ඔය ෆෝන් එක දැන් වැඩ කරන්නේ නැහැ | දිනමිණ

ඔය ෆෝන් එක දැන් වැඩ කරන්නේ නැහැ

කටුෙගයින් පැන්නූ කඩුව සෙවූ CID වික්‍රමය
5 කොටස

"අනේ මහත්තුරුනේ මමත් දවස් ගාණක් තිස්සේ මූ හොයනවා කොහේ ගියාද කියලා නෑ.

කරවල දෙන්නම් කියල පොරොන්දු වෙච්චි මිනිස්සුත් ගෙදරට ඇවිත් අහනවා. "

"පුතාගෙ සම්පූර්ණ නම මොකක්ද අම්මේ?"

"ලංසාගේ ප්‍රියන්ත මේදිස්"

"මෙයා කොච්චර කාලයක් තිස්සේ කරවල බිස්නස් එක කරනවද?"

"දැන් නම් මාස ගාණක් වෙනවා. ඉස්සරලාම එයා තැපෑලෙ වැඩ කළා නොවැ. ඔය පිළියන්දල පැත්තෙ තැපැල් කන්තෝරුවක තමයි හිටියේ. ඒ රස්සාව යස අගේට කරගෙන හිටියත් නරක යාළුවෝ ආශ්‍රය හින්දා කුඩු ගහන්න පටන් ගත්තා."

ජාතික කෞතුකාගාරයෙන් කෞතුක භාණ්ඩ සොරාගැනීමේ සිදුවීමට අදාළව මූලික විමර්ශන කටයුතු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් සිදුකෙරුණද, ඊට සමගාමීව කොළඹ අපරාධ කොට්ඨාසයෙන්ද අඛණ්ඩව පරීක්ෂණ සිදුකෙරෙමින් පැවතිණි. මෙම සිදුවීමට එවක ආණ්ඩුවේ ප්‍රබලයින් මැදිහත්වී ඇති බවට එල්ලවුණු චෝදනා මෙන්ම පාතාලයේ බිල්ඩර් ප්‍රසාද් සතුව තිබියදී සොයාගනු ලැබූ මයික්‍රෝ වර්ගයේ පිස්තෝලය කලකට ඉහතදී එල්.ටී.ටී.ඊ සංවිධානය විසින් භාවිතා කරන ලද ගිනි අවියක්වීමත් සිද්ධියේ බරපතළකම තවත් තීව්‍ර කරන්නට සමත්විය. මේ හේතුව නිසාම මෙම සිද්ධිය එල්.ටී.ටී.ඊ සංවිධානය යළි ප්‍රතිසංවිධානය කිරීමේ උත්සාහයක් සඳහා මුදල් සෙවීම අරමුණු කොට ගත් සංවිධානාත්මක වැඩපිළිවෙලක කොටසක්ද යන සාධාරණ සැකයක්ද මූලාරම්භයේදී පරීක්ෂණ කණ්ඩායම්වලට තිබිණි. පිළියන්දලින් අත්අඩංගුවට ගැනුණු කෞතුක භාණ්ඩ බිල්ඩර් ප්‍රසාද්ට ලැබුණු අයුරු පිළිබඳ සිදුකරමින් පැවති පරීක්ෂණවලට අදාළව කොළඹ, ඛෙත්තාරාම පිට්ටනිය ආශ්‍රිත ත්‍රී රෝද රථ ගාලේ කුලීරථ රියදුරු 'ත්‍රීවිල් අජිත්' අත්අඩංගුවට ගන්නා ලදී.

"කොහෙන්ද මේ බඩු හම්බවුණේ?

"ප්‍රියන්ත කියලා මං අඳුරන යාළුවෙක් දුන්නේ. එයා කුඩු වලට ඇබ්බැහි වුණු කෙනෙක්" ත්‍රීවිල් අජිත් කීවේය.

" ඇයි මේවා ගත්තේ?

"එයා මං කාලයක් තිස්සේ දන්න කෙනෙක්. කුඩු පැකට් එකක් ගන්න සල්ලි ඕන වුණාම ඔය මොනව හරි ගෙනත් දීලා සල්ලි ඉල්ලගෙන යනවා. ඒ පුරුද්දට තමයි මම එදත් ඕව ගත්තෙ."

"මොනව කියලද ඔහේට ඒවා දුන්නේ?

"පරණ දේවාලයක නිධානයකින් හම්බවෙච්චි බඩු වගයක් කියලා තමයි කීවේ. බිල්ඩර් ප්‍රසාද් ඒ වගේ ඇන්ටික් බඩුවලට කැමති හින්දා මං එයාට ටිකක් දුන්නා"

"වෙන කාටද දුන්නේ?

"ජුවලරි වැඩ කරන තැනකටත් දුන්නා" ත්‍රීවිල් අජිත් බොහෝ දේ අනාවරණය කළේය.

ප්‍රියන්ත නමැති අයකුගෙන් ලබා ගත් මෙම කෞතුක භාණ්ඩ වලින් කොටසක් බිල්ඩර් ප්‍රසාද්ට ලබාදීමට අමතරව ඔහුගේ මගපෙන්වීම හා අනුදැනුම මත විටෙන් විට රත්‍රන් භාණ්ඩ නිෂ්පාදන හා අලෙවිසැලකටද, තවත් මිතුරකුටද , ලබාදී ඇති බව ත්‍රීවිල් අජිත්ගේ ප්‍රකාශ මගින් තහවුරු විය.ත්‍රීවිල් අජිත්ගේ මිතුරෙකු වූ ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශයේ වෙළඳසලක් පවත්වාගෙන යන සුරංග ජනකාන්ත නැමැත්තකු අත්අඩංගුවට ගනු ලබන්නේ ඒ තොරතුරු ඔස්සේ සිදුවන පරීක්ෂණවල ප්‍රතිඵලයක් හැටියටය.

"ඔබ ත්‍රීවිල් අජිත්ගෙ යාළුවෙක්ද? ප්‍රියන්තගෙ යාළුවෙක්ද? පොලිසි ප්‍රශ්න කළේය.

"මං දෙන්නම අඳුරනවා සර්. ප්‍රියන්තත් ම‍ගේ කඩේට යන එන කෙනෙක්. මං ඇන්ටික් බඩුවලට කැමති හින්දයි, මනුස්සයට කුඩු ගහන්න සල්ලි කීයක් හරි ඕන හින්දයි මං ළඟට ඇවිත් හොයාගත්තු මොනව හරි දීලා සල්ලි අරන් යනවා.සුරංග ජනකාන්ත කියා සිටියේය.

ඔහුගේ හෙළිදරව් කිරීම්වලට අනුව කෞතුකාගාරයෙන් සොරා ගන්නා ලද පැරණි නෝට්ටු, ස්පෙසිමන්ට් යනුවෙන් සඳහන් කර තිබුණු නෝට්ටු මෙන්ම රන් හා රිදී කාසි කිහිපයක්, මැණික් ගල් ප්‍රමාණයක් ඔහුට මුදලට අලෙවි කර තිබුණේ මත්කුඩු වලට ඇබ්බැහිවී සිටින ඔහුගේ මිතුරෙකු වූ ප්‍රියන්ත විසින්මය. මෙම මැණික් ගල් වූ කලී කෞතුකාගාරයෙන් සොරකම් කරන ලද බස්තම් හා කඩු මිටිවල බහා තිබුණු ඒවා බැව් පසුව අනාවරණය විය. කෙසේ වෙතත් සුරංග ජනකාන්ත නමැති මෙම සැකකරු ළඟ තිබී පොලිස් බාරයට ගන්නා ලද ද්‍රව්‍ය මෙසේය.

01. කළු පැහැති සුදු ගල් අල්ලන ලද මුදුව

02. ස්පෙසිමන්ට් යනුවෙන් සඳහන් කර ඇති

රු.1000 නෝට්ටු 01.

03. ස්පෙසිමන්ට් යනුවෙන් සඳහන් කර ඇති

රු.500 නෝට්ටු 02.

04. ස්පෙසිමන්ට් යනුවෙන් සඳහන් කර ඇති

රු.100 නෝට්ටු 02.

05. ස්පෙසිමන්ට් යනුවෙන් සඳහන් කර ඇති

රු.50 නෝට්ටු 03.

06. ස්පෙසිමන්ට් යනුවෙන් සඳහන් කර ඇති

රු. 20 නෝට්ටු 02.

07. ස්පෙසිමන්ට් යනුවෙන් සඳහන් කර ඇති

රු. 10 නෝට්ටු 02.

08. ස්පෙසිමන්ට් යනුවෙන් සඳහන් කර ඇති

රු. 05 නෝට්ටු 01.

09. රු. 5000 ක් වටිනා රන් කාසි 01.

10. කැරට් 16 රු.500 යනුවෙන් සඳහන් කර ඇති

කුඩා රන් කාසි 01.

11. පාගෝදි (පෘතුගීසි) කාසි 02.

12. පැතලි කාසියක හැඩය ගත් ලොකු කැට 01.

13. පැතලි කාසියක හැඩය ගත් කුඩා කැට 01.

14. 40 වන සංවත්සරය මුද්‍රණය කරන ලද

රු.500ක වටිනාකම දැක්වෙන රිදී පැහැති

කාසි 01යි.

15. මුහුණත කාන්තාවකගේ රුවක් මුද්‍රණය කරන

ලද කානේසියන් වර්ගයේ ගල් 01.

16. විවිධ වර්ණයෙන් යුතු ලොකු මැණික් ගල් 06.

17. විවිධ වර්ණයෙන් යුතු කුඩා මැණික් ගල් 53.

18. මල් වැල් කැටයම් කරන ලද ලෝහ වලින් යුතු

හතරැස් කුඩා කැබලි කොටස් 02.

මෙම භාණ්ඩ පොලිස් බාරයට ගැනීමෙන් පසුව ත්‍රීවීල් අජිත්ගේම ප්‍රකාශ අනුව හෙළිදරව් වූ කොස්ගස් හංදියේ ස්වර්ණාභරණ ව්‍යාපාරික ස්ථානයක් හිමි චන්ද්‍රසේකරන්ගෙන් පොලිස් නිලධාරීන් කළ ප්‍රශ්න කිරීම්වලදී තවත් වැදගත් තොරතුරු මෙන්ම කෞතුක භාණ්ඩ තොගයක්ද, සොයාගැනීමට හැකිවිය. මොහුට කෞතුකාගාර භාණ්ඩ අලෙවි කර ඇත්තේද ප්‍රියන්ත මේදිස් නමැත්තාමය. මත්කුඩු වලට ඇබ්බැහිවී ඇතැයි කියන මිත්‍රයාමය. අවස්ථා කිහිපයකදීම ඔහුගෙන් රන් හා රිදී භාණ්ඩ ලබාගෙන ඇති චන්ද්‍රසේකරන් ඒවා අලුත් රන් භාණ්ඩ සෑදීම සඳහා උණු කර තිබුණි. එලෙස උණුකිරීමෙන් පසු රන් හා රිදී බාර් හෙවත් සිලින්ඩරාකාර කොටස් ලෙස ළඟ තබාගෙන තිබියදී පොලිස් බාරයට පත්වූ භාණ්ඩ මෙපරිදිය.

01. ග්‍රෑම් 130.480 ක් බරැති සිලින්ඩරාකාර

රත්‍රන් බාර් 01.

02. ග්‍රෑම් 120.330 ක් බරැති සිලින්ඩරාකාර

රත්‍රන් බාර් 01.

03. ග්‍රෑම් 32.310 ක් බරැති සිලින්ඩරාකාර

රත්‍රන් බාර් 01.

04. ග්‍රෑම් 190.550 ක් බරැති සිලින්ඩරාකාර

රිදී බාර් 01.

05. ග්‍රෑම් 172.420ක් බරැති සිලින්ඩරාකාර

රිදී බාර් 01.

06. ග්‍රෑම් 118.420 ක් බරැති සිලින්ඩරාකාර

රිදී බාර් 01.

තමාට අලුත් ස්වර්ණාභරණ සැදීම සඳහා ප්‍රියන්ත විසින් ලබාදුන් රන් හා රිදී කෞතුක භාණ්ඩවලට වටිනාකම ලෙස ලක්ෂ 20ක පමණ මුදලක් ඔහුට ලබාදුන් බව චන්ද්‍රසේකරන් විසින් පිළිගන්නා ලදී. මීට අමතරව බිල්ඩර් ප්‍රසාද්ට මෙම කෞතුක භාණ්ඩ ප්‍රමාණයක් ලබාදුන් බව කියැවුණු ත්‍රීවිල් අජිත්ගේ නිවස පරීක්ෂා කිරීමේදීද, මැණික් ගල් තොගයක් සොයා ගැනීමට ‍පොලීසියට හැකිවිය. ඒ සියල්ලම පාහේ කෞතුකාගාරයෙන් සොරකම් කරන ලද බස්තම්වල මිටවල්, කඩු කස්තානවල මිටවල් හා මුදු වලින් ගලවන ලද ඒවා බැව් තහවුරු විය. කොළඹ අපරාධ කොට්ඨාසය ඇතුළු පොලීසිය විසින් මෙතෙක් සිදුකරන පරීක්ෂණවලට අනුව කෞතුකාගාර සොරකමේ ප්‍රධානියා ලෙස සැලකිය හැක්කේ 'ප්‍රියන්ත මේදිස් ' නමැති මත්කුඩු වලට ඇබ්බැහිවූ පුද්ගලයා බැව් බැලූ බැල්මට පෙනෙන්නට තිබුණද ඔහු පිළිබඳ හෝඩුවාවක් සොයා ගැනීමට පොලිසියට නොහැකි විය.

"කෙහේ ඉන්නවද දන්නෙ නෑ සර්. ඔහේ එනවා යනවා. ගනුදෙනු කරනවා. ලොකු සම්බන්ධයක් නෑ"

ප්‍රියන්තගේ මිතුරන් යයි කියූ ඉහත සැකකරුවන් ඇතුළු බොහෝ දෙනකු කීවේ ඒ හා සමාන අදහස්මය. මූලාරම්භයේදි පාසල් සිසුන් විසින් ලබාදුන් තොරතුරු අනුව කොළඹ අපරාධ කොට්ඨාසයේ චිත්‍ර ශිල්පියා විසින් ඇඳ දුන් සැකකරුගේ මුහුණ සහිත චිත්‍රය මුද්‍රණය කොට පොලීසිය විසින් ප්‍රසිද්ධියට පත් කර තිබුණද, පසුව ප්‍රියන්තගේ සැබෑ ඡායාරූපයක් සොයා ගැනීමට පොලීසියට හැකිවී තිබිණි. ඒ අනුව එකී ඡායාරූපය මුද්‍රණය කරනු ලැබූ පෝස්ටරය ඇළවීමද, ඊට අදාළ පත්‍රිකා ජනතාව අතර බෙදාහරිමින් මෙම සැකකරු ගැන දන්නා තොරතුරක් වෙත්නම් පොලිස් මූලස්ථානයට හෝ ළඟම පොලීසිය දැනුවත් කරන ලෙසට එමගින් ඉල්ලා තිබිණි. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවද, මේ අයුරින්ම සැකකරු පිළිබඳ තොරතුරු ඉල්ලා පෝස්ටර් ඇළවීම, පත්‍රිකා බෙදීම, ආවේක්ෂණ නිලධාරීන් හා ඔත්තුකරුවන් යොදවා තොරතුරු එක්රැස් කිරීම අඛණ්ඩව සිදුකරමින් සිටියේය.

"මේ විදිහ හරියන්නෙ නෑ සර්. අපිට මේ සැකකරුවන්ගෙන් ප්‍රශ්න කරන්න අවසර ඕන" අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පොලිස් පරීක්ෂක නිශාන්ත ද සිල්වා තම ප්‍රධානියාට කියා සිටියේය. සැකකරුවන්ගෙන් ප්‍රශ්න කිරීම, ප්‍රකාශ සටහන් කර ගැනීම, ඔවුන් අධිකරණයට ඉදිරිපත් කිරීම ආදිය ඒ වනවිටත් කරගෙන යනු ලැබුවේ කොළඹ අපරාධ කොට්ඨාසය විසිනි.

"ඔව්. පරීක්ෂණවල ප්‍රගිතිය බලාගන්න වෙන්නෙ එහෙම තමයි"

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ප්‍රධානීන් හා කොළඹ අපරාධ කොට්ඨාසයේ ඉහළ නිලධාරීන් සමග සාකච්ඡා කිරීමෙන් පසුව සැකකරුවන්ගේ ප්‍රකාශ, අධිකරණයට ඉදිරිපත් කරන ලද බී වාර්තා, නඩු භාණ්ඩවල විස්තර ආදිය ලබාගැනීමට නිශාන්ත ද සිල්වාට හැකිවිය. ඒවා අධීක්ෂණය කිරීමෙන් පසුව පොලිස් අධිකාරී පාලිත පනාමල්දෙණියගේ උපදෙස් පරිදි ඔහු තවත් නිලධාරියකුද කැටුව ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශයේ පිහිටි "ත්‍රීවිල් අජිත්" ගේ නිවසට ගියේය. අජිත් ඒවන විටත් රැඳවුම් නියෝග මත අත්අඩංගුවට ගෙන රඳවා තිබුණු බැවින් නිවසේ සිටියේ ඔහුගේ ඥාතීන් පමණි.

" අජිත්ට ඔය කෞතුක භාණ්ඩ දුන්න කියන ප්‍රියන්ත හම්බවෙන්නෙ කොහොමද?

"අනේ එහෙම විස්තරයක් නම් කියන්න දන්නෙ නෑ. එයත් මෙහේ ඇවිත් ගිහින් තියෙන නිසා දෙන්න දන්න අඳුරන අය බව නම් දන්නවා" පවුලේ අයෙක් කියා සිටියේය.

"‍ඔය හාදයා කොහේද ඉන්නේ?

"ඒකත් හරියටම දන්නෙ නෑ. අපේ පුතා නම් කියලා තිබුණේ ඔය බියගම, සියඹලාපේ පැත්තෙ කියලා"

එම හෝඩුවාවත් සමගින් රහස් පරීක්ෂක නිලධාරීන් දෙදෙනා බියගම, සියඹලාපේ ප්‍රදේශයේ මග දෙපස කඩ සාප්පු කිහිපයකට ගොඩවැදී, අත පැවති සැකකරුගේ ඡායාරූපයද පෙන්වා 'මේ ප්‍රියන්ත' හඳුනනවාදැයි විමසූහ. එක් කුඩා සිල්ලර කඩයකින් විමසීමේදී එහි සිටි වැඩිහිටියෙකු එම ඡායාරූපයේ සිටි පුද්ගලයා කවුරුන්දැයි වහා හඳුනා ගත්තේය.

"ආහ්...මේ අර කරවල බිස්නස් කරන ලංසා නොවැ" හෙතෙම ගත් කටටම කියා සිටියේය.

එම හෝඩුවාව අතිශය වැදගත් වුවද, ප්‍රියන්ත හා කරවල අලෙවි කිරීමේ යෙදෙන ලංසා යනු එක් අයෙක්මදැයි දැන ගැනීමට නිලධාරීන්ට අවශ්‍ය විය. ඒ නිසාම එකී හෝඩුවාව ඔස්සේ අසල තවත් සිල්ලර කඩ කිහිපයකට ගොඩවූහ. එක් සිල්ලර කඩයක සිටි තරුණියක ලංසාගේ දුරකථන අංකය ලියාගෙන තිබුණි. ඊට හේතුව ඔහු විසින් මසකට පමණ ඉහතදී කරවල තොගයක් තම වෙළඳසැලට විකිණීම සඳහා ලබාදී තිබුණු හෙයිනි. අවස්ථාව හැඳින රහස් පරීක්ෂක නිලධාරීන් දෙදෙනා මහජන සෞඛ්‍ය පරීක්ෂක නිලධාරීන්හු ලෙස හැසිරුණහ.

"එහෙනම් හරි. අපි හොයන්නේ මෙයා තමයි. මෙයාගෙ කරවල වගයක විෂබීජයක් තියෙනවා කියලා අපට පැමිණිල්ලක් ලැබිලා තියෙනවා. ඒකයි අපි ඒ ගැන බලන්න ආවේ."

"හරියට හරි මහත්තයෝ. මං ගත්තු කරවල වල දවසක්... දෙකක් ඇතුළත පුස් වගේ මතුවුණා. මං ඒ ගැන අහන්න මේ හාදයා හෙව්වා. කෝ හොයාගන්න බැරිවුණා...කෙල්ලේ....කෝ අර කරවල මුදලාලි නොම්බරයක් දීලා ගියා නේද? වැඩිහිටි කත, තම දියණිය කැඳෙව්වාය. කැලැන්ඩරයක පිටුපස සටහන් කර තිබුණු 072 න් ආරම්භවන ජංගම දුරකථන අංකය ඇය විසින් ඔවුන්ට ලබාදෙන ලදී.

"ඔය අංකය තමයි දීලා ගියේ. ඒත් ඕක දැන් වැඩ කරන්නේ නෑ" තරුණිය කීවාය.

"ඒකට කමක් නෑ. අපි හොයලා බලන්නම්. මෙයාගෙ ගෙවල් කොහෙද දන්නෙ නැද්ද? නිලධාරියෙක් විමසුවේය.

"ගෙවල් තියෙන්නෙ ඔය පාරේ ඉස්සරහ. වංගුවෙන් හැරිලා ආනන්ද මුදලාලි කුලියට ගෙවල් දෙන ලැයින් පේළිය කොහේද කියලා ඇහුව නම් කියයි. ඒත් ඔය හාදයා දැන් ටික දවසක ඉඳලා නෑ. අම්මා විතරයි ගෙදර ඉන්නේ" කඩයේ වැඩිහිටි කත සිහිපත් කළාය.

තරුණිය කියූ සේම එකී දුරකථන අංකය සක්‍රීයව ‍නොතිබුණි. එහෙත් ඔහු ගැන හෝඩුවාවක් සොයා ගැනීමට පොටක් පෑදුණු බැවින් රහස් පරීක්ෂක නිලධාරීන් දෙදෙනා වහා ක්‍රියාත්මක වූහ. ආනන්ද මුදලාලි නම් අයෙකුගේ හිමිකාරිත්වය යටතේ කුලියට ලබාදෙන පැල්පත් නිවාස පේළිය වෙත ඔවුහු ඉක්මනින් පැමිණියහ. තමන් මහජන සෞඛ්‍ය පරීක්ෂණ නිලධාරීන් බවත්, ලැබුණු පැමිණිල්ලකට අනුව ලංසා සොයාගෙන පැමිණි බවත් කියා සිටියහ. අසල්වැසියන් කියූ පරිදිම නිවසේ සිටියේ සැකකරුගේ මව පමණි.

"අනේ මහත්තුරුනේ මමත් දවස් ගාණක් තිස්සේ මූ හොයනවා කොහේ ගියාද කියලා නෑ. කරවල දෙන්නම් කියල පොරොන්දු වෙච්චි මිනිස්සුත් ගෙදරට ඇවිත් අහනවා. " අම්මා ගත් කටටම කියා සිටියාය.

"පුතාගෙ සම්පූර්ණ නම මොකක්ද අම්මේ? විමර්ශන නිලධාරියෙක් විමසුවේය.

"ලංසාගේ ප්‍රියන්ත මේදිස්"

කරවල ව්‍යාපාරයේ යෙදෙන ලංසාත්, කෞතුක භාණ්ඩ සොරකමට සම්බන්ධ ප්‍රියන්තත් යනු දෙදෙනකු නොව එක් අයකු බවත්, සියඹලාපේ සිල්ලර කඩයකින් ලබාදුන් දුරකථන අංකය ඔහුගේම බවත්, තමන් අත ඇති ඡායාරූපයේ සිටින්නේද මෙම සැකකරුම බවත් රහස් පරීක්ෂක නිලධාරීන් විසින් ප්‍රත්‍යක්ෂ කරගන්නා ලද්දේ ඒ අවස්ථාවේදීය.

"මෙයා කොච්චර කාලයක් තිස්සේ කරවල බිස්නස් එක කරනවද?

"දැන් නම් මාස ගාණක් වෙනවා. ඉස්සරලාම එයා තැපෑලෙ වැඩ කළා නොවැ. ඔය පිළියන්දල පැත්තෙ තැපැල් කන්තෝරුවක තමයි හිටියේ. ඒ රස්සාව යස අගේට කරගෙන හිටියත් නරක යාළුවෝ ආශ්‍රය හින්දා කුඩු ගහන්න පටන් ගත්තා."

"එතකොට තැපැල් රස්සාවෙන් අයින් වුණේ?

"කොහොද මහත්තයෝ කුඩුවලට ඇබ්බැහි වුණාම රස්සාවක් හරියට කරන්නේ ? මේ යකා රස්සාවෙන් අයින් කරාද කොහෙද? ඊට පස්සෙ ඔය එක එක බිස්නස් පටන් ගත්තා හරි ගියේ නෑ. ඊට පස්සෙ තමයි දුවගෙ මහත්තයත් එක්ක එකතුවෙලා කරවල බිස්නස් එකට බැස්සේ."

"දුවගෙ මහත්තයා ඉන්නෙ කොහෙද?

"බියගම. ඇන්කර් හංදියේ. එයාලගෙ ලොරියෙන් තමයි කරවල ගේන්න යන්නේ. ඒත් දැන් මාසෙකින් විතර ගියේ නෑ මගෙ හිතේ" අම්මා තමන් දන්න‍ බොහෝ තොරතුරු රහස් පරීක්ෂකවරුන් හමුවේ අනාවරණය කළාය. ඒ ඇයට ඔවුන් තවමත් මහජන සෞඛ්‍ය පරීක්ෂණ නිලධාරීන් නිසාය.

ලබන සඳුදා - ලංසා කරවල මුදලාලි සොයා රහස් පරීක්ෂකයින් මීගමුවට

රංජිත් විජේබණ්ඩාර

නව අදහස දක්වන්න