ගල් දියකරන උල්කාවක් දිඹුලාගලට | දිනමිණ

ගල් දියකරන උල්කාවක් දිඹුලාගලට

පොළොන්නරුවේ ඓතිහාසික දිඹුලාගල පර්වතය මතට උල්කාපාතයක් කඩාවැටී ඇත. පසුගිය දිනක සිදුවී ඇතැයි විශ්වාස කෙරෙන මෙම සිද්ධිය දැනගන්නට ලැබී ඇත්තේ දිඹුලාගල ආරණ්‍ය සේනාසනයේ වැඩවසන භික්ෂූන්වහන්සේනමක් පිණ්ඩපාතයේ වැඩම කරනවිට පර්වතයේ ගල්තලාවක ආලෝකය විහිදෙන ගලක් හමුවීමෙන් පසුවය.

ඉහළ අහසේදී පිපිරීගොස් ඇති මේ උල්කාපාතය පොළවට පතිතවීමේදී මෙම තිරිවානාගල මත වැටීමෙන් පසු එම උල්කාපාත කොටස ගල තුළට කිඳාබැස ඇත.

ගල්තලාව මතට කඩාවැටී ඇති මේ උල්කාපාතය කුඩා කැබලිවලට කැඩී විසිරී ඇති බව දැකගන්නට ලැබේ.

මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ දිඹුලාගල මහාකාශ්‍යප ධර්මායතනයේ අධිපති ශාස්ත්‍රපති මාදුරුඔය විජිත හිමියෝ, දිඹුලාගල ආරණ්‍ය සේනාසනයේ වැඩවසන භික්ෂූන්වහන්සේගෙන් ලෙන් කුටියක වැඩවසන හිමිනමක් දහවල් දානය සඳහා වැඩමවන අවස්ථාවේදී ගල් තලාවේ දිළිහෙන යමක් දැක අපට දැන්වූවා. එය පරීක්ෂා කිරීමේදී තිරිවානාගලක් මත වැටුණු රිදීපාට ද්‍රව්‍යයක් එම ගල තුළට කිඳාබැස තිබුණා.

මෙය උල්කාපාතයක් පිපිරීමකින් ගලාගිය ලෝහ බිමට පතිතවීමෙන් ගල මත කිඳාබැස තිබෙන බව සැක කරන්න පුළුවන්. එසේම පර්වතයේ බොහෝ තැන්වල උල්කාපාත කැබලි විසිරී පවතිනවා.

මේ පිළිබඳව විද්‍යාත්මක පර්යේෂණයක් සිදුකළහොත් විශ්වයේ අප නොදත් බොහෝ දේ දැනගන්නට හැකිවේවි.

මේ සම්බන්ධයෙන් විද්‍යාත්මක පරීක්ෂණයක් පැවැත්වීම සඳහා එම තිරිවානාගල කොළඹ විශ්වවිද්‍යාලයේ භෞතික විද්‍යා අංශයේ අධිපති තාරකා විද්‍යාඥ මහාචාර්ය චන්දන ජයරත්න මහතා වෙත යැවීමට කටයුතු කළා.

ගාමිණී ඔබේසේකර
පොළොන්නරුව විශේෂ

නව අදහස දක්වන්න