සිනා­සෙන වැව සහ පුරන් වූ හද­වත | දිනමිණ

සිනා­සෙන වැව සහ පුරන් වූ හද­වත

වැව හිනාවෙන විට ලස්සන ය. වැව හිඳුණ විට ඒ දසුන සෝබර ය. පුරන් වූ හදවතක් වැන්න. “තමුසෙ නොයා වෙන යන්න මිනිහෙක් නැද්ද ඕකට..“ උතුරු නැගෙනහිර සංචාරයක යෙදෙන වෘත්තීයවේදීන් පිරිසක් ගමනට එක්වන්නැයි මට කළ ඇරියුම ඉවතලන්නට සිදුවූයේ නිවසෙන් පිටවුණු රළු වදන් හේතුවෙනි.... එවිට හදවත පුරන් ව ගියේ ය....දියසිඳී ගිය වැව් පතුල් සිහිවීම හේතුවෙනි.

මීට වසර දෙකකට පමණ පෙර ඔවුන් සමග කළ සංචාරයෙන් පසුව වැව හිනාවෙන ලස්සන ඇතුළු ලිපි කිහිපයක් ම ලියැවිණ. එම ගමන යද්දී ඇස ගැටුණේ මහ වැසි ඇදහැලීමෙන් පසුව පිබිදෙමින් පවතින ජනදිවියයි. වැව් පිරී තිබිණ. නෙලුම්, මානෙල්, ඕලු, කෙකටිය, කුමුදු ඈ මලින් වැව් බඳ සැරසී තිබිණ. ගැමි ලියකගේ සිනාව පරිද්දෙනි. පන් කුකුළෝ ගීත ගැයූහ...‘අන්න වැව හිනාවෙනවා‘ මට ඉබේට ම කියවිණ....ගොවියෝ හේන් කුඹුරු අස්සද්දමින් සිටියහ....දැනගන්නට ඇති පරිදි මේ වනවිට පළාත් කිහිපයක කන්න පහක් පාළුවී තිබේ. අපගේ සංචාරය යෙදී තිබුණේ උතුරු මැද පළාත මැදිනි. පුත්තලම නොච්චියාගම, ඔයාමඩුව, යෝධවැව, මන්නාරම, වව්නියාව, පුලියන්කුලම, කිලිනොච්චිය පසුකර යාපනයට ගොස් විවිධ සමාජ තීරුවලට අයත් ජනතාව හමුවී ඔවුන්ගේ ජීවන තතු විමසීම ගමනේ එක් අරමුණකි.

මේ ලියන මොහොත වන විට මිතුරන් ගමන අරඹා ඇත. ගමනට සහභාගිවී පුවත්පත සඳහා යමක් ලියන්නෙමියි කතුවරයාට කී දේ බොරුවක් වී ඇත. ලිවීම සහ ජීවිතය සමබර නොවීමේ වේදනාව දරාගැනීම අසීරු ය. ඊනියා මාධ්‍ය සංචාරවලින් හොඳහැටි පාඩම් ඉගෙන ගෙන ඇති මා හට තෘප්තියකින් යමක් ලිවිය හැක්කේ මෙවැනි ගමනකින් පසුව ය. විවිධ ආයතනවලින් පැමිණෙන මාධ්‍යවේදීන් සමඟ කෙරෙන සංවාද බෙහෝ විට කෙලවර වන්නේ කලකිරීමෙනි. ජාතිවාදී විෂබීජ පිඹීමෙන් මිනිස් දිවිය යටපත් වීම ඊට හේතුවයි. එනිසා මිතුරු පිරිවර සමඟ යොදාගත් ගමන අහිමි වීම සෝකජනක ය.

මේ දිනවල පළාත් කිහිපයක් හැරුණු විට සෙසු පළාත්වල ජනදිවිය නියගයෙන් ඉරිතළා ගොසිනි. තිර බෝග ද මැරී තිබේ...සමහරු ‘නියං කොටති.‘ නියං කෙටීම යනු සහනාධාර ලබාගැනීම සඳහා ශ්‍රමදාන කටයුතුවල යෙදීම ය. වැව්වල කට්ටි කැපීම ද ඊට අයත් ය. නියං සමයෙහි සහල් හිඟවෙයි. බවබෝග අහිමිවීම නිසා සොබා දහම උරුම කරදෙන අල්ප දේවලින් දිවි සරිකර ගනිති. දරුණු නියං සමයකින් පසුව රැස්වෙහෙර ප්‍රදේශයට ගිය මා හට දැකගන්නට ලැබුණේ නියං කාලයේදී දලු ලන ලෝලු ගසේ ළපටි කොළ ගැමියන්ගේ එක ම ව්‍යංජනය වී ඇති බව ය. මන්නාරම් ගමනේ දී අමතක නොවන දසුනක් වනුයේ සැතපුම් හත අටක් දුරට විහිදෙන යෝධ වැවේ වෑකන්ද ය.

පසුගිය වාරේ යන විට වෑ කන්ද මායිමේ ද පුලියකුලමෙන් එපිට මඟ දෙපස ද සැතපුම් ගණනක් දුරට තෝර පැළ වැවී තිබිණ. එය අපූරු පලාවකි. ලොරි ගණනක් පැවිය හැකි තරම් දුරට නිල්ල ගැසී තිබිණ. මිතුරන්ගේ සිනා සයුර මැදින් තෝර කොළ උරයක් කොළඹ ගෙන ආවෙමි. අගනුවර සති අග පොළවලට තෝර කොළ එන හැටි නොදනිමි. ඉල්ලුම ගැන පමණක් දනිමි. මේ පලාවර්ග හඳුනන උදවිය මහපෙළොවෙන් ඒවා නෙළාගැනීම මදි පුංචිකමක් ලෙස සලකති. එනිසා ඇතැම් විට තමන්ට අයත් ඉඩමක මිටි ගොටුකොළ වැවී තිබියදී කඩෙන් පළල් පත්‍ර ගොටුකොළ ගනිති....කිලිනොච්චියට ආසන්න වෙද්දී මඟ දෙපස රටකජු මලු එල්ලාගත් දරුවෝ පාරට එති. නැගෙනහිර දී ගල්සියඹලා, දිවුල් මලු අතින්ගත් දරුවන් පසුගිය ගමන් වාරයේ දුටිමි. මිතුරනි මේ දරුවන්ගේ දෑස්වල කැල්මෙන් බිඳක් රැගෙන එන්න.

තිඹි­රි­යා­ගම බණ්ඩාර

නව අදහස දක්වන්න