ටෙස්ට් තරගයේ ජය ශ්‍රී ලංකාවටද? පාකිස්තානයටද? | දිනමිණ

ටෙස්ට් තරගයේ ජය ශ්‍රී ලංකාවටද? පාකිස්තානයටද?

ප්‍රින්ස් ගුණසේකර - එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සිට...

වසර 35ක ශ්‍රී ලංකා ටෙස්ට් ඉතිහාසයේ සහභාගීවන මංගල දිවා - රාත්‍රී ටෙස්ට් තරගයේ ජය ශ්‍රී ලංකාව හිමි කර ගනියිද? පාකිස්තානයට හිමි වෙයිද? යන්න ඩුබායි ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී අද නියත වශයෙන්ම විසඳෙනු ඇත.

දෙපිලටම විවෘතව ඇති මේ තරගයේ ජයග්‍රහණය වෙනුවෙන් පාකිස්තානය තවත් කඩුලු 5ක් අතැතිව ලකුණු 119ක් ලබාගත යුතු අතර, තියුණු ලෙස දෝලනය වන ඩුබායි තණතිල්ලේ එම ඉලක්කය සපුරා ගැනීමට ඉඩ නොදී පාකිස්තානයට පීඩනයක් එල්ල කිරීම ශ්‍රී ලංකා පිලේ එකම සැලසුම වී ඇත. ඊයේ සිවුවැනි දිනය නිමා වෙද්දි පාකිස්තානය දෙවැනි ඉනිමට කඩුලු 5ක් දැවී ලකුණු 198ක් ලබා සිටියේය.

පාකිස්තානයට යම් සහනයක් ගෙනදුන් අෂාඩ් සෆීක් නොදැවී ලකුණු 86ක් හා සෆ්රාස් අහමඩ් නොදැවී 57ක් ලබා සිටී. සෆ්රාස් අහමඩ් ලකුණු 22දී හා අසාඩ් සෆීක් ලකුණු 26දී දිල්රුවන්ගේ පන්දු දෙකකට පිට පිට දුන් උඩ පන්දු දෙකක් ‘ෂෝට් ලෙග්‘ හී සිටි කුසල් මෙන්ඩිස් අතින් ගිලිහී යෑම දෙදෙනාට ලකුණු 146ක නොබිදුණු සම්බන්ධතාවක් ගොඩනැගීම පහසු විය. මෙය පාකිස්තානය පිතිකරුවන් දෙදෙනකු ශ්‍රී ලංකාවට එරෙහිව 6වැනි කඩුල්ලට ටෙස්ට් තරගයක ගොඩනැගූ හොඳම සම්බන්ධතාව ලෙස ද සටහන් විය. සෆ්රාස් තම 14වැනි හා අෂාඩ් 19 වැනි ටෙස්ට් අර්ධ ශතක ඊයේ සම්පූර්ණ කළහ.

කාසියේ වාසිය ටෙස්ට් තරගයකදී අතිශය වැදගත් බව දෙවැනි වරටත් තහවුරු කළ ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ පළමු ඉනිමට ලබාගත් ලකුණු 482 ට පිළිතුරු ලෙස පාකිස්තානු පිල ලකුණු 262කට සීමා වෙද්දී නැවැත පාකිස්තානු පිතිකරුවන් පිටියට කැඳවීමේ අවස්ථා විවර විය.

එහෙත් විකට්ටුවේ ස්වභාවය අනුව සිවුවැනි ඉනිම ක්‍රීඩා කොට අවදානමක් ලබා ගැනීමට අකමැතිවූ නායක දිනේෂ් චන්දිමාල් සිය දෙවැනි ඉනිම ආරම්භ කිරීමට තීරණය කළද එය බියකරු තත්ත්වයක් සේ දිස්වූයේ ඉනිම ලකුණු 96කට කඩා බිඳ හෙලීමට වහාබ් රියාස්, යසීර් ෂා හා හැරීස් සොහේල් සමත් වීමෙනි.

ජයග්‍රහණය වෙනුවෙන් ලකුණු 317ක ඉලක්කයක් කරා හඹා යෑමට පාකිස්තාන දෙවැනි ඉනිම ආරම්භ කළ ශාන් මෂූඩ් හා සාමී අස්ලාම් ගේ බලාපොරොත්තු සුන් කරමින් ටෙස්ට් වරම් දිනාගත් ළහිරු ගමගේ පාකිස්තාන ලකුණු පුවරුව 5ක් වෙද්දී සාමී අස්ලාම්ගේ කඩුල්ල දවා ගැනීමට සමත් විය. ගමගේ යැවූ පන්දුව දෙවැනි ස්ලිප් ක්‍රීඩක කුසල් මෙන්ඩිස් අතට යෑමට පෙර පිටියේ පතිත වූවාද යන්න රූපවාහිනී පුනරූපන මගින් තහවුරු කර ගැනීමට විනිසුරු කටයුතු කිරීමෙන් අනතුරුව දැවී යෑම තීරණය විය. එම ඕවරයේම ළහිරු ගමගේ සාමී අසාම්ගේ දුර්වලතාවයෙන් උඩ පන්දුවක් ලබාගත්තද එය නිපන්දුවක් බව විනිසුරු තීරණය කළේය.

අංක එක පිතිකරු අසාර් අලීට ස්ථාවර වන්නට නොදීම ශ්‍රී ලංකා පිල ලැබූ තවත් ජයග්‍රහණයක් විය. නුවන් ප්‍රදීප් එවු පන්දුවකට අලී ආරක්ෂාකාරී පහරකට යෑමෙන් ‘ෂෝට් ස්කෙවයාර් ලෙග් ‘ හී සිටි කෞෂාල් සිල්වා වෙත උඩ පන්දුවක් දී ලකුණු 17කට දැවී ගියේය. එවිට පාකිස්තානය කඩුලු 2කට ලකුණු 36ක් වී තිබුණි. පාකිස්තාන ලකුණු පුවරුව ලකුණු 49 සිට 52 වෙද්දී දිල්රුවන් පෙරේරා ෂාන් මෂූඩ්, ෂොහේල් හා බාබර් අසාම් යන පිතිකරුවන් තිදෙනාම අසරණ කොට ක්‍රීඩාගාරයට යැවීම මෙම තරගයේ කැපී පෙණුනි. එහෙත් අනතුරුව පාකිස්තානයට තර්ජනයක් ගෙන ඒමට ශ්‍රී ලංකා පන්දු යවන්නන්ට නොහැකි විය.

ශ්‍රී ලංකා පිල දෙවැනි ඉනිම ලකුණු 34කට කඩුලු 5ක් දැවී ඊයේ දිනය ආරම්භ කළ අතර කුසල් මෙන්ඩිස් හා නිරෝෂන් දික්වැල්ල 6වැනි කඩුල්ලට ලකුණු 25ක් එක් කරදිදී දික්වැල්ල වහාබ් රියාස්ගේ පන්දුවකට කඩුලු රකින ක්‍රීඩක සෆ්රාස් අහමඩ් අතට උඩ පන්දුවක් දී ලකුණු 21කට දැවී ගියේය. අටවැනි කඩුල්ලට හේරත් හා කුසල් මෙන්ඩිස් ලකුණු 25ක සම්බන්ධතාවක් ගොඩනැගීම හැරෙන්නට ශ්‍රී ලංකාවට හිස එසැවීමට පාකිස්තානුවෝ ඉඩ නොදුන්හ.

ටෙස්ට් තරගයක ඉනිමකදී එක් ඕවරයක් යවා කඩුලු තුනක් බිද හෙලීමේ අපූරු ජවනිකාවක නිරතවූ හැරීස් සොහේල් ලකුණු 1කට කඩුලු 3ක් ගැනීමෙන් ශ්‍රී ලංකා ඉනිම නිමාවිය. තම දෙවැනි ටෙස්ට් තරගයට ක්‍රීඩා කරන හැරීස් ඉනිමේ අවසන් ඕවරයේදී රංගන හේරත්, කුසල් මෙන්ඩිස් හා නුවන් ප්‍රදීප් දවාලූහ.

ඕවර් 26කට සීමාවූ ශ්‍රී ලංකා දෙවැනි ඉනිමේදී වහාබ් රියාස් කඩුලු 4ක්, යසීර් ෂා කඩුලු 2ක් හා හැරීස් සොහේල් කඩුලු 3ක් බිඳ හෙලීමට සමත් වූහ.

නව අදහස දක්වන්න