කියන්නා කෙසේ කීවද? අසන්නා හා නරඹන්නාගේ සිහි බුද්ධිය වැදගත් | දිනමිණ

කියන්නා කෙසේ කීවද? අසන්නා හා නරඹන්නාගේ සිහි බුද්ධිය වැදගත්

ප්‍රින්ස් ගුණසේකර

වසර 1982දී ශ්‍රී ලංකාවට ටෙස්ට් වරම් ලැබීමෙන් පසුව රෝස පැහැති පන්දුවෙන් ක්‍රීඩා කළ ඓතිහාසික පළමු දිවා - රාත්‍රී ටෙස්ට් තරගයෙන් පාකිස්තානය පරදා ලකුණු 68ක විශිෂ්ට ජයක් වාර්තා කිරීම ශ්‍රී ලංකා පිලේ කැපී පෙණෙන දියුණුවකි. ඉන්දියාව හමුවේ ටෙස්ට්, එක්දින හා විස්සයි 20 තරග සොදා පාලුවට පරාජයවී සිටි ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ අබුඩාබි හා ඩුබායි ටෙස්ට් තරග දෙකේදී දැක්වූ දක්ෂතාව ඉදිරි ක්‍රිකට් ක්‍රීඩාවට සුභ පෙර නිමිති එක්කිරීමක් බව ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් නායක දිනේෂ් චන්දිමාල් පැවැසීය.

ඩුබායි ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ පෙරේදා තරගයෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දැක්වූ දිනේෂ් චන්දිමාල් පැවැසූවේ ඉන්දියාව සමග සියලු තරග පරාජයවී ක්‍රීඩකයන් සියලු දෙනාම මානසිකව යම් පසුබැසීමක සිටියදී, පාකිස්තානයට එරෙහි කළ සැලසුම් සියල්ල සාර්ථක වූ බවයි.

“මා හා මගේ කණ්ඩායමේ සියලු ක්‍රීඩකයන් මේ තරගාවලියට පැමිණීමට පෙර සිටම විශාල කැපවීමක් කළා. මේ තරගාවලියේදී ක්‍රීඩකයන්ගේ කැපවීම බලාපොරොත්තු වුණා. පුද්ගලිකව හා කණ්ඩායමක් වශයෙන් අපේ ආකල්පවල වෙනසක් ඇති වුණා. විනය හදා ගත්තා.

මේ සියලු කැපවීම් කරන්න අපට හරි ක්‍රීඩකයන් හිටියා. කණ්ඩායමේ කළමනාකාරිත්වයට හා තේරීම් කමිටුවට ස්තූතිවන්ත විය යුතුයි. එක්සත් අරාබි එමීර් රාජ්‍යයට එන්න කලින් මටත් මගේ කණ්ඩායමටත් තේරීම් කමිටුව හා කළමනාකාරීත්වය කතා කොට විශ්වාසයක් ඇති කළා. තේරීම් කමිටුව පුද්ගලිකව මට කතා කොට විශ්වාසය දුන්නා. ඒක විශාල ධෛර්යයක්” චන්දිමාල් පැවැසීය.

ශ්‍රී ලංකා පිල පරාජයට පත් වෙද්දී සමාජ ජාලා වෙබි අඩෙවි වලින් එල්ල වූ ප්‍රහාරයන් පිළිබඳ සිහිපත් කළ චන්දිමාල් පැවැසූවේ කියන්නා කෙසේ කීවද අසන්නා හා නරඹන්නා සිහි බුද්ධීයෙන් සිටීම වැදගත් බවයි.

“කාටවත් බෑ ජීවිත කාලයේ හැම දවසකම සාර්ථක වෙන්න. විටින් විට අපේ ක්‍රියාකාරකම් හා ආකල්ය වෙනස්වීම්වලට භාජනය වෙනවා. වැටීම් ඇති වුණොත් නැගිටීමක් සිදු වෙනවා. ඒකට අධිෂ්ඨානය වැදගත්. වැටීම් තුළින් නැගිටින අය තමයි සාර්ථක මිනිසුන් වෙන්නේ. ඕන දෙයක් ඕනෑම කෙනෙකුට කියන්න පුලුවන්. නමුත් අප දැනගත යුතුයි කරන්න පුලුවන් හොඳම දේ මොකක්ද කියා” චන්දිමාල් පැවැසීය.

කෙසේ වුවද ශ්‍රී ලංකා ප්‍රේක්ෂකයන් සෑම දිනකම ක්‍රිකට් කණ්ඩායමට ආශිර්වාද කළ බවත් ඒ අයගේ සහයෝගයමත මෙවැනි ජයග්‍රහණ ලැබෙන බවත් ශ්‍රී ලංකා ක්‍රිකට් නායකයාගේ අදහස විය.

“මේක හොඳ පිම්මක්. හොඳ තරගාවලියක් අවසන් කර ශ්‍රී ලංකාවට යෑමට හැකිවීම පිළිබඳ සතුටුයි. අපේ කණ්ඩායම පරාජයවූ අවසන් ටෙස්ට් තරගවල පළමු ඉනිමේ ලොකු ලකුණු ගණනක් අරන් නෑ. මුල් ඉනිමේ ලකුණු 400කට යෑම කොහොමද කරන්නේ කියා අප කල්පනා කළා. ටෙස්ට් තරග දෙකේම පළමු ඉනිමේ වාසිය නිසා දෙවැනි ඉනිමේ කළ වැරදි එතරම් පෙනුණේ නෑ.

දිවා රාත්‍රී ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාව ගොඩක් හොඳයි. මේක ප්‍රේක්ෂකයන් වෙනුවෙන් හිතලා ගත් තීරණයක්. තරගකාරීත්වයත් හොඳයි. ප්‍රේක්ෂකයන් ගොඩක් ඇවිත් තරග නරඹනවා නම් අපි කැමැතියි”

“අපේ පන්දු යැවීමේ අංශය යහපත්. දිල්රුවන්ට මා හා කළමනාකාරීත්වය කතා කළා. ඔහු පන්දුවට පහරදීමේදීත් දක්ෂයි. ඔහු අවශ්‍ය දේ කළා. ළහිරු ගමගේ යොදා ගත්තේ රෝස පන්දුවෙන් ක්‍රීඩා කරන නිසා. ඔහු හොඳින් පන්දුව දෝලනය කරන කෙනෙක්. අපේ අනෙක් වේග පන්දු යවන්නන්ට වඩා ඔහු තරමක් වෙනස්. පාකිස්තානය හොඳ කණ්ඩායමක්. අවතක්සේරු කරන්න බෑ”

ඉදිරියේදී ක්‍රීඩා කිරීමට නියමිත ඉන්දීයා සංචාරයට ගැලපෙන සැලසුමක් ක්‍රියාත්මක කරන බව ද චන්දිමාල් පැවැසීය.

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ දී පාකිස්තානය ටෙස්ට් තරග 2-0ක් ලෙස පරාජය කිරීමත් සමග ශ්‍රී ලංකාව ලෝක ටෙස්ට් වර්ගීකරණයේ 6වැනි ස්ථානයට පැමිණියේය. පාකිස්තානය 7වැනි ස්ථානය දක්වා පහළට වැටුණි. 

නව අදහස දක්වන්න