ඉවෝන් ගුරුසිංහ පළමු වරට වලව යතුරුපැදි කිරුළ දිනයි | දිනමිණ

ඉවෝන් ගුරුසිංහ පළමු වරට වලව යතුරුපැදි කිරුළ දිනයි

ගීෂා මුණසිංහ

ඇඹිලිපිටිය සෙවනගල ක්‍රාෆ්ට්මන් ඕටෝඩ්‍රොම් ධාවන පථයේ පැවැති 7වැනි වලව සුපර්ක්‍රොස් ධාවන තරගාවලියේදී අශාන් දක්ෂතම මෝටර් රථ රියදුරු ලෙස අභිෂේක ලබද්දී ඉවෝන් බීයාජී ගුරුසිංහ පළමු වරට මේ තරගාවලියේ දක්ෂතම යතුරුපැදි ධාවකයා ලෙස කිරුළ දිනා ගැනීමට සමත් විය.

ශ්‍රී ලංකා යුද හමුදා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු රෙජිමේන්තුව, ශ්‍රී ලංකා යතුරුපැදි ක්‍රීඩා සංගමය සමග එක්ව සංවිධාන කළ තරගාවලියේ දී එස්.එල්./ජී.ටී. 3500 සී.සී. ශූරතා මෝටර් රථ තරග ඉසව් දෙකෙන්ම ජයගත් අශාන් සිල්වා දක්ෂතම මෝටර් රථ රියදුරු ලෙස අභිෂේක ලැබූ අතර එම්.එක්ස්. 250 සී.සී. ශූරතා යතුරුපැදි පළමු තරගයෙන් දෙවැන්නා වෙමින් දෙවැනි තරගයෙන් ප්‍රථමයා වෙමින් ඉවෝන් බියාජී ගුරුසිංහ දක්ෂතම යතුරුපැදි ධාවන ශූරයා ලෙස කිරුළ හිමිකර ගත්තේය.

එස්.එල්./ජී.ටී. 3500 සී.සී. ශූරතා මෝටර් රථ තරග ඉසවේ පළමු තරගයේදී පෙරදින කාල ගණනයේ හොඳම කාලය වාර්තා කර සිටි කුෂාන් පෙරමුණ ගෙන සිටි අතර අශාන් දෙවැන්නා හා පසිදු තුන්වැන්නා ලෙස තරගයට අවතීර්ණ වූහ. තරගය අාරම්භක සංඥාව ලද සැනින් කුෂාන් වෙත තියුණු අභියෝගයක් එල්ල කළ අශාන් පළමු හැරවුමේදීම කුෂානි පසුකර යමින් පෙරමුණ ගත්තේය. වට අටකින් සමන්විත වූ තරගය නිමා වනතෙක් අශාන් පසුකරයාමට කිසිවකුට නොහැකි විය. අශාන් පසුපසින් තියුණු අභියෝගයක් එල්ල කළ කුෂාන් හා පසිඳු, අශාන්ට කිසිඳු අතපසු වීමකට ඉඩ නොහළේය. තරගය නිමා වන තෙක්ම අශාන් ආසන්නයේම තරගයේ නියැලුණු කුෂාන් හා පසිඳු තරගය නිමා කළේ දෙවැන්නා හා තෙවැන්නා ලෙසයි. ඉෂාක් වහාබ් සිවුවැන්නා වූ අතර මිස්සක නවීන් පස්වැන්නා විය.

එම ඉසව්වේ දෙවැනි තරගය ආරම්භය පළමු තරගයේ ලබාගත් ස්ථාන මත සිදු විය. තරගය ආරම්භයේදීම අශාන්ට අභියෝග කළ කුෂාන්, ඔහු පසුකර පෙරමුණ ගැනීමට සමත් විය. දක්ෂයා තමා යයි සනාථ කළ අශාන්, කුෂාන් ලබාගත් පෙරමුණ ක්ෂණයෙන් තමා සතු කරගත්තේය. අනතුරුව දෙවැනි ස්ථානය වෙනුවෙන් පසිඳු හා කුෂාන් අතර ත්‍රීව්‍රර සටනක් ආරම්භ විය.

විටෙක කුෂාන් විටෙක පසිඳු එලෙස වට කිහිපයක් තරග කළත් අවාසනාවන්ත ලෙස කුෂාන්ගේ මෝටර් රථය ධාවන පථයන් ඉවතට ඇදී යාම නිසා කුෂාන්ට තරගයෙන් ඉවත් විමට සිදුවිය. පසිඳු පසුපසින් මිස්සක තරග කළත් මිස්කගේ මෝටර් රථයේ සිඳුවූ කාර්මික දෝෂය නිසා ඔහුට තරගයෙන් ඉවත් විය. පසිඳු දෙවැන්නා ලෙස තරගය නිම කරද්දී ඉෂාක් වහාබ්, කපිල නිශාන්ත හා රෝසි ප්‍රනාන්දු පිළවෙළින් තෙවැනි, සිවුවැනි හා පස්වැනි ස්ථාන හිමිකර ගත්හ.

මේ තරග බිමේ වැඩිම වාර ගණනක් යතුරුපැදි ශූරයා වූ ගයාන් සඳරුවන් එම්.එක්ස්.250 රේසිං 250 සී.සී. පළමු ශූරතා ඉසව්ව ජයගත්තේ පළපුරුද්ද සමගිනි. එහෙත් එහි දෙවැනි තරගයෙන් ජය හිමි කරගත්තේ ඉවෝන්ය. දෙවැනි තරගයේ මන්දගාමී ආරම්භය නිසා ගයාන්ට ශූරතාව ගිලිහී ගියේය. මන්දගාමී ආරම්භය නිසා සිව්වැන්නා ලෙස තරගයට ප්‍රවිශ්ටය ලබාගත් ගයාන් වටෙන් වටේ ඉදිරියට පැමිණියත් ඉවෝන් පසු කර යැමට නොහැකි විය. එම්.එක්ස්. 250 රේසිං 250 සී.සී. පළමු ශූරතා තරගයෙන් ඉවෝන් දෙවැන්නා වූ අතර දෙවැනි තරගයෙන් ගයාන් දෙවැන්නා විය. ජාක් ගුණවර්ධන තරග දෙකේදීම තුන්වැන්නා ලෙස තරගය නිමා කළේය.

මෙරට කීර්තිමත් යතුරුපාදි ධාවකයෙකු වූ මේ වසර මුලදී නුවරඑළිය මාර්ග ධාවන තරගය අතරතුර සිඳුවූ අනතුරින් පසුව අප අතරීන් වියෝ වූ ආනන්ද වෙඩිසිංහ වෙනුවෙන් විශේෂ අභියෝගතා කුසලානයක් ශ්‍රී ලංකා යතුරුපැදි ධාවකයන්ගේ සංගමය විසින් පළමු වරට හඳුන්වා දී තිබුණි. එම ආනන්ද වෙඩිසිංහ අනුස්මරණ අභියෝගතා කුසලානය හිමිකර ගැනීමට ඉමල් මංචනායක සමත් විය. ඉමල් පළමු එස්.එම්. සුපර් මෝටාඩ් විවෘත තරගයෙන් ජයගත් අතර දෙවැනි තරගයෙන් දෙවැන්නා විය.

දෙවන තරගයෙන් ජය හිමිවුයේ උද්දික ශ්‍රීමාල් මලවිගේටය. එහෙත් ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණගත් ඉමල් මංචනායක ආනන්ද වෙඩිසිංහ අභියෝගතා කුසලානයේ හිමිකරු විය.‘එම්.’ කාණ්ඩයේ ස්ට්‍රේල් ට්‍රේ 250 සී.සී. 100-250 සී.සී. තරගයෙන් ඉවෝන් බීයාජී ගුරුසිංහ ජයගත් අතර සනුක සඳරුවන් දෙවැන්නා විය. දෙවැනි තරගයෙන් සනුක සඳරුවන් ජයගත් අතර ළහිරු ජීවන්ත දෙවැන්නා විය.

නිහාල් විජේරත්න ‘එම්.’ කාණ්ඩයේ 125 සී.සී. ස්ට්‍රේල් ට්‍රේල් (4ටී.) සන්නද්ධ සේවා හා විවෘත තරග ඉසව් දෙකෙන්ම ජයගත් අතර සන්නද්ධ සේවා ‘එම්.එක්ස්.’125 රේසිං 125 සී.සී. (2ටී.) ඉසව්වේ ජය බුද්ධික කසුන් සිල්වා සතු විය.

යතුරුපැදි කාණ්ඩයේ තරග ඉසව්වලින් දිනයේ වැඩිම ජය සංකේත දිනාගත් ධාවකයා බවට ඉවෝන් බියාජී ගුරුසිංහ සමත වූ අතර යතුරුපැදි ශූරතාව ඇතුළුව කුසලාන පහක් දිනගැනිමට ඔහු සමත් විය. නවකයෙකු ලෙස ඉවෝන් මේ ‍වසර පුරාවට පෑ දක්ෂතාවයන් ඉතාමත් ඉහළ මට්ටමක පවතී.

ශූරතා මෝටර් රථ තරගයට අමතරව දිනයේ වැඩිම ප්‍රේක්ෂක ප්‍රතිචාර දිනාගත් මෝටර් රථ තරගය වූයේ එස්.එල්./ එන්. ෆෝඩ් ලේසර්/ මැස්ඩා 1500 සී.සී. මෝටර් රථ තරග ඉසව්වයි. ප්‍රවීණ මෝටර් රථ ධාවක උපුල්වන් හා ධාවන ශූර කුෂාන් එස්.එල්./ එන්. ෆෝඩ් ලේසර්/ මැස්ඩා 1500 සී.සී. තරගයේ ජයග්‍රහණය වෙනුවෙන් ද්වන්ද සටනක නියැලුනේය. පෙරදිනයේ කාළ ගණනයේදී පෙරමුණ ගෙන සිටි උපුල්වන් තරග ආරම්භය හොඳින් ලබාගෙන පෙරමුණේ පසු වූවත් ඔහුට අභියෝග කරමින් කුෂාන් හොඳ තරගයක නියැලුනේය.

එහෙත් තරගය තුළදී අනතුරට භාජනය වී තිබුණු මෝටර් රථයක ගැටීම නිසා කුෂාන්ට තරග අවසානය කරා ලගාවීමට නොහැකි විය. උපුල්වන් ජයගත් එම තරගයෙන් තරිඳු ධර්මරත්න දෙවැන්නා විය. එම තරග කාණ්ඩයේම එස්.එල්./ එන්. ෆෝඩ් ලේසර්/ මැස්ඩා 1300 සී.සී. ඉසව්වේ ජය හිමිවුයේ කුෂාන් පිරීස්ටය. නිශාන්ත සේනාධීර දෙවැන්නා වූ අතර උපුල්වන්ට හිමිවූයේ තෙවැනි ස්ථානයයි.

‘ඒස්. එල්./ ඒ.’ මිනි 07 ඉසව්වෙන් කේ.පරමේෂ්වරන් ජයගත් අතර එස්.එල්./ඊ. 1275 සී.සී. මිනි මෝටර් රථ ඉසව්වේ ජය නීල් විරසිංහට හිමිවිය.

5500 සී.සී. ට්‍රක් හා ජීප් රථ (ඩීසල්) ඉසව්වෙන් හා විවෘත තරග ඉසව්වෙන්ද ඉෂාක් වහාබ් ජයගත්තේය. ඉෂාක් මෝටර් රථ තරග ඉසව්වලින් දිනයේ වැඩිම කුසලානලාභියා විය.

‍ශ්‍රී ලංකා යතුරුපැදි ධාවකයන්ගේ සංගමය 70 වැනි වසර සමරමින් වලව තරගාවලියට එක්ව සිටි අතර සංගමයේ සියළුම සාමාජිකයන් එක ලෙස කැපවීමෙන් තරගාවලිය සංවිධානය කර තිබුණි. නිසි කාල වකවානුවක් තුළ තරගකරුවන්ගේ හැකියාවන් මනා ලෙස උරගා බැලීමට ලක් කළ අතර ඔහුටද නිසි ඇගයීමක් හිමිවූ තරගාවලියක් ලෙස සටහන් තැබිය හැක.

ඡායාරුප - රුක්මාල් ගමගේ

නව අදහස දක්වන්න