සංහිඳියාවේ බුදුවදන රැගෙන අස්ගිරි මහා නාහිමියෝ උතුරට වඩිති | දිනමිණ

සංහිඳියාවේ බුදුවදන රැගෙන අස්ගිරි මහා නාහිමියෝ උතුරට වඩිති

ජාතික සංහිඳියාව ප්‍රතිපත්තිය යටතේ තල් අරඹ හා පොල් අරඹ යා කරමින් උතුරු දකුණ පාලම ශක්තිමත් කරමින් අස්ගිරි මහා විහාර පාර්ශ්වයේ මහා නායක ආචාර්ය වරකාගොඩ ධම්මසිද්ධි ශ්‍රී පඤ්ඤානන්ද ඥානරතනාභිධාන මාහිමිපාණන් වහන්සේ පෙරේදා (30) උතුරු පළාත් ආඥාපති දර්ශන හෙට්ටිආරච්චි මහතාගේ ආරාධනාවක් පරිදි උතුරු පළාතට වැඩම කළහ.

එම සංචාරය අතර යාපනය දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී උතුරු පළාත් ආණ්ඩුකාරවර රෙජිනොල්ඩ් කුරේ මහතා ඇතුළු යාපනයේ සර්ව ආගමික නායකයින් අතර හමුවක්ද පැවැත්විණි. එහිදී ඒ ඒ ආගමික නායකයින් අතර ආගම් පිළිබඳව පවතින ගැටලු හා ආගමික ස්ථාන පවත්වාගෙන යාම සඳහා ඇති ගැටලු සාකච්ඡාවට ගැනිණි.

එහිදී අදහස් දැක්වූ උතුරු පළාත් ආණ්ඩුකාරතුමා,

යුද්ධයක් අවසන් වුණාට පස්සේ බිඳීගිය, පෑරුණු , පැළුණු හදවත් සුවපත් කරන්න අවශ්‍ය දේ තිබෙන්නේ ධර්මවාදයේ. සුවපත් කරන්න අවශ්‍ය වන්නේ සහෝදරත්වය, ආදරය, කරුණාව, දයාව, මෛත්‍රීය, ප්‍රේමය පිළිබඳ මතවාදයන් ජනතාවට ගෙන යාමේදී නායකත්වය ඔබවහන්සේලා විසින් ගත යුතුව තිබෙනවා. ආණ්ඩුවකට සියලුම දේ කරන්න පුළුවන් කියලා මම හිතන්නේ නෑ.

භෞතික සම්පත් සැප සම්පත් වලින් විතරක් මිනිස්සුන් සුවපත් කරන්න පුළුවන් නම් මට හිතෙන්නේ ඒක ප්‍රාතිහාර්යයක්. ඒ අඩුව සම්පූර්ණ කළ හැක්කේ ආධ්‍යාත්මක, ආගමික, දාර්ශනික නායකත්වයට පමණයි.

යාපනයේදී ඉතා වැදගත් දේ තමයි මේ රටේ භෞමික අඛණ්ඩත්වය, ස්වාධිනත්වය හා නිදහස වෙනුවෙන් සටන් වැදුණු අපේ රණවිරුවන් අවි දරන්නන් වුණත් ඔවුන් අද යෙදී සිටින්නේ මේ ස්වාමීන් වහන්සේලා දේශනා කරපු මාර්ගයේ ගමන් කරන්න. අද ආගමික සමඟිය වෙනුවෙන් එ් අය විශාල සේවාවක් කරනවා. සෑම උත්සවයකදීම කිසිදු භේදයකින් තොරව ඒ සහාය ලබා දෙනවා. පල්ලි හදනවා. උත්සව වලට උදව් කරනවා. මම දැක්කා වේල් පෙරහැරේ කරත්තේ අපේ යුද හමුදා සොල්දාදුවෝ අදිනවා.

කච්චතිව් පල්ලිය, කච්චතිව් දූපත සම්පූර්ණයෙන්ම නිර්මාණය කරන්න රණවිරුවන් විශාල සහායක් දුන්නා. විවිධ උත්සව, පන්සල්, කෝවිල් ඉල්ලන්නේ මොන උදව්වද ඒ සියලුම දේ අඩුවක් නැතුව ලබා දෙනවා. ඒ විතරක් නෙවෙයි ඩෙංගු මදුරු උවදුරු වේලාවේ මැදගොඩ අභයතිස්ස ස්වාමින්වහන්සේ මේ ප්‍රදේශයට සියක් නමක් සමඟ වැඩලා ලේ දන්දීලා යාපනයේ ලේ බැංකුව පිරෙව්වා.

ඒ වගේම ඉලංගචේලියන් විනිශ්චයකාරතුමා ඒ මරණය සිදුවූ වෙලාවේ අපේ සිංහල කුල කාන්තාවන් ඉදිරියේ අඩාවැටිලා වැඳ නමස්කාර කරලා මනුෂ්‍යත්වය ඉස්මතු වන ආකාරය අපිට දැකගන්නට හැකියාව ලැබුණා. ඒනිසා අද සමාදානය ගොඩනගන්න හොඳ පසුබිමක් නිර්මාණය වෙමින් තිබෙනවා. ඒක කරන්න පුළුවන් ඔබවහන්සේලාගේ එකතුවෙන් . ඔබවහන්සේ මෙතනට වැඩියේ සාමය සමාදානය පණිවිඩය අරගෙන.

ලංකාවේ දකුණු පළාතේ නොයෙකුත් වැරදි මත අරගෙන යන අයට ඔබවහන්සේ ආගමනය උත්තරයක් වුණා. අද උතුරට එන්න බයයි බයයි කියන ජනතාවට ඔබවහන්සේගේ මේ පැමිණිම ප්‍රශ්න දහසකට උත්තර දෙනවට වඩා ඔබවහන්සේගේ පැමිණිමෙන් දකුණේ ජනතාවට පිළිතුරක් ලැබුණා. මෙහේ ඉන්න දමිළ ජනතාව තේරුම් ගන්න නම් මේ ප්‍රදේශයට පැමිණෙන්න ඕන. අපිට වෙන්වීමට කිසිම කාරණයක් නෑ.

මහා විහාර වංශික ශ්‍යාමෝපාලී මහා නිකායේ අස්ගිරි මහා විහාර පාර්ශවයේ මහා නායක ආචාර්ය වරකාගොඩ ධම්මසිද්ධි ශ්‍රී පඤ්ඤානන්ද ඥානරතනාභිධාන මාහිමිපාණන් වහන්සේ මෙසේ පැවසූහ.

බුදුන් වහන්සේ මිනිසාගේ සිතුම් පැතුම් පිළිබඳව දියුණුව සඳහා උපදෙස් දුන් ශාස්තුවරයෙක්. තිරිසන් සතුන්ට පවා සැපසේ සුවසේ ජීවත් විමට අවශ්‍ය බවයි බුදුන් වහන්සේ ප්‍රකාශ කළේ.

මිනිසුන් කිසිම කෙනෙක් අනුන්ගේ පීඩාවන්ට ගොදුරු වෙන්න කැමති නැහැ කියන එකයි බුද්ධ ධර්මයේ සඳහන් වන්නේ. ලෝකයේ මිනිසුන් ජාතින් වශයෙන් ගත් විට විවිධයි. විවිධ ජාතීන් ලෝකයේ ජීවත් වෙනවා. විවිධ ආගම් තියෙනවා. ඒ සියළු ආගම් වල උගන්වන්නේ මිත්‍රත්ත්වයෙන්, සහෝදරත්ත්වයෙන් ජීවත් වන්න කියලයි. මිනිසුන්ට ඇති වෙලා තියෙන ප්‍රශ්න මිත්‍රත්ත්වයෙන්, සහෝදරත්ත්වයෙන් විසඳා ගැනීමට තමයි අවශ්‍ය වෙලා තියෙන්නේ. සිංහලයන් වශයෙන් අපි සියළු අයිතිවාසිකම් අපට ලබා දිය යුතුයි කියලා අපි කෑ ගහන්නේ නැහැ. අනික් අයත් කෑ ගැහුවොත් අපිටත් ඒ අයිතිවාසිකම් ලබා දිය යුතුයි කියලා ඒක කරන්නත් බැහැ. හැමෝම තෘප්තිමත් කරන්නත් බැහැ.

හැමෝම තෘප්තිමත් කරන්න ගියොත් අපිට කිසිම දෙයක් කරන්න බැහැ. හැමෝටම ඒ ආකාරයෙන් සැප සම්පත් ළඟකර දෙන්නත් බැහැ. අපි මිනිසුන් වශයෙන් එකතුවෙලා සහෝදරත්වයෙන් කටයුතු කිරීමෙන් මම හිතනවා සියලු දෙනාගේම අයිතිවාසිකම් තහවුරු කරගැනීමට අවකාශය ලැබෙනවා කියලා.

මිනිසාගේ පැවැත්මට බාධා කරන විවිධ භේද මිනිසා අතර ඇතිවෙලා තියෙනවා. ජාති ආගම් කුල මල භේද වශයෙන් මිනිස්සුන් විවිධාකර භේද හදාගෙන තියෙනවා. ඒ හදාගත්තු භේදවලින් මිනිසාමයි විපතට පත්වන්නේ.

මෙම භේද හදාගත්තේ කොයි වකවානුවේද කවුද හැදුවේ කියලා ප්‍රශ්නයක් නැහැ. වරින්වර මිනිසුන්ම ඒ ඒ අවස්ථාවන්ලදී ඇති කරගත් භේදවීම් තමයි පවතින්නේ අද දක්වාම. මේවා මේ බුද්ධිමත් ලෝකයේ බුද්ධිමත්ව හිතලා ඒ වාදභේද තුරන් කරගෙන හැමදෙනාම මනුෂ්‍යයෝ හැමදෙනාටම එකලෙස අයිතිවාසිකම් තිබිය යුතුයි හැමදෙනාගෙන්ම ඒවා ඉටුවිය යුතුයි කියලා හිතාගන්න ඕනා.

බඩගින්න පිපාසය කියන දේට ආගම් කුලභේදයක් නැහැ. හැම දෙනාට එක ලෙස දැනෙන දෙයක් ඒක. ඒවගේම සියලු දෙනාටම සමාන අයිතිවාසිකම් තිබිය යුතුයි වගේම ඒවා ඉටු කරගැනීමට සමඟි සම්පන්නව බෙදාහදාගෙන ජීවත්වීම තමයි කළ යුතු වන්නේ. රටක් හෝ වේවා ප්‍රදේශයක් හෝ වේවා බෙදා ගන්න සටන් කිරීමෙන් කවදාවත් ඒවා සපල වන්නේ නැහැ.

මෙතැන සිටින ආගමික නායකයින් විවිධ අදහස් හා යෝජනා ඉදිරිපත් කළා. අපි ඒවා ක්‍රියාත්මක කරන්න අපේ ආණ්ඩුකාරතුමන්ට දාලා ජනාධිපතිතුමාට යොමු කරමු.ඒවායින් රටට ජාතියට සෙතක් සැලසේවීයැයි මම බලාපොරොත්තු වෙනවා.

පුත්තූර් ප්‍රදේශයේ පිහිටි මඩිහේ පඤ්ඤාසීහ මහනාහිමි විද්‍යාලයට වඩැම කළ අස්ගිරි මහා නා හිමියෝ එම විද්‍යාලයේ දුවා දරුවන්ට පොත්පත් ප්‍රදානයක්ද සිදුකළහ. 

නව අදහස දක්වන්න