ජනපති මෛත්‍රීගේ නායකත්වයෙන් කළ විප්ලවය මල්ඵල දරමින් තිබෙනවා | දිනමිණ

ජනපති මෛත්‍රීගේ නායකත්වයෙන් කළ විප්ලවය මල්ඵල දරමින් තිබෙනවා

උපාලි කරුණාරත්න

ජනවාරි අට වත්මන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ නායකත්වයෙන් කළ විප්ලවය මේ වන විට මල්ඵල දරමින් තිබෙන බව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය ඇමැති රාජිත සේනාරත්න මහතා ප්‍රකාශ කරයි.

කුමන අන්දමේ බාධක පැමිණියද මෙරට මහජනතාවට රජය ලබාදෙන සෞඛ්‍ය පහසුකම් තව තවත් වැඩි දියුණු කරන බවද ඇමැතිවරයා කීය.

රාජිත සේනාරත්න ඇමැතිවරයා මේ අදහස් පළ කළේ පෙරේදා (30) හොරණ මිල්ලෑවේ දී ආරම්භ කරන ලද නවෙස්ටා ෆාමසියුටිකල්ස් ඖෂධ කර්මාන්ත ශාලාව ආරම්භ කිරීමේ අවස්ථාවට සහභාගි වෙමිණි. මෙය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අතින් විවෘත විය.

මේ කර්මාන්ත ශාලාව විවෘත කිරීමේන් පසු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා කර්මාන්ත ශාලාවේ නිරීක්ෂණ චාරිකාවකද නිරත විය. එහිදී ඖෂධ නිෂ්පාදනය පිළිබඳව කර්මාන්ත ශාලාවේ පිරිස් ජනාධිපතිතුමාව දැනුවත් කරන ලදී. ඖෂධ ඇසුරුම් අංශයටද ගමන් කළ ජනාධිපතිවරයාට මේ ඖෂධ නිෂ්පාදන කර්මාන්ත ශාලාවේ තත්ත්වයන් පිළිබඳව නවෙස්ටා ෆාමසියුටිකල්ස් සමාගමේ සභාපති සංජය ජයරත්න මහතා පැහැදිලිකර දෙන ලදී. අනතුරුව එහි සමරු පොතේ ප්‍රථම සටහනද ජනාධිපතිතුමන් විසින් තබන ලදී. කර්මාන්ත ශාලාවේ කාර්යය මණ්ඩලය සමඟ සමුහ ඡායාරූපයකටද ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මෙහිදී පෙනී සිටියේය. නවෙස්ටා ෆාමසියුටිකල්ස් සමාගමේ ප්‍රථම බෙහෙත් තොඟය රජයේ රෝහල් වෙත ලබාදීම සඳහා සංකේතාත්මකව එහි සභාපතිවරයා විසින් ජනාධිපතිවරයාට පැවැති උත්සව සභාවේදී භාරදෙන ලද අතර ජනාධිපතිවරයාට සහ සෞඛ්‍ය ඇමැතිවරයාට මෙහිදී නවෙස්ටා ෆාමසියුටිකල්ස් සමාගමේ සභාපතිවරයා විසින් සමරු තිළිණද ලබා දෙන ලදී.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඇමැති රාජිත සේනාරත්න මහතා-

2015දී ජනාධිපතිතුමාගේ නායකත්වයෙන් මේ රටේ නව දේශපාලන විප්ලවයක් ඇති කළා. ඒ තුළින් සිදුවුණේ කිසිදු කෙනෙකු නොසිතූ වෙනසක් ඇතිවීමයි. ඒ වෙනස කුමක්ද කියා මේ රටේ මිනිසුන්ට දැන් තේරෙනවා.මේ නව කර්මාන්ත ශාලාව ආරම්භ කිරීමත් එම වෙනසේ කොටසක්.

1970දී බණ්ඩාරනායක මැතිනියගේ ප්‍රධානත්වයෙන් බිහි වූ සමගිපෙරමුණු රජය ඖෂධ සම්බන්දයෙන් පැවති තත්ත්වය වෙනස් කිරීම සඳහා මාක්ස්වාදී දේශපාලන පක්ෂ දෙකක ප්‍රධානින් දෙන්නෙක්ව මේ රටේ ඖෂධ සම්බන්ධව ප්‍රතිපත්තියක් හදන්න පත් කළා. ඔවුන් දෙදෙනා තමයි දොස්තර එස්.ඒ වික්‍රමසිංහ මැතිතුමා සහ මහාචාර්ය සේනක බිබිලේ මැතිතුමා. මෙම ප්‍රතිපත්තයේ එක් දෙයක් තමයි ඖෂධ මෙරට ජනතාවට ඉතා සාධාරණ මිලකට ලබාදීම. අනෙක තමා අපේ රටේ ඖෂධ අපිම නිපදවා ගැනීම. තවත් දෙයත් තමා මේ රටට ආනයනය කළ යුතු ඖෂධ ආනයනයට රජයේම ආයතනයක් බිහි කිරීම. ඒ අනුව රාජ්‍ය ඖෂධ නිතිගත සංස්ථාව බිහි කළා. එහි ප්‍රථම සභාපතිවරයා ලෙස මහාචාර්ය සේනක බිබිලේ මහතා පත් කළා. ජනතාවට ඉතාම අත්‍යවශ්‍ය ඖෂධ මොනවාදැයි හදුනාගත්තා. අලුතින් එක්වූ ඖෂධද සමගින් 2013දී එම ලැයිස්තුව සංශෝධනය වුණා. ඒ අනුව ඖෂධ වර්ග හතළිස් අටක් වුණා. සේනක බිබිලේ මහතා එදා කීමේ මෙරට ඖෂධ මිල අඩු කිරීමට සමාජවාදී රටවලින් සාධාරණ මිලට ඖෂධ ගෙන්විය යුතු බව. බල්ගේරියාවෙන් ගෙන්වූ ඖෂධයක ගැටලුවක් ඇති වූ පසු විරුද්ධවාදීන් ඔහුට දිගට හරහට මාධ්‍ය හරහා පහර දුන්නා. මුදලට කිසිම ආදරයක් නොකළ පුද්ගයෙක් වූ බිබිලේ මහතා කොමිස් මුදල් ගත් බවට චෝදනා කළා. ඔහුට ඇතිවු කලකිරීමත් සමඟ ඔහු නතර වුණේ කෙන්යාවේ. ඔහු නැවත මේ රටට ආවෙ නැහැ. වසර ගණනාවකට පසුව එතුමාගේ භාර්යාව එතුමාගේ අලු බදුන පමණයි ලංකාවට ගෙන ආවේ.

1977දී මේ රටේ මහා වෙනසක් ඇතිවුණා. වෙළඳපොළ ආර්ථිකයක් බිහිවුණා. එදා ජේ. ආර් ජයවර්ධන මැතිතුමන් රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවට පත් කළේ, විශේෂඥ වෛද්‍ය ග්ලැඩිස් ජයවර්ධන මැතිනිය. එතුමිය රජයේ ප්‍රතිපත්තිය කුමක් වුවත් සේනක බිබිලේ ප්‍රතිත්තිය ඉදිරියටම ගෙන ගියා. අඩු මිලට ඉන්දියාවෙන් ඖෂධ ගෙන ආවා. එදා සිටි ඊනියා දේශප්‍රේමින් ඉන්දියානු බඩු තහනම් කළා. එතුමිය එයට අවනත වුණේ නැහැ. අවසානයේ වෙඩි වරුෂාවක් ලැබුණා. එතුමිය මරණයට පත්වුණා. ඖෂධ නිෂ්පාදන නීතිගත සංස්ථාව එදා ඇති වුණේ ග්ලැඩිස් ජයවර්ධන මැතිනියගේ ප්‍රධානත්වයෙන්. ධනපති ආණ්ඩුව යැයි කියන එක්සත් ජාතික පක්ෂයෙන් තමයි ඖෂධ නිෂ්පාදනය මේ රටේ ආරම්භ කළේ.

සෑම වසරකම අපේ සෞඛ්‍ය ඇමැතිවරු රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථවේ ප්‍රධානත්වයෙන් සේනක බිබිලේ අනුස්මරණය කරනවා. සේනක බිබිලේගේ හොද කියනවා. අසූවේ දශකයේ ලෝක සෞඛ්‍ය සංවිධානය ප්‍රකාශයට පත් කළා සේනක බිබිලේ ඖෂධ ප්‍රතිපත්තිය ලෝකයේ සෑම රටකටම වැදගත් බව. මේ තීන්දුව අපේ රටට වලංගු වුණේ නැහැ.

වත්මන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට ඖෂධ ප්‍රතිපත්තිය ඉදිරිපත් කිරීමට ශක්තියක් තිබුණ. එම විවාදයේදී ඩිව් ගුණසේකර මහතා කීවෙ තම ජීවිතයේ සුන්දරම දෙයක් වශයෙන් මේ ඖෂධ ප්‍රතිපත්තිය ඉදිරිපත්කිරීම හැදින්විය හැකිබව. මගෙත් මතවාදය සේනක බිබිලේගේ මතවාදයි. අද අප අත්‍යවශ්‍ය ඖෂධවල මිල පාලනය කළා. මෙහිදී විශාල බාධක ඇතිවුණා. ඇතැම් සමාගම් ඖෂධ මංකොල්ලයක යෙදී සිටින බව අප දුටුවා. රුපියල් දෙසිය ගණනට තිබෙන බෙහෙත් පෙත්ත අපි රුපියල් විසි අටටගෙන ආවා. දියවැඩියාවට තිබෙන පෙත්ත රුපියල් විසිදෙකේ සිට රුපියල් හතරයි පනහට ගෙනාවා. ලෝක ඉතිහාසයේවත් නැති තරම් මිල අඩු කිරීම් ඖෂධ සම්බන්ධයෙන් අප කළා. එක්තරා ප්‍රබල ඖෂධ සමාගමක් අපට කීවා මේ තත්ත්වය නිසා මේ රටින් යන බව. මේ ගැටලුවට මා පිළිතුරු ලබා දුන්නා. ඔවුන් ගියේ නැහැ. රාජ්‍ය ඖෂධ සංස්ථාවට මා දැන්වූයේ ප්‍රධාන ඖෂධ සමාගම් ඖෂධ ගෙන්වන්නෙ නැත්නම් ඒවා ගෙන්වීමට ක්‍රියාකරන ලෙස. යුරෝපා සංගමයේ තානාපතිවරු අප හමුවීමට පැමිණියා. ඔවුන්ද අපගේ ක්‍රමවේදය විද්‍යාත්මක බව පිළිගත්තා. ප්‍රධාන සමාගම්වලටද මා කියන්නෙ මෙරට ඖෂධ නිෂ්පාදන ආයතන ආරම්භ කරන ලෙසයි.

මේවන විට මෙරට ඖෂධ නිෂ්පාදනය කිරීම සඳහා අයෝජකයන් තිස් අට දෙනෙකු සමඟ ගිවිසුම් අත්සන් කර තිබෙනවා. එයින් තිස් එකක් රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවත් සමඟ ඒකාබද්ධ ව්‍යාපෘති ලෙස ක්‍රියාත්මක වෙනවා. මොවුන් නිෂ්පාදනය කරන ඖෂධ අප අවුරුදු පහළොවක් යන තෙක් මිලදී ගන්නවා. ස්වාධීනව කරන අයගේ නිෂ්පාදන අවුරුදු දහයක් යන තෙක් අප ගන්නවා. අද ආරම්භ කළේ දෙවැනි ඖෂධ නිෂ්පාදන සමාගම. මෙහි පවුඩර් එන්නත්ද නිෂ්පාදනය කරනවා. විශාල පරිවර්ථනයක් සෞඛ්‍ය ක්ෂේත්‍රයේ සිදුකරනවා. ජනවාරි 08 පොරොන්දු ජනතාවට ඉටුකරනවා. රට මංකොල්ල කාපු, මිනී මරපු කණ්ඩායම නීතිය ඉදිරියට ගෙන එනවා. රට සංවර්ධන කිරීමේ වැඩ පිළිවෙළ දිගටම ක්‍රියාත්මක කරනවා. ඉදිරියේදී මේ ප්‍රදේශයේදීම තුන්වන ඖෂධ නිෂ්පාදනාගාරයත් බිහිවෙනවා. 2018 වන විට තවත් නිෂ්පාදනාගාර තම නිෂ්පාදන අරඹයි කියා මා සිතනවා. 2019 වන විට රටට අවශ්‍ය ඖෂධ වලින් සියයට අසූ පහක් පමණ අපට නිෂ්පාදනය කිරීමට හැකිවෙනවා. 2020දී රටට අවශ්‍ය සියලු ඖෂධ අප නිෂ්පාදනය කරනවා. විදෙස්වලට යන විශාල මුදල් ප්‍රමාණයක් ඉතිරිකරගෙන රට සංවර්ධනය කරනවා.

වර්තමානයේ රටතුළ ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපිත වෙලා තිබෙනවා. අද ජනාධිපති, අගමැති විවේචනය කරන්න පුළුවන්. මේ නිදහස සමහරු වැදගත් ලෙසත් තවෙකෙක් නොවැදගත්ලෙසත් භුක්ති විඳිනවා. අප නිර්මාණය කරන රට මෛත්‍රීපාලනයක් ඇති රටක්. අප කීවේ නැහැ මේ රට යු.ඇන්.පී ද, ශ්‍රී ලංකාද කියා. මෙමත්‍රී පාලනයට විවේචන තිබෙනවා. ඉදිරියේදී මේ ගැටලු වෙනස් වෙයි. සෞඛ්‍ය ක්ෂේත්‍රය දියුණු කිරීමට ජනාධිපතිතුමා ලබාදෙන දායකත්වය මා ඉතා අගය කරනවා. මේ රට දියුණු රාජ්‍යයක් බවට මෛත්‍රිපාලනයක් යටතේ පත් කරමු.

නවෙස්ටා ෆාමසියුටිකල්ස් සමාගමේ සභාපති සංජය ජයරත්න මහතා-

මීට වසර තුනකට පෙර මාගේ සිතෙහි රෝපනය වූ අදහසක් අද ක්‍රියාත්මක වී තිබෙනවා. මේ නව කර්මාන්ත ශාලාව ඇති කිරීමට ජනාධිපතිතුමාගේ සහ සෞඛ්‍ය ඇමැතිවරයාගේ ප්‍රතිපත්ති විශාල ජවයක් වුණා. ජාතික ඖෂධ ප්‍රතිපත්තිය නිසයි මෙවැන්නක් නිර්මාණය වුණේ. මෙම කර්මාන්ත ශාලාවේ තරුණ තරුණියන් සියයකට සෘජු රැකියා අවස්ථාද තවත් පන්සීයකට වක්‍ර රැකියා අවස්ථාද ලැබෙනවා. ඖෂධ ගෙන්වීම සඳහා විදේශයන්ට ඇදි යන මුදල් අපට මෙවැනි කර්මාන්ත ශාලා නිසා ඉතිරිකර ගන්න පුළුවන්. අප පෙනිසිලීන් කාණ්ඩයේ ප්‍රතිජීවක ඖෂධ ද නිෂ්පාදනය කරනවා.

මේ අවස්ථාවට පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂණ රාජකරුණා මහතා ඇතුළු සෞඛ්‍ය ක්ෂේත්‍රයේ නිලධාරී හු රැසක් සහභාගි වූහ. 

 

නව අදහස දක්වන්න