අගමැති සමඟ සාර්ථකව යහපාලනය ගෙන යනවා | දිනමිණ

අගමැති සමඟ සාර්ථකව යහපාලනය ගෙන යනවා

රක්ෂණ ශ්‍රියන්ත
මාදුළුවාවේ සෝභිත හිමි දෙවැනි ගුණ සමරු උත්සවය ඊයේ(8) පෙරවරුවේ බත්තරමුල්ල, අපේගම පරිශ්‍රයේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි. පාර්ලිමේන්තු වටරවුමේ ඉදිකෙරෙන මාදුළුවාවේ සෝභිත නායක ස්වාමින් වහන්සේගේ පිළිරුව ඉදිකිරීම සඳහා වූ සමරු ඵලකය ජනාධිපතිවරයාගේ සුරතින් නිරාවරණය කළ අයුරු. කථානායක කරු ජයසූරිය සහ විපක්ෂ නායක ආර්. සම්බන්ධන් මහතා ද ඡායාරූපයේ වෙති. ඡායාරූපය - ජනාධිපති මාධ්‍ය අංශය

විපක්ෂයේ සුළු පිරිසක් විවේචන එල්ල කළත්
සෝභිත හිමි ගුණසැමරුමේ දී ජනපති කියයි

විපක්ෂයේ සුළු පිරිසක් විවේචන එල්ල කළද තමන් සහ අගමැතිවරයා එක්වී රජයේ යහපාලන වැඩ පිළිවෙළ සාර්ථකව ඉදිරියට ගෙන යන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැවැසීය.

සම්මුතිවාදි ආණ්ඩුවක තිබෙන එකඟතාව ශක්තිමත් කරගෙන ඉදිරියට යාමට ශක්තිය ඇතැයි අවධාරණය කළ ජනාධිපතිවරයා මේ අත්දැකීම කිසි කෙනෙකු මීට පෙර අත්දැක නැතිබවත් සංකීර්ණ ප්‍රශ්න නිරාකරණය කර ගැනීමට තමා කෙරෙහි විශ්වාසය තබා ගෙන සාමුහිකව වැඩ කළ යුතු යැයිද කියා සිටියේය. බැඳුම්කර කොමිසම පත් කිරීම පිළිබඳ ආණ්ඩුවේ සුළු පිරිසක් තමන්ට චෝදනා සහ විවේචක එල්ල කළද තමන් එය සිදු කරන ලද්දේ යහපාලන රජයක් ලෙස සමාජ සාධාරණත්වය ඉටුකරමින් වංචා දුෂණ පිටු දැකිම සඳහා ජනතාවට දුන් පොරොන්දු ඉටු කිරීමයට යැයිද ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මෙසේ පැවසූවේ ඊයේ (08) පෙරවරුවේ බත්තරමුල්ල අපේ ගම පරිශ්‍රයේ පැවැති ‍මාදුළුවාවේ සෝභිත හිමියන්ගේ දෙවැනි ගුණ සැමරුම් උත්සවයට එක්වෙමිනි.

මෙහිදී මාදුළුවාවේ සෝභිත හිමියන්‍ වෙනුවෙන් ඉදි‍කරන ස්මාර්කයට මුල්ගල තැබීමද ජනාධිපතිවරයා විසින් සිදුකරන ලදී. ලැබූ ජයග්‍රහණ ගැන ආණ්ඩුවේ මැති ඇමැති වරුන් කිහිප දෙනෙකු පමණක් කතා කරන බවත් ආණ්ඩුවක් ලෙස කළ වැඩ කොටස සහ එක් එක් අමාත්‍යංශ යටතේ කර ඇති වැඩ පිළිබදව කතා කරන්නේ බොහොම අඩුවෙන් බව පෙන්වා දුන් ජනාධිපතිවරයා 19 වන සංශෝධනයේ වැදගත්කම පිළිබඳ කතා කරන්නේ කිහිප දෙනෙකු බවද කියා සිටියේය. පසුගිය ආණ්ඩුව කිරීමට ඉඩ නොදුන් ඖෂධ පනත, මේ රටේ අශීලාචාර දේශපාලනයක් නිර්මාණය කළ මනාප ඡන්ද ක්‍රමය අහෝසි කිරීමට වත්මන් රජයට හැකි වුබවද පැවසීය. පෙට්‍රල් ප්‍රශ්නය පිළිබඳ, සහ රෝහල් වැඩ වර්ජන, දරුවන් පාසල්වලට ඇතුලු කිරීම ආදිය පිළිබඳ ද බැන වදින්නේ තමාට බව පැවසූ ජනාධිපතිවරයා මෙයට හේතුව වී ඇත්තේ ජනාධිපතිවරු පුරුදු කර ඇත්තේ ඒ හැමදේම ජනාධිපතිවරයා විසින් කිරීම නිසා බවයි. තමන් සිතන විදියට මේ රටේ ජනාධිපතිවරු ‍ නොකලේ පෙට්‍රල් ෂෙඩ් වල පෙට්‍රල් ගැසීම පමණක් බවත් අනිත් සියල්ලම කිරීම හේතුවෙන් රටේ ප්‍රශ්නයක් ඇතිවු විට ජනතාව සිතන්නේ එය ජනාධිපතිවරයා විසින් සිදුනොකිරීම නිසා මේ ප්‍රශ්නය ඇතිවුබව යැයි පෙන්වා දුන්නේය.

සම්මුතිවාදි ආණ්ඩුවක් ලෙස කටයුතු කරද්දී ඒ කතා කරන සමාජ සාධාරණත්වය‍ නීතියේ ආදිපත්‍යය ඒ සියල්ල සඳහා කැපවිය යුතු බවත් වැරැදි කළ ඕනෑම කෙනෙකුට වැරැද්දට විරුද්ධව ක්‍රියා කිරීම දඩුවම් දීමට එයට කිසිවෙකුට විරුද්ධ නොවිය හැකි බවත් එය සිදු විය යුත්තක් බවද කීවේය.

මහ බැංකුවේ සිදුවු අක්‍රමිකතා සම්බන්ධව තමන් විසින් කොමිසන් සභාවක් පත් කිරිම පිළිබඳ ආණ්ඩුවේම ඉතා සුළු පිරිසක් දේශිය සහා විදේශීය මාධ්‍ය ආයතන සහ මාධ්‍ය ජාලා වලට මුදල් වියදම් කරමින් බරපතල වැරැදි විග්‍රහයක් කරන්නේ තමා විසින් මහා බැංකු සිද්ධියට කොමිසමක් පත් කිරීම නිසා බව පෙන්වා දුන්‍ ජනාධිපතිවරයා සෝභිත හිමියන් අද ජීවමානව සිටියානම් උන්වහන්සේ ජනාධිපතිවරයා විසින් සිදු කෙළේ නිවැරැදි දේ යැයි කියමින් උපහාරයක් පවත්වන බවද කියා සිටියේය. ජනාධිපති කොමිසමක් පත් කළේ ආණ්ඩුවේ කිසිම මැති ඇමැති වරයෙක් ඉලක්ක කරමින් නොවන බවත් රජය පත්වී මාස තුනකින් මහා බැංකු සිද්ධිය සිදුවු බව පැවසූ ජනාධිපතිවරයා , ජනාධිපති කොමිසම පත් කරන විට ඒ අවස්ථාවේ රටේ තිබුණු තත්වය වුයේ දේශපාලන පක්ෂ භේදයකින් තොරව සෑම තැනකින්ම බරපතල දුෂණයක් වංචාවක් සිදුවි තිබෙනවා එයට වහාම පියවර ගන්න ජනාධිපති කොමිසමක් පත් කරන්න යනුවෙන් ආ ජනතා හඩ නිසා තමන් ‍එසේ කල බව කියා සිටියේය.

මාදුළු‍වාවේ සෝභිත නාහිමියන්ට කරන ඉහලම ගෞරවයනම් උන්වහන්සේගේ දැක්ම වු සාධාරණ සමාජයක් ගොඩ නැගීමට සියලු දෙනා කැපවී කටයුතු කිරීම යැයිද වැඩි දුරටත් කියා සිටියේය.

මේ අවස්ථාවට ශ්‍රි කළ්‍යානි සාමශ්‍රී ධර්ම මහා සංඝ සභාවේ මහානායක ආචාර්ය ඉත්තෑපාන ධම්මාලංකාර මහා නාහිමි, පෑලියගොඩ විද්‍යාලංකාරාධිපති ආචාර්ය වැලමිටියාවේ කුසලධම්ම, ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ කුලපති ‍බෙල්ලන්විල විමලරතන, තීනියාවල පාලිත යන ස්වාමින්වහන්සේලා ප්‍රමුඛ මහා සංඝ රත්නය, කතානායක කරූ ජයසූරිය,විපක්ෂ නායක ආර්.සම්බන්ධන් මහාතා ඇතුළු මැති ඇමැතිවරුන්, කොළඹ විශ්ව විද්‍යාලයේ සිංහල අධ්‍යනාංශයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සරත් විජෙසුරිය, ගුණ සමරු කමිටුවේ සභාපති තිතිඥ රවී ජයවර්ධන මහතා ඇතුළු නිලධාරීන්,සිවිස් සංවිධාන නියෝජිතයින්, ආරාධිත අමුත්තන්, ඇතුලු පිරිසක් මේ අවස්ථාවට එක්වුහ. 

නව අදහස දක්වන්න