කායවර්ධනයේ ක්‍රීඩක මර්දනයට පුෂ්පරාජ්ගේ අතුල් පහර | දිනමිණ

කායවර්ධනයේ ක්‍රීඩක මර්දනයට පුෂ්පරාජ්ගේ අතුල් පහර

51 වැනි ආසියාතික කායවර්ධන තරගාවලිය පසුගියදා දකුණු කොරියාවේ සෝල් නුවර පැවැත්වුණ අතර ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ලූෂන් පුෂ්පරාජ් ක්‍රීඩකයා එහිදී ආසියාවේ අයෝමය පුරුෂයාට හිමි රන් සම්මානය හිමිකර ගත්තේ ය.

කායවර්ධන ක්‍රීඩාවේ නොමැකෙන මතක සටහන් තබමින් ලක් ධජය ආසියාවේ ඉහළින් තබන්නට ලූෂන් පුෂ්පරාජ් සමත් වූයේ අතිශය කටුක, දුෂ්කර මාවතක් තරණය කරමිනි. ජයග්‍රහණයෙන් පසු කඳුළු මතින් නැඟි මිනිසා ලක් ධජය සිප ගැනීමට පසුගියදා පෙරළා මව්බිමට පා තැබීය. තරගාවලිය ජයග්‍රහණය කිරීමත් සමඟ ආසියාවේ හොඳම කායවර්ධන ශූරයා ලෙස ලක් දෙරණේ පුත්‍ර රත්නයක් කිරුළු පැළඳීම පිළිබඳ ශ්‍රී ලාංකිකයන් ලෙස සියලෝම උදම් අනනු ඇත. එහෙත් මේ වත්මන් ශ්‍රී ලංකාව ක්‍රීඩාව යන උද්දෘත යටතේ අන්ත දූෂිත හා අන්ත පරාජිත ජන කොට්ඨාසයක් බව ලොව ඉදිරියේ සටහන් කරමින් පසුවන මොහොතකි. ඒ අතර ලූෂන් පුෂ්පරාජ් නමැති අයෝමය පුරුෂයා ලක්මව වෙනුවෙන් දහඳිය කඳුළු වගුරා මව්බිමේ නම ඉහළින් තබන්නට සමත් වීම විශේෂත්වයකි.

ලූෂන් පුෂ්පරාජ් යනු ශ්‍රී ලංකාව තුළ කායවර්ධන ක්‍රීඩාව යෙදෙමින් තම රට දැය වෙනුවෙන් ජයග්‍රහණ ගෙන ඒමට කැපවී කටයුතු කළ එක් ක්‍රීඩකයෙක් පමණි. එවැනි දස දහස් ගණන් ක්‍රීඩකයන් අපට අහිමි කර ඇත්තේ, ක්‍රීඩා බලධරයන් යැයි කියා ගන්නා අනුවණයන් ය. ඊට කදිම උදාහරණය ලූෂන් පුෂ්පරාජ් වන අතර ලූෂන් ආසියාතික කාර්යවර්ධනයට සහභාගී වන්නේ, කටාර් රාජ්‍යයේ සිට ය. කටාර් රාජ්‍යය තම සේවා ස්ථානය ලෙස තෝරා ගන්නා ලූෂන්.. තම සිතැති ක්‍රීඩාව පසෙක නොදමා, අවශ්‍ය පහසුකම් එකිනෙක සපයා ගනිමින් අප්‍රතිහත ධෛර්යයෙන් ක්‍රීඩාවට පණ පෙවී ය. ඒ අනුව ඔහු කුවේට් රාජ්‍යයෙහි Iron man gym ආයතනයේ පුහුණුකරුවකු ලෙස සේවය කරමින් තම සහජ දක්ෂතාව වැඩි දියුණු කර ගැනීමට උත්සුක විය.

2013 වසරේ දී ඕමානයේ කිලෝග්‍රෑම් 100 බර පන්තිය යටතේ පැවැති විවෘත තරගාවලියේ දී ශ්‍රී ලංකාවට රන් පදක්කමක් ගෙන එන්නට සමත් වූ ඔහු එම වසරේ දීම ගෝල්ඩන් ශ්‍රී ලංකා අයෝමය පුරුෂයා ලෙසත් සම්මාන දිනා ගන්නා ලදී. අනතුරුව 2014 වසරේ දී ආසියානු තරගාවලිය ශ්‍රී ලංකාව නියෝජනය කරමින් පුෂ්පරාජ් රිදී පදක්කම දිනා ගත්තේය. ඉන් පසුව තමන්ට ජාත්‍යන්තර තරග බිමට පිවිසෙන්නට තිබූ අවස්ථා අහිමි වූ බව පවසන පුෂ්පරාජ්ගේ අදහස ශ්‍රී ලංකාවේ කායවර්ධන සම්මේලනය විසින් තම ක්‍රීඩාව මිහිදන් කිරීමට අවශ්‍ය වටපිටාව සැකසූ බවයි. ඊට සෘජු ප්‍රතිචාර දක්වමින් පුෂ්පරාජ් ශ්‍රී ලංකාවේ කිසිදු නිලධරයකුගේ හෝ සහයක් නොමැතිව තම හැකියාව ලොව ඉදිරියේ ප්‍රදර්ශනය කර ක්‍රීඩා අමාත්‍යාංශයට අතුල් පහරක් එල්ල කර ඇත.

 

2014 වසරේ ආසියානු තරගාවලියේ රිදී පදක්කම්ලාභී පුෂ්පරාජ් දැක් වූ දක්ෂතාවයන් හා හැකියාවන් දෙස වුවමනාවෙන් හා කැපවීමෙන් නොබැලූ කායවර්ධන සම්මේලනය කුහකත්වය ප්‍රදර්ශනය කරමින් පුෂ්පරාජ්ට ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට නොහැකි වන ලෙස තරග තහනමකට ලක් කළේ ය. ක්‍රීඩා නිලධරයන් එදා පුෂ්පරාජ්ට ශ්‍රී ලංකාව නියෝජනය කිරීම පවා ප්‍රතික්ෂේප කර ඇත්තේ කවර කාරණයක් නිසා දැයි ජනතාව පෙළගැසී ඔවුනගෙන් ප්‍රශ්න කළ යුතුය. ලෝකය ඉදිරියේ ශ්‍රී ලංකාව යන නම බැබළවූයේ ක්‍රීඩාව මිස දේශපාලනය නොවේ. අදූරදර්ශී පාලකයන් මේ රටේ සිටින අතිදක්ෂ ක්‍රීඩකයන් පළවා හැර තම හිතෛෂීන්ට පිත්ත අතට දුන් අරුමයක මහිම දැන් දැන් පෙනෙන්නට ඇත. ක්‍රිකට් ක්‍රීඩාව අකර්මන්‍ය කළේ ද ඒ අයුරින්ම ය. පුෂ්පරාජ් එදා කායවර්ධන සම්මේලනයේ ඇති අඩු පාඩු පෙන්වා දෙමින් මාධ්‍ය ඉදිරියේ කරුණු පැහැදිලි කළ අතර ඉන් කුපිත වූ සම්මේලනකරුවන් කරුණු නොවිමසාම පුෂ්පරාජ්ට තරග තහනමක් පැනවීය.

එදා අවම වශයෙන් පුෂ්පරාජ්ට විනය පරික්ෂණයක් හෝ සිදුකරන්නට සම්මේලනයට නොහැකි වීම විමතිය දනවන කරුණකි. මාධ්‍ය ඉදිරියේ කරුණු දැක්වීම ක්‍රීඩකයකු කළ යුත්තක් නොවන්නේ නම්, ඊට ක්‍රීඩා අමාත්‍යාංශය මැදිහත් වී ක්‍රීඩකයාගේ විනය ආරක්ෂා කරන අතරතුර ක්‍රීඩකයා රැක ගැනීමට කටයුතු කළ යුතුය. එවැන්නක් ක්‍රීඩා අමාත්‍යාංශයෙන් සිදු නොවුණ තැන පුෂ්පරාජ් කටාර් රාජ්‍යයේ අනුග්‍රහය යටතේ ක්‍රීඩාවෙන් ඉදිරියට පැමිණෙයි. දහසකුත් බාධක මැඩගෙන තම අතින් වියහියදම් පියවාගෙන වුව මෙකී ක්‍රීඩකයා දකුණු කොරියාවේ පැවැති තරගාවලියට සහභාගී වූයේ ශ්‍රී ලංකා ධජය යටතේ ය. කුවේට් රාජ්‍යයේ රැකියාවක් කරමින් උපයන මුදලින් ක්‍රීඩාව වැඩිදියුණු කරගෙන ලක් ධජය තම දෙවුරේ රඳවා තරග කරන්නට පුෂ්පරාජ්ට ඇති වුවමනාව කවරක් ද? ලක් රජයේ ක්‍රීඩා නිලධරයන් තම හෘද සාක්ෂියෙන් විමසිය යුත්තේ තම ක්‍රීඩකයන්ට කෙනහිළිකම් කළේ තමා විසින්ම බව නොවේ ද?

පුෂ්පරාජ් එළවා දමා තම හිතෛෂීන් ක්‍රීඩාවට එක් කළ ද ජය ගත නොහැකි බව පසක් කරගත් කායවර්ධන සම්මේලනය සමාජ මාධ්‍ය ඔස්සේ පුෂ්පරාජ් කෙළසීමට උත්සාහ කළේ ය. කිසිවෙකුත් මාධ්‍ය ඉදිරියේ පුෂ්පරාජ් කළ මෙහෙය ගැන කතා කළේ නැත. ක්‍රීඩා අමාත්‍යවරයාට හෝ මෙකී ක්‍රීඩකයා ගැන අවබෝධයක් නොමැති ද? යන්න සැකයකි. පුෂ්පරාජ් ගැන ඔවුන් කතා කරන්නේ නැත. කතා කළ නොහැකිය. ආසියාවේ හොඳම කායවර්ධන ශිල්පියා පුෂ්පරාජ් වූ තැන ශ්‍රී ලංකාවේ කායවර්ධන සම්මේලනය ඊට සුබ පැතුම් හෝ එක් නොකළේ මන් ද? මෙය හුදෙක් ක්‍රීඩකයන් එල්ල කර ගනිමින් පහර දීමක් වන අතර දක්ෂ ක්‍රීඩකයන් ඉදිරියට ඒම වැළැක්වීමකි.

තම ක්‍රීඩාව ගැන අදහස් දක්වන ලූෂන් පුෂ්පරාජ්...

2016 දී ස්පාඤ්ඤයේ පැවැති ලෝක කාර්යවර්ධන ශූරතා තරගාවලියට සහභාගි වෙන්න මම ආවේ කුවේට් රාජ්‍යයේ ඉදලා. ඒ වෙනකොට මට විද්‍යුත් මාධ්‍ය ආයතනයකින් ක්‍රීඩා සජීවී වැඩසටහනකට ආරාධනා ලැබිලා තිබුණා. එහි දී මම මේ ක්‍රීඩාව හා සම්මේලන අතර ඇති ඇත්ත ප්‍රශ්න ගැන කතා කළා. එදා සම්මේලනයේ අය මට විරුද්ධව තරග තහනමක් නිකුත් කළා ඔවුන් විවේචනය කළා කියලා.

මම විදෙස් ගත වුණේ, ක්‍රීඩාව ප්‍රශ්නයක් කරගෙන නෙමෙයි, ඒත් මගේ ආයතන ප්‍රධානියාගේ ඉල්ලීමක් මත මම මේ ක්‍රීඩාව කරන්න තෝරා ගත්තා. ඒ තෝරා ගැනීම අනුව මම තරගාවලි කිහිපයකට මුහුණ දීලා ලංකාවට පදක්කම් දිනා දීලා තියෙනවා. මම කිසිම දෙයක් රජයෙන් හෝ ක්‍රීඩා අමාත්‍යාංශයෙන් බලාපොරොත්තු වුණේ නෑ. රජයෙන් කිසිම දෙයක් මම අරගෙනත් නෑ. මම උපයන මුදල් තමයි මේ ක්‍රීඩාවට වැය කරන්නේ. මගේ ක්‍රීඩාවෙන් ලක් මවට පදක්කමක් ගෙන එනවා කියන අරමුණ මගේ හිතේ තිබුණා. සම්මේලනය දිහා බලා හිටියා නම් අද මට මේ පදක්කම ගන්න ලැබෙන්නේ නෑ.

මට මේ ක්‍රීඩාව කරන්න ගොඩක් වියදම් යනවා, ආහාර රටාව නිවැරැදිව පවත්වා ගැනීමට හා පුහුණුවීම්වලට විශාල මුදලක් වැය කරන්න ඕන. මම රැකියාවක් කරන ගමන් තමයි මේ දේවල් කරන්නේ. මේ ක්‍රීඩාවට මාසයකට ලක්ෂ දෙකකට ආසන්න මුදලක් වැය කරන්න ඕන. මගේ මව්පියන් හා බිරිය දරුවන් කියන අයත් බලාගෙන මම මේ ක්‍රීඩාව කළා. 51 වැනි ආසියාතික කායවර්ධන ශූරතාවලියට මම යනකොට ලංකාවේ ඉන්නෙ කායවර්ධන සම්මේලනයේ අය කොරියාවේ සම්මේලනයේ ලේකම්වරයාට කෙටිපණිවුඩ පවා යවලා තිබුණේ මාව ඉදිරිපත් වීම වළක්වන්න කියලයි. එහෙම කරලා ඒ අය දිනනවා නම් කමක් නෑ. දිනන්නත් බෑ, මමයි ආසියාවේ හොඳම කායවර්ධන ශිල්පියා. ඒ පදක්කම මම දිනාගත්තා. හැබැයි ඒක ලංකාවට ගේන්න විදිහක් නෑ. මට අනුග්‍රහය දක්වපු ආයතනය ඒක තියාගත්තා. ඒ ගැන මට දුකයි. අපේ නිලධරයන් මේවා ගැන හිතන්න ඕන. මම මහන්සි වෙලා දිනාගත්තු ඒ කුසලානය වෙන රටක තියලා මට උපන් රටට එන්න වුණා. මට කියන්න තියෙන්නෙ මේ සම්මේලන මේ රටේ ක්‍රීඩකයන්ට කළේ කුහකකම විතරයි කියලයි.

කොරියාවට එනවා කියලා දැනගත්තු ගමන් එහේ ඉන්න මගේ මිතුරෝ සියල්ලෝම ඇවිත් මට උදව් කළා. එතකොට මට හැඟුණා අපි විදෙස්ගත වෙලා හිටියත් කොයිතරම් රට වෙනුවෙන් කැපකිරීම් කරනවා ද කියලා. මේ ජයග්‍රහණය පිටි පස්සේ හිටියේ මගේ මිතුරන් විතරයි. මම ඒ අයට ස්තූති කරන්න මේක අවස්ථාවක් කර ගන්නේ යැයි පවසමින් පුෂ්පරාජ් නිහඬවන්නට වූයේ කලකිරුනු ස්වභාවයකිනි.

ජයග්‍රහණයෙන් පසු පුෂ්පරාජ් පිළිගැනීමට ක්‍රීඩා සම්මේලනය හෝ අමාත්‍යාංශ බලධරයන් කිසිවකුත් නොපැමිණි අතර ඔහුගේ පිළිගැනීම සියලු මාධ්‍ය ආවරණයන් ඔස්සේ විකාශය කරමින් සංවිධානය කර ඇත්තේ ඔහුගේ හිතෛෂීන් විසිනි. ඒ අතරට ලෝකප්‍රකට මෝටර් රථ ධාවන ශූරි ඩිලන්ත මාලගමුව පැමිණ සිටීම ද විශේෂත්වයකි. එවැන්නෙක් හෝ විත් මොහු පිළිගැනීම ආඩම්බර විය යුතුය. ලූෂන් පුෂ්පරාජ් පිළිබඳ අසා ඇතිමුත් දැක නොමැති බව පවසන ධාවනශූරි ඩිලන්ත මාලගමුව,

“ලූෂන් පුෂ්පරාජ් කියන ක්‍රීඩකයා ගැන මම අහලා තිබුණාට දැකලා තිබුණේ නෑ. කොහොම නමුත් එයා ලංකාවට එනවා කියලා දවස් දෙකකට කලින් මට දැනුම්දීලා තිබුණා. මගේ පුද්ගලික රාජකාරි සියල්ල අතැර දාලා මම එදා එයාර්පෝර්ට් එකට ගියා.

මම එතැනට ගියෙත් ලූෂන් කියන චරිතය සිතින් මවාගෙන. මම දැක්කා එයාර්පෝර්ට් එකෙන් යෝධයෙක් වගේ කෙනෙක් එනවා. එතකොටත් ලූෂන් කඳුළු වඟුරමින් තමයි ආවේ. ඒකෙන්ම මම හිතාගත්තා හොඳ හදවතක් තියෙන කෙනෙක් කියලා. ඔහු එක පැත්තකින් සතුටට කඳුළු හෙළනවා, අනෙක් පැත්තෙන් දුකට කඳුළු හෙළනවා. ලක්මවට රන් පදක්කමක් ගෙන දුන් සතුටත්, එවැනි දෙයක් කරලා එනකොට බලධරයන් කරන කෙනෙහෙළිකම් දැක ඔහු කඳුළු හෙළනවා.

අපි ක්‍රීඩකයෝ විදිහට ලංකාවේ නම ලෝකයට අරගෙන යනවා. අපේ හිත් සිංහ හිත්. මේ රටෙන් ගිහින් අපි තරග කරන්නේ ධනවත් රටවල් එක්ක. ඒ රටවල ක්‍රීඩකයන්ට දස දහස් ගණනින් වියදම් කරන්න අනුග්‍රහයකයෝ ඉන්නවා. ඒත් අපි වගේ ක්‍රීඩකයන්ට අනුග්‍රහය දක්වන්න මේ රටේ අය ඉදිරිපත් වෙන්නේ නෑ. අපි කියන්නේ අනෙක් ක්‍රීඩාවලට දෙනවා වගේ 10%ක ප්‍රතිපාදනයක් අපිටත් දෙන්න. එතකොට අපි අපේ ක්‍රීඩාවෙන් පදක්කම් ගෙනත් පෙන්වන්නම්. ලූෂන් යන්නෙත් මම යන්නෙත් ජාතික ගීය ගයන තැනක ජාතික ධජය යටතේ ක්‍රීඩා කරන්නයි. අපි පොඩි රටක්, ඒ නම ලෝකයේ ඉදිරියෙන් තියනකොට ආඩම්බර කාට ද, මම දැකලා තියෙනවා අනෙක් ක්‍රීඩාවල ක්‍රීඩකයෝ කියනවා මානසිකව වැටිලා ඉන්නෙ කියලා.

එහෙනම් ලූෂන් වගේම මමත් වැටිච්ච වැටිල්ලට ඉන්න ඕන අංගොඩ.

ලූෂන් පුෂ්පරාජ් පිළිබඳ ක්‍රීඩා විචාරකයන් හා ක්‍රීඩකයන් ප්‍රසංශනාත්මකව කතා කරන අතර තවමත් ක්‍රීඩා බලධරයන් නිහඬව සිටින්නේ මන්ද යනු ප්‍රශ්නයකි. මේ සම්බන්ධයෙන් කතිකාවක් ඇතිවිය යුතුය. ශ්‍රී ලංකාව නියෝජනය කරන ක්‍රීඩකයන්ට එල්ලවන බලධරයන්ගේ පීඩන රට අපකීර්තියට පත් කරන්නා සේම රටට හිමිවිය යුතු තැන අහිමි කරන බැවිනි.

දුමින්ද අලුත්ගෙදර

නව අදහස දක්වන්න