉන්නේ....දැන් ළඟ එනවා ඇති...” කියා උන්නැහේ උත්තර බැන්දේය.

“ ඒවා හරි යන්නේ නෑ... පෝළිමේ ඉන්න ඕනෑ ලෙඩා... නැතිනම් බේත් ගන්න තුණ්ඩුව තියෙන්න ඕනෑ... පෝළිමේ තැන් අල්ලන්න බෑ... යන්ඩ ඔතනින්...”

“ ඒක හරි අසාධාරණයි නේ... ලෙඩා දැන් පැය දෙක තුනක් අතන පෝළිමේ ඉඳලා එන්නේ.. ඉතින් ආයෙත් මෙතනත් පැයක් දෙකක් පෝළිමේ ඉන්න වෙනවා නේ...” කියා උන්නැහේ පුදුමයෙන් කීවේය.

“ එහෙම තමයි.. නැගිටින්න ඔතනින්.... ලෙඩා ආවාම කියන්න පෝළිමේ ඉඳලා බේත් ගන්න කියලා...”

උන්නැහේ පෝළිමෙන් ඉවත් වී අයිනක හිට ගත්තේය. ටොම්සන් මහත්තයා බේත් ලියා ගෙන එන විට පැය තුනකටත් වඩා ගෙවී ගොසිනි.

“ ඇයි පෝළිමේ හිටියේ නැත්තේ?” කියා ටොම්සන් මහත්තයා පුදුමයෙන් ඇසුවේය.

“ හිටියා හිටියා.. ඒ වුණාට ලෙඩාම ඉන්න ඕනැලූ පෝළිමේ... නැතිනම් බේත් පත්තියං වෙන්නේ නැතිලූ...” කියා උන්නැහේ සිනහසුණේය.

ටොම්සන් මහත්තයා බේත් ගන්න විට තවත් පැය දෙකක් ගෙවී ගියේය. උන්නැහේත් ටොම්සන් මහත්තයාත් හෙමිහිට ඇවිද ගෙන ගියේ යතුරු පැදිය වෙතය.

“ රුපියල් සීයක් දෙන්ඩ...” කියා රතු කබා කාරයා කීවේය.

“ රුපියල් සීයක්...? ” කියා ටොම්සන් මහත්තයා පුදුමයෙන් ඇසුවේය.

“ ඔව්.. උදේ ආවේ අට හමාරට... එතකොට නවය හමාර... දහය හමාර.. එකොළහ හමාර... දොළහ හමාර.. එක හමාරත් පැනලා... පැය පහයි... එතකොට රුපියල් සීයයි...”

“ මේක යකාගේ කතාවක් නේ ටොම්සන් මහත්තයා... යතුරු පැදිවලට ගන්නේ රුපියල් දහයයි නේද? එතකොට මේ රුපියල් විස්සක් ගන්නේ මොකද? ”

“ ඒවා එහෙම තමයි.. මේවා අපි අරන් ඉන්නේ නගර සභාවට සල්ලි ගෙවලා.. මං දවසකට රුපියල් තුන්දාහක් හොයන්න ඕනෑ... ඒවයින් වැඩක් නෑ.. සීයක් දෙන්න..” කියා රතු කබා කාරයා බොහොම චණ්ඩි හඬකින් කීවේය.

ටොම්සන් මහත්තයා රුපියල් සීයක් ගෙව්වේය.

” මේක ගැන කතා කරලා වැඩක් නෑ... නගර සභාවට යුතුකමක් තියෙනවා රෝහල වගේ තැනකට එන යතුරු පැදිවලින් ත්‍රීරෝද රථවලින් ගාස්තු නිදහස් කරන්ඩ... දැන් බලන්ඩ පැය පහක් ඉස්පිරිතාලේ.. මෙතන පැය පහට රුපියල් සියයි. ලෙඞ්ඩු මරා ගෙන කනවා වගේ නේ නගර සභාව සල්ලි හම්බ කරන්නේ...” කියා ටොම්සන් මහත්තයා බොහොම කනගාටුවෙන් කීවේය.

“ ඕකේ තව පැත්තකුත් තියෙනවා.. රෝහල් බලධාරීන්ටත් යුතුකමක් තියෙනවා.. තමන්ගේ රෝහලට එන රෝගීන්ගේ යතුරු පැදි ත්‍රීරෝද රථ නවත්තන්න නිදහස් රථ ගාලක් හදන්න. එහෙම නැතිනම් නගර සභාවත් එක්ක කතා කරලා රෝහල ඉදිරිපිට කොටස ගාස්තුවලින් නිදහස් කර ගන්න.”

“ ඔව්.. ඒක ඇත්ත උන්නැහේ... ඒ වුණාට මෙතනට එන්නේ ලොකු කාර්වලින් එන අය නෙවෙයි නේ.. ඒ ගොල්ලෝ යන්නේ පුද්ගලික රෝහල්වලට... මෙතනට එන්නේ මේ රටේ ඉන්න අහිංසක පුරවැසියෝ... ඒකයි කතන්දරේ.... බේත් නොමිලේ... ප්‍රතිකාර නොමිලේ... ගොඩනැඟිලිවලට වරිපණම් අය කරනවා.. ඒ වුණාට ගනුදෙනුකාරයන්ට වාහනයක් නවත්තන්න තැනක් නෑ.. ඒකටත් බදු ගහනවා... මේක නිකම් අලුත් විකට නාට්‍ය පිටපතක් වාගේ...අපි යමු...” කියමින් ටොම්සන් මහත්තයා යතුරු පැදියට නැග්ගේය.

බන්දුල පී දයා­රත්න

නව අදහස දක්වන්න