ගෝඨාභයගේ පෙත්සමේ ඒකපාර්ශ්වික තීන්දුවට නීතිපතිගේ විරෝධය | දිනමිණ

ගෝඨාභයගේ පෙත්සමේ ඒකපාර්ශ්වික තීන්දුවට නීතිපතිගේ විරෝධය

අභියාචනාධිකරණය හමුවේ කරුණු ඉදිරිපත් කරයි

හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාට එරෙහිව පොදු දේපළ පනත යටතේ කටයුතු කිරීම වළක්වමින් අතුරු තහනම් නියෝගයක් ඒකපාර්ශ්විකව නිකුත් කිරීම සහ එම නියෝගය තවදුරටත් දීර්ඝ කිරීම සම්බන්ධයෙන් නීතිපතිවරයා ඊයේ (06) අභියාචනාධිකරණය හමුවෙහි විරෝධය පළ කෙළේය.

අධිකරණයට අසත්‍ය කරුණු ඉදිරිපත් කරමින් සහ අධිකරණය නොමග යවමින් පෙත්සම්කරු මෙම අතුරු නියෝගය ලබාගෙන ඇති අතර එම නියෝගය නිකුත් කිරීමේදී නීතිපතිවරයාගෙන් කරුණු විමසා නැති බවද එම අතුරු තහනම් නියෝගය තවදුරටත් දීර්ඝ කිරීමට පෙර හෝ කරුණු දැක්වීමට නීතිපතිවරයාට අවස්ථාව දෙන ලෙසද නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් විරාජ් දයාරත්න මහතා ඉල්ලා සිටියේය.

ඒ අනුව එම කරුණු ඉදිරිපත් කිරීම සඳහා ලබන දෙසැම්බර් මස 15 වැනිදා නීතිපතිවරයාට අවස්ථාව ලබාදීමට තීරණය කළ අභියාචනාධිකරණය ගෝඨාභය රාජපක්ෂ මහතාට එරෙහිව පොදු දේපළ පනත යටතේ කටයුතු කිරීම වළක්වමින් ඉකුත් නොවැම්බර් මස 29 වැනිදා නිකුත් කරන ලද අතුරු තහනම් නියෝගය දෙසැම්බර් මස 15 තෙක් බලපවත්වන පරිදි දීර්ඝ කිරීමට නියෝග කෙළේය.

අභියාචනාධිකරණ සභාපති විනිසුරු එල්.ටී.බී. දෙහිදෙනිය සහ අභියාචනාධිකරණ විනිසුරු ශිරාන් ගුණරත්න යන මහත්වරු ඉදිරියෙහි මෙම පෙත්සම ඊයේ (06) කැඳවන ලදී.

හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය නන්දසේන රාජපක්ෂ මහතා විසින් මෙම පෙත්සම ගොනු කරන ලදී.

පොලිස්පතිවරයා, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ශානි අබේසේකර, මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයේ නියෝජ්‍ය ‍පොලිස්පති රවි වෛද්‍යාලංකාර, එහි සහකාර පොලිස් අධිකාරී කමල් පලිස්කාර සහ නීතිපතිවරයා මෙහි වගඋත්තරකරුවෝ වෙති.

ඩී.ඒ. රාජපක්ෂ අනුස්මරණ කෞතුකාගාරය ඉදිකිරීම සම්බන්ධයෙන් ඉඩම් ගොඩකිරීමේ සහ සංවර්ධනය කිරීමේ මණ්ඩලය සමඟ සිදු කළ බව කියන ගණුදෙනුවකට අදාළව පෙත්සම්කරුට එරෙහි ගාල්ල මහේස්ත්‍රාත් අධිකරණයට බී වාර්තාවක් ඉදිරිපත් කර ඇති අතර පොදු දේපළ පනත යටතේ තමන්ට එරෙහිව කටයුතු කිරීමෙන් වගඋත්තරකරුවන් වළක්වන ලෙස පෙත්සම්කරු විසින් අධිකරණයෙන් ඉල්ලා තිබිණි. ඒ සඳහා සහකාර පොලිස් අධිකාරිවරයා ඉදිරිපත් කර ඇති සහතිකය බලරහිත කරන ලෙසද ඉල්ලා තිබිණි.

මෙම පෙත්සම පිළිබඳ කරුණු සලකාබැලීම ඉකුත් නොවැම්බර් මස 28 දින සිදු කළ අතර අතුරු තහනම් නියෝගය පිළිබඳ නියෝගය 29 දින ලබාදීමට නියම කෙරිණි.

ඒ අනුව ඉකුත් නොවැම්බර් මස 29 වැනිදා මෙම පෙත්සම අදාළ නියෝගය සඳහා කැඳවූ අවස්ථාවේදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජෙනරාල් දිල්රුක්ෂි ඩයස් මහත්මිය පෙත්සම සම්බන්ධයෙන් විරෝධය පළ කළාය.

නීතිපතිවරයාට නොතීසි දැන්වීමකින් හෝ තොරව ඒකපාර්ශ්විකව මෙම පෙත්සම සලකා බලා ඇති අතර අතුරු තහනම් නියෝගයක් සම්බන්ධයෙන් ඉල්ලීමක් ඇති බව තමා එදින පුවත්පත්වලින් දැනගැනීම මත අධිකරණයට පැමණි බවද අය එදින සඳහන් කළාය. ඒකපාර්ශ්වික කරුණු විමසීමකින් පමණක් අතුරු නියෝගයක් නිකුත් කිරීම නීතියට පටහැනි බැවින් කරුණු දැක්වීමට තමන්ට අවස්ථාව දෙන ලෙසද ඇය ඉල්ලා සිටියාය.

එහෙත් අදාළ නියෝගය ප්‍රකාශ කිරීමට සූදානම්ව ඇති බැවින් අතුරු තහනම් නියෝගයක් තාවකාලිකව නිකුත් කිරීමට අධිකරණය තීරණය කෙළේය.

ඊයේ (06) මෙම පෙත්සම කැඳවූ අවස්ථාවේදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් විරාජ් දයාරත්න මහතා සඳහන් කළේ අධිකරණය නොමග යවමින් සහ වැරැදි කරුණු ඉදිරිපත් කරමින් ඒකපාර්ශ්විකව අතුරු තහනම් නියෝගයක් ලබාගැනීමට පෙත්සම්කරුගේ නීතිඥවරු කටයුතු කර ඇති බවය.

වගඋත්තරකාර පාර්ශ්වය දැනුවත් කිරීමකින් තොරව එලෙස අතුරු නියෝග නිකුත් කිරීම නීතියට පටහැනි බව කී ඒ මහතා ඊයේ (06) දින තෙක් බලපාන පරිදි නිකුත් කර තිබූ එම අතුරු නියෝගය දීර්ඝ කිරීමට එරෙහිව කරුණු දැක්වීමට අවස්ථාව දෙන ලෙස ඉල්ලා සිටියේය.

මෙහිදී පෙත්සම්කරු වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා මහතා කියා සිටියේ තමන් අදාළ පෙත්සම සම්බන්ධ නොතීසි නීතිපතිවරයා වෙත යැවූ බවය. එදින පස්වරු 4.00ට තමාට නොතීසි ලැබුණු බව ඉකුත් 29 වැනිදා අධිකරණයේ පෙනී සිටි අතිරේක සොලිසිටර් ජෙනරාල්වරිය සඳහන් කළ බව ඔහු කීවේය.

ජනාධිපති නීතිඥවරයාගේ එම ප්‍රකාශය අසත්‍ය බව කී නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරයා අතුරු තහනම් නියෝගය සහ පෙත්සම සම්බන්ධයෙන් කරුණු දැක්වීමට අවස්ථාව ඉල්ලා සිටියේය.

නීතිපතිවරයාගේ විරෝධතා පිළිබඳ ලේඛන මෙතෙක් තමන්ට නොලැබී ඇති බැවින් එය පසුව සලකා බැලීමට තීරණය කළ විනිසුරු මඬුල්ල ඒ සඳහා දෙසැම්බර් මස 15 දින පෙත්සම කැඳවීමට නියම කෙළේය.

නෙල්කා මැදගෙදර 

 

නව අදහස දක්වන්න