හදවත් බද්ධයට සෙව්වන්දි යළි ශල්‍යාගාරයට | දිනමිණ

හදවත් බද්ධයට සෙව්වන්දි යළි ශල්‍යාගාරයට

මහනුවර මහ රෝහලේ හෘද ඒකකයේ දී පළමු හෘද බද්ධ කිරීමේ සැත්කම සාර්ථකව සිදුකළ වෛද්‍ය කණ්ඩායම යළිත් හදවත්වලින් බැඳෙමින් අසාධ්‍යය තත්ත්වයෙන් එම ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි සචිනි සෙව්වන්දි නමැති දහනව හැවිරිදි තරුණියට ඊයේ (26) රාත්‍රී 10.30 ට පමණ හදවත් බද්ධ කිරීමේ සැත්කමක් සිදු කිරීමට සැලසුම් කර තිබිණි. ඇයව ශල්‍යගාරය වෙත රැගෙන යාම සඳහා සියලු කටයුතු රාත්‍රී 8.30 පමණ වනවිට සූදානම්ව තිබූ බව සෙව්වන්දිගේ පියාවන මහේෂ් කුමාර පැවසුවේය. යතුරු පැදි අනතුරකින් බරපතළ තුවාල ලැබ මහනුවර මහ රෝහලේ දැඩි සත්කාර ඒකකයේ දින ගණනවක් ප්‍රතිකාර ලබමින් සිටි හාරගම ප්‍රදේශයේ විසිඅට හැවිරිදි තරණයකුගේ හදවත සෙව්වන්දිට බද්ධ කිරීම සඳහා ලබා දීමට ඔහුගේ ඥාතීන් කැමැත්ත පලකර තිබිණි.

ඊෙය් රාත්‍රී එම තරුණයාගේ වකුගඩු දෙකද වෙනත් රෝගීන් දෙදෙනකුට බද්ධ කිරීම සිදු විණි. මොළය මියගිය අයගේ හදවත ඔහුගේ ශරීරයෙන් ඉවත් කිරීම් සැත්කම මුලින් ආරම්භ කර තිබෙන අතර එය රාත්‍රී 8.30 ට පමණ ආරම්භ කර තිබෙන බව වාර්තාවෙයි.

පසුගිය 19 දින ඇයට හදවත් බද්ධ කිරීමක් සිදු කිරීමට සියලු කටයුතු සැළැසුම් කර තිබිය දී හදිසියේ සැත්කම අත්හිටුවීම හේතුවෙන් මහත් ආන්දෝලනයක් ඇතිවූ අතර සෞඛ්‍යය ඇමැතිරයා සමඟ කළ සාකච්ඡාවකින් පසු වෛද්‍ය කණ්ඩායම හදවත් බද්ධ කිරීමේ සැත්කම් යළි ආරම්භ කිරීමට එකඟවී ඇත.

ඒ අනුව ඇමැතිවරයා හදවත් බද්ධ කිරීමේ දී අත්‍යවශ්‍යය වන යන්ත්‍ර කිහිපයක් රෝහලට ලබා දී තිබේ. පළමු හදවත් බද්ධය මඟ හැරී සතියක් ගත වන්නට මත්තෙන් තවත් හදවතක් බද්ධ කිරීම සඳහා සෙව්වන්දි‍ට ලැබීම ඉතා කලාතුරකින් සිදුවන්නක් බව වෛද්‍යවරු පවසති.

අලුත්ගම ප්‍රදේශයේ පදිංචි සචිනි සෙව්වන්දිගේ හෘද ක්‍රියාකාරීත්වය 10 % ක පමණ මට්ටමක් දක්වා අඩුවී තිබූ අතර හදවතක් බද්ධ කිරීමෙන් පමණක් ඇයගේ ජීවිතය බේරා ගැනීමට හැකි තත්ත්වයක් මතුව තිබිණි. සචිනිගේ වැඩමහල් සහෝදරිය ද මෙයට වසර පහකට පෙර මියගොස් ඇත්තේ හදවත් රෝගයකිනි.

පොළොන්නරුව ප්‍රදේශයේ යුද හමුදා සෙබළෙකු‍ හදිසි අනතුරකට ලක්ව පොළොන්නරුව රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටිය දී මොළය මියගොස් යන්ත්‍ර අධාරයෙන් හෘද ස්පන්ධනය පවත්වා‍ ගෙන යද් දී ඔහුගේ බිරිය හා ඥාතීන් ශරීර කොටස් බද්ධ කිරීම සඳහා ලබා දීමට එකඟතවෙ පලකර තිබිණි.

එම තරුණයාගේ හදවත සෙව්වන්දිට බද්ධ කිරීම සඳහා මහනුවරට රැගෙන ආ නමුත් නිර්වින්දන වෛද්‍යවරු උපකරණවල පවතින අඩුපාඩු හේතුවෙන් ශල්‍යකර්මය සිදු කිරීමට නොහැකි බව දැනුම් දීම නිසා හදවත බද්ධ කිරීම අපේක්ෂා කළ පරිදි සිදු නොවිණි.

තම දෙවන දරුවාත් මරණය වෙත තල්ලු වනු බලා සිටීමට නොහැකිව සෙව්වන්දිගේ පියා මෙම හදවත් බද්ධය සිදු නොකිරීම සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වන ලෙස සෞඛ්‍යය ඇමැතිවරයා ගෙන් ඉල්ලීමක්ද කැර තිබිණි.

ඒ අතරතුර හදසි අනතුරකට ලක්ව මොළය මියගිය අයෙකුගේ හදවත සෙව්වන්දිට බද්ධ කිරීම සඳහා ලබා දීමට ඔහුගේ ඥාතීන් එකඟතාව පලකළ අතර එම හදවත සෙව්වන්දිගේ ශරීරයට ගැලපෙන්නේද යන්න සෙවීම සඳහා කළ පරීක්ෂණද ඊයේ (26) වන විට අවසන්ව තිබුණු බව සෙව්වන්දිගේ පියා වන මහේෂ් කුමාර පැවසුවේය.

හදවත් බද්ධ කිරීමේ ශල්‍යකර්මයට පෙර ලබාදෙන ‍ඖෂධ දියණියට පස්වරුවේ ලබාදුන් බව ද ඔහු කීවේය.

අසේල කුරුළුවංශ

නව අදහස දක්වන්න