දඹුල්ල පොදු වෙළෙඳ පොළ ගොඩ ගන්නේ කවදාද? | දිනමිණ

දඹුල්ල පොදු වෙළෙඳ පොළ ගොඩ ගන්නේ කවදාද?

මාතලේ දිස්ත්‍රික් සමුහ - ඒ.ඒ.එල්.ඩයස්

මීට වසර විසිපහකට පමණ පෙර දඹුල්ල නගරයේ ඉදිකරන ලද වෙළෙඳ කුටි 92න් සමන්විත පොදු වෙළෙඳ සංකීර්ණය මෙතෙක් විධිමත් ආකාරයෙන් ක්‍රියාත්මක කිරීමට දඹුල්ල මහ නගර සභාවට නොහැකි වීමෙන් මේවනවිට මෙම ස්ථානය අපචාර ක්‍රියා සිදුවන ස්ථානයක් බවට පත්ව ඇතැයි පෙදෙස්වාසිහු පවසති.

මොවුන් පවසන්නේ දැනට පෞද්ගලික වෛද්‍ය මධ්‍යස්ථාන ඇතුලු මාළු වෙළෙඳසල් 15ක් පමණ මෙම ස්ථානයේ පවත්වාගන යන බවය. එමෙන්ම මෙම ස්ථානයේ කිසිදු ආරක්ෂාවක් නොමැති බැවින් දැනට මෙහි වසාදමා ඇති බොහෝ වෙළෙඳ කුටිවල දොර ජනෙල් මෙන්ම විදුලි උපකරණද ඇතමුන් විසින් ගලවාගන ගොස් ඇති බව ඔවුහු වැඩිදුරටත් සදහන් කරති.

තවද රාත්‍රීකාලයේ මෙම පොදු වෙළෙඳ සංකීර්ණය අසලින් වැටී ඇති මාර්යේ ගමන් කිරීමද අවදානම් බව පවසන ඔවුහු මෙම ස්ථානය නිසිලෙස ශුද්ධ පවිත්‍ර නොකිරීම හේතුවෙන් ඇතිවන දුර්ගන්ධය නිසා අවට පදිංචි පවුල් සෑහෙන සංඛ්‍යාවකට දැඩි අපහසුතාවයකටද මුහුණපෑමට සිදුවි ඇතිබව ද පවසති.

මොවුන් පවසන්නේ මෙම ස්ථානය නගරස භාවේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ පරික්ෂාවකට යම්තරමකට හෝ ලක්වන්නේ නම් මෙවැනි අපවිත්‍රතාවයක් ඇති නොවන බවය.

මේ සම්බන්ධයෙන් දඹුල්ල පොදු වෙළෙඳ සංකීර්ණය අසල පදිංචිකරුවෙකු මෙසේ කීය.

මේ පොදු වෙළෙඳ පොළ කිසි නඩත්තුවක් නෑ. මේක තිබෙන්නේ දඹුල්ල නගර සභාවේ පාලනය යටතේ. මෙහි කඩ 92 ක් තිබුණත් දැනට විවෘතව ඇත්තේ පහළොවක පමණ ප්‍රමාණයක් . වෛද්‍ය මධ්‍යස්ථාන සහ මාළු වෙළෙඳ සල් පමණයි මේ වනවිට මෙහි විවෘතව තියෙන්නේ. මෙහි පැති කානු පද්ධතිය ඉතා අපවිත්‍රයි. මෙම කානුවලින් පැතිරෙන දුර්ගන්ධය නිසා අවට පදිචිකරුවන්ට විවිධ ලෙඩරෝග වැළඳීම නොවැළැක්විය හැකි දෙයක්. මේ සම්බන්ධයෙන් නගරසභාවට දැන්නුවත් පලක් නෑ.

නව අදහස දක්වන්න