ඉන්දු-ශ්‍රී ලංකා ටෙස්ට් ගැටුමට වැස්සෙන් බාධා | දිනමිණ

ඉන්දු-ශ්‍රී ලංකා ටෙස්ට් ගැටුමට වැස්සෙන් බාධා

සුරංග ලක්මාල් කඩුල්ලක් දවා ගැනීමේ ප්‍රීතිය සමරමින්.

සංචාරක ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම සහ ඉන්දියාව අතර කොල්කටාවේ ඊඩ්න් ගාර්ඩ්න් ක්‍රීඩාංගණයේදී ඊයේ ආරම්භ තරග 3කින් සමන්විත ටෙස්ට් තරගාවලියේ පළමු තරගයේ පළමු දිනය ඕවර 11 පන්දු 5කට සීමා විය.

ක්‍රීඩාංගණයට වරින් වර වර්ෂාව ඇද හැලීමත්, අයහපත් අලෝක තත්ත්වය හේතුවෙන් පස්වරු 4.10 වනවිට පළමු දිනයට තරගය නතර කිරීමට විනිසුරුවෝ කටයුතු කළහ.

ඒ වනවිට ඉන්දියාව කඩුලු 3ක් දැවී ලකුණු 17ක් රැස්කරගෙන සිටියේය. විශිෂ්ට පන්දු යැවීමක නිරතවූ සුරංග ලක්මාල් දැවී ගිය කඩුලු 3 ටම හිමිකම් කීවේ යැවූ ඕවර 6 ම නිලකුණු ඕවර ලෙස සටහන් කරමිනි.

වර්ෂාව හේතුවෙන් තරගයේ පළමු භාගය ක්‍රීඩා කිරීමට නොහැකිවූ අතර දිවා විවේකයෙන් අනතුරුව තරගයේ කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකා නායක දිනේෂ් චන්දිමාල් තණතීරුවේ ස්වාභාවයත්, වර්ෂාව නිසා ක්‍රීඩාංගණය වසා තැබීමෙන් තෙතමනය රදා පැවතීමත් හේතුවෙන් තම කණ්ඩායම පළමුව පන්දු යැවීමට තීරණය කළ බව කියා සිටියේය.

නායකයා ගත් තීරණය සාර්ථක එකක් බව පෙන්වු සුරංග ලක්මාල් ඉනිමේ පළමු පන්දුවෙන් ඉන්දීය ආරම්භක පිතිකරු ලෝකේෂ් රාහුල් දවා ගැනීමට සමත් විය.

මුළු ලකුණු සංඛ්‍යාව 13ක් වෙද්දී යළි ක්‍රියාත්මක වූ ලක්මාල් ඉන්දියාවට දෙවැනි කඩුල්ල අහිමි කරමින් ලකුණු 8ක් ලබා සිටි ශිකර් ධවාන් පිටියෙන් ඉවත් කළේය.

ඕවර 8.2ක් නිමා වෙද්දී යළි තරගයට වර්ෂාවෙන් බාධා ඇතිවූ අතර තරගය තේ පානය සඳහා නතර කෙරිණි. ඉන් අනතුරුව යළිත් ක්‍රියාත්මක කිරීමට හැකිවූයේ ඕවර 3.3ක් පමණි. ඒ අතරතුර තෙවැනි කඩුල්ලට පිටියට පිවිසි ඉන්දීය නායක විරාට් කෝලි ලකුණු ලබාගැනීමටත් පෙර යළි නරඹන්නකු බවට පත් කිරීමට සුරංග ලක්මාල් සමත්වූයේ 11වැනි ඕවරයේ පළමු පන්දුවෙන් කෝලි කඩුල්ල මුවා කිරීමේ වරදට හසුකරගැනීමෙනි. එම තීරණයට අභියෝග කළ කෝලි විනිසුරු විමසීමේ ක්‍රමවේදයේ පිහිට පැතුවද එය අසාර්ථක විය. තරගය නතර කරනවිට චෙටෙෂ්වර් පුජාරා නොදැවී ලකුණු 8ක් රැස්කරගෙන සිටියේය.

ශ්‍රී ලංකා කණ්ඩායම - දිනේෂ් චන්දිමාල් (නායක), දිමුත් කරුණාරත්න, සදීර සමරවික්‍රම, ළහිරු තිරිමාන්න, ඇන්ජලෝ මැතිව්ස්, නිරෝෂන් දික්වැල්ල, දසුන් ශානක, දිල්රුවන් පෙරේරා, රංගන හේරත්, සුරංග ලක්මාල්, ළහිරු ගමගේ

ඉන්දියානු කණ්ඩායම - විරාට් කෝලි (නායක), ශිකර් ධවාන්, ලෝකේෂ් රාහුල්, චෙටෙෂ්වර් පුජාරා, අජින්ක්‍ය රහානේ, රවිචන්ද්‍රන් අශ්වින්, විර්දිමාන් සාහා, රවින්ද්‍ර ජඩේජා, බුවනේෂ්වර් කුමාර්, උමේෂ් යාදව්, මොහොමඩ් ෂාමි 

නව අදහස දක්වන්න