ලාහෝර් ගමන පිළිබඳ අවසන් මතය විමසීමේ විශේෂ කණ්ඩායම් රැස්වීමක් අද | දිනමිණ

ලාහෝර් ගමන පිළිබඳ අවසන් මතය විමසීමේ විශේෂ කණ්ඩායම් රැස්වීමක් අද

ප්‍රින්ස් ගුණසේකර එක්සත් අරාබී එමීර් රාජ්‍යයේ සිට...

පාකිස්තානයේ ලාහෝර් හී පැවැත්වීමට නියමිත විස්සයි 20 තරගය සදහා දැනට එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සිටින ශ්‍රී ලංකා එක්දින කණ්ඩායමේ ක්‍රීඩකයන්ගේ අවසන් තීරණය ලබා ගැනීම වෙනුවෙන් විශේෂ කණ්ඩායම් රැස්වීමක් අද පැවැත්වෙයි. කණ්ඩායම තුළ ක්‍රීඩකයන්ගේ මත දෙකක් තිබීමෙන් ඇතිවන බෙදීම් වලක්වා ගැනීමට ශ්‍රී ලංකා ක්‍රිකට් කළමනාකාරීත්වයේ ඇති බලවත් උත්සහය හේතුවෙන් මේ අවසන් අවස්ථාව ක්‍රීඩකයන්ට ලබාදී ඇත.

සියලු දෙනාම එක් මතයක සිටීමේ වැදගත්කම හා සමගිව ඉදිරි අභියෝගවලට මුහුණදීමේ වටිනාකම මේ වන විට කණ්ඩායමේ සියලු ක්‍රීඩකයන්ට වටහා දී ඇති හෙයින් ලාහෝර් විස්සයි 20 තරගය පිළිබඳ යළි මත විමසීමක‍් සිදු කිරීමට තීරණය කළ බව අභ්‍යන්තර ආරංචි මාර්ග පවසයි.

මේ රැස්වීමේ ප්‍රතිඵලය මත ශ්‍රී ලංකා විස්සයි 20 සංචිතය ප්‍රකාශ කිරීමට නියමිතව ඇතැයි ද වාර්තාවේ. උපුල් තරංග ලාහෝර් යෑමට තව දුරටත් අකමැත්ත පළ කළහොත් පමණක් විස්සයි 20 තරගාවලියේ නායකත්වයට වෙනත් අයෙකු පත් කිරීමට තේරීම් කමිටුව බලාපොරොත්තු වේ.

වසර 2009දී ශ්‍රී ලංකා පිල පාකිස්තානයේ කළ සංචාරයේදී ක්‍රීඩකයන් ගමන්ගත් බස්රථයට එල්ල කළ වෙඩි පහරකින් අනතුරුව එරට ජාත්‍යන්තර ක්‍රිකට් පැවැත්වීමට අයි. සී. සියේ අවසරය නොලැබුණි.

එම ත්‍රසත ප්‍රහාරය එල්ල වෙද්දී ශ්‍රී ලංකා පිල ගමන් ගත් බස්රථයේ සිටි සුරංග ලක්මාල් හා චාමර කපුගෙදර ශ්‍රී ලංකා පිලට එක්ව සිටින ක්‍රීඩකයන් දෙදෙනකි.

ශ්‍රී ලංකා පාකිස්තාන විස්සයි 20 තරගාවලිය මේ මස 26වැනිදා අබුඩාබි ෂෙයික් ෂෙයාඩ් ක්‍රීඩාංගණයේදී අරම්භවන අතර දෙවැනි තරගය 27 වැනිදා එම ක්‍රීඩාංගණයේදීම හා 29වැනිදා තෙවැනි තරගය ලාහෝර් ගඩාෆී ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට කටයුතු යොදා ඇත.

ලාහොර් තරගයට ශ්‍රී ලංකා පිලක් අනිවාර්යයෙන්ම තරග කරන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ විධායක කමිටුව පසුගියදා ඒකමතික තීරණයකට එළැඹියේය.

මේ අතර ශ්‍රී ලංකාව සමග පැවැත්වෙන විස්සයි 20 තරගාවලිය වෙනුවෙන් පාකිස්තාන ක්‍රිකට් සංචිතය ඊයේ ප්‍රකාශයට පත් කළේය. එම සංචිතයට සෑම අංශයකින්ම දස්කම් දක්වන මොහොමඩ් හෆීස් හා වේග පන්දු යවන මොහොමඩ් අමීර් එක්කොට ඇත.

ලාහෝර් හී පැවැති ලෝක කණ්ඩායම සමග විස්සයි 20 තරගයේදී පාකිස්තාන කණ්ඩායමෙන් හෆීස් ඉවත් කොට සිටි අතර අමීර් දෙවැනි ටෙස්ට් තරගයේදී ආබාධයකට ලක්ව ඉවතට ගියේය. එමෙන්ම වසර දෙකකට පසුව අමීර් යාමීන්ට නැවැත පාකිස්තාන සංචිතයේ අවස්ථාව හිමිව තිබීම විශේෂත්වයකි.

පාකිස්තාන විස්සයි 20 සංචිතය මෙසේය: සෆ්රාස් අහමඩ් (නායක), අහමඩ් ෂේසාඩ්, ෆකාර් සමාන්, මොහොමඩ් හෆීස්, බාබර් අසාම්, ෂොහෙබ් මලීක්, ඉමාඩ් වසීම්, ෂාඩාබ් ඛාන්, මොහොමඩ් නවාස්, ෆාහීම් අෂ්රාෆ්, හසන් අලී, අමීර් යාමීන්, මොහොමඩ් අමීර්, රූමන් රායීස්, උස්මාන් ෂින්වාරී, උමාර් ආමීන්.

නව අදහස දක්වන්න