අත්අඩංගුවට ගත් ජ්‍යෙෂ්ඨ නි.පොලිස්පති: ගත යුතු ක්‍රියාමාර්ග ගැන සාකච්ඡාව 21දා | දිනමිණ

අත්අඩංගුවට ගත් ජ්‍යෙෂ්ඨ නි.පොලිස්පති: ගත යුතු ක්‍රියාමාර්ග ගැන සාකච්ඡාව 21දා

විජයානි එදිරිසිංහ

සැකකරුවකුට පළායාමට ආධාර උපකාර කළේ යැයි අපරාධ ‍පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් පෙරේදා අත්අඩංගුවට ගත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලලිත් ජයසිංහ මහතා සම්බන්ධයෙන් ජාතික පොලිස් කොමිසම ගත යුතු ක්‍රියාමාර්ග ගැන සාකච්ජා කිරීම ලබන 21 වැනිදා සිදු කෙරේ.

නියෝජ්‍ය පොලිස්පතිවරයා අත්අඩංගුවට ගැනීමට පෙර ජාතික පොලිස් කොමිසමට ඒ මහතා යාපනයේ විද්‍යා දැරිය ඝාතනය කළැයි කියන එහි ප්‍රධාන සැකකරුට පළා යාමට සහයෝගය දුන් බවත් ඒ සම්බන්ධයෙන් පරීක්ෂණයක් කරන ලෙසත් පැමිණිල්ලක් ඉදිරිපත් වී තිබුණි.

ජාතික පොලිස් කොමිසම එම පැමිණිල්ල සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වා පසුගිය සතියේ චෝදනා ඇතුළත් චෝදනා පත්‍රයක් නියෝජ්‍ය පොලිස්පති ලලිත් ජයසිංහ මහතා වෙත යවා තිබුණි. එම චෝදනා පත්‍රයට පිළිතුරු එවීමට පෙර රහස් පොලීසිය මඟින් ලලිත් ජයසිංහ ‍මහතා අත්අඩංගුවට ගනු ලැබිණි.

ආයතන සංග්‍රහය යටතේ ජාතික පොලිස් කොමිසම මගින් යැවුණු මේ චෝදනා පත්‍රයට පිළිතුරු ලබාදීම ඔහු එම චෝදනා සම්බන්ධයෙන්ම නීතිය මගින් අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් බන්ධනාගර ගත කිරිමත් සමග අවශ්‍ය නොවන අතර මේ චෝදනා පත්‍රය බල‍ රහිත වන බව ‍ජාතික පොලිස් කොමිසමේ ලේකම් ආරියදාස කුරේ මහතා පැවසීය.‍

රිමාන්ඩ් බන්ධනාගාර ගත වූ ඒ මහතාගේ ඉදිරි රාජකාරි කටයුතු පිළිබඳ ගන්නා තීරණය මෙදින ජාතික පොලිස් කොමිසම මඟින් සාකච්ජාවට භාජනය කරනු ඇත. 

නව අදහස දක්වන්න