දීප උයනේ පැවැති එක්තරා රැස්වීමක් මගේ දේශපාලන ගමන්මග වෙනස් කළා | දිනමිණ

දීප උයනේ පැවැති එක්තරා රැස්වීමක් මගේ දේශපාලන ගමන්මග වෙනස් කළා

පොළොන්නරුව විශේෂ ගාමිණී ඔබේසේකර

1967 පොළොන්නරුවේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රී ලීලාරත්න විජේසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් මේ දීප උයනේදී රැස්වීමක් පැවැත්වුණා. මේ රැස්වීමට කොමියුනිස්ට් පක්ෂයේ කුලරත්න වික්‍රමසිංහ මහතා මා කැඳවාගෙන ආවා. මේ රැස්වීමට අපි මොනවා හරි කරන්න ඕනෑ යැයි කුලරත්න මහතා මට යෝජනා කළා...

මහා පරාක්‍රමබාහු රජතුමා විසින් නිර්මාණය කරන ලද පොළොන්නරුව පූජා නගරයේ පිහිටි 'දීප උයන' මගේ දේශපාලන ජීවිතය හා ගමන්මග වෙනස් කළ ස්ථානයක්. මා ශ්‍රීලනිපයට එක්වුණේ මේ උයනේ පැවැති එක්තරා රැස්වීමක් හා එහි සිදුවූ සිදුවීමක් නිසා යැයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැවැසීය.

රුපියල් දසලක්ෂ 125ක වියදමකින් උතුරුමැද පළාත් සභාව මඟින් සංවර්ධනය කරන ලද පොළොන්නරුවේ 'දීප උයන' විවෘත කිරීමෙන් අනතුරුව (10) පැවති ජනහමුවේදී ජනාධිපතිතුමා මේ බව සඳහන් කළේය.

මෙහිදී තවදුරටත් කතා කළ ජනාධිපතිවරයා : මහා විජයබාහු රජතුමා වසර 54ක් මේ රටේ රජකම් කළා. එතුමා පොළොන්නරුවට පැමිණියේ දකුණින්.විජයබා කුමාරයාට ඔටුන්න පළඳවනු ලැබුවේ තිස්සමහාරාමයේදී. එසේ කරනු ලැබුවේ රට එක්සේසත් කොට සංවර්ධනය කිරීමෙන් පසුවයි.

මහා පරාක්‍රමබාහු රජතුමා වසර 33ක් රාජ්‍යය පාලනය කළා. ඉන්පසු නිශ්ශංක මල්ල රජතුමා වසර 13ක් රජකම් කළා. නිශ්ශංක රාජ සභා මණ්පය පිහිටා තිබෙන්නේ මේ 'දීප උයන'ට නුදුරුවයි. මේ දීප උයන බිහිවෙන්නට කලින් නිශ්ශංක රාජ සභා මණ්ඩපය දැකබලා ගැනීමට දෙස් විදෙස් සංචාරකයන්ට අපහසු වුණා. වැව් බැම්ම දිගේ යාමට සිදු වූවා. හරිහැටි මාර්ගයක් තිබුණේ නැහැ.

මේ රටේ සංචාරක ව්‍යාපාරය මෙන්ම පොළොන්නරුවේ පාසල් දරුවන්ට මෙන්ම මෙහි ජනතාවට මෙම දීප උයනෙන් ප්‍රයෝජන රැසක් ලබාගැනීමට හැකියි

අධ්‍යාපන කටයුතුවලට, පරිසර දැනුමට මෙන්ම විනෝද කටයුතු වලදී මෙය වැදගත්. එසේම පසුගිය වසර 40කට පෙර සිට මෙම 'දීප උයන' දේශපාලන රැස්වීම් පවත්වන්නට යොදා ගනු ලැබුවා.

1965 වසරේ ඩඩ්ලි සේනානායක මහතා මැතිවරණයෙන් ජයග්‍රහණය කිරීමෙන් පසු පොළොන්නරුවේ මෙම ස්ථානයේදී රැස්වීමක් පැවැත්වූවා. එතකොට මගේ වයස 14යි. මම ඒ රැස්වීම බලන්න ආවා. ඩඩ්ලි සේනානායක මහතා කැමරාවක් කරේ එල්ලාගෙන මෙම රැස්වීමට සහභාගී වුණා.

පාසල් යන කාලයෙත් මම දේශපාලන කටයුතු වලට සහභාගී වුණා. තෝපාවැව මහා විද්‍යාලයේ ඉගෙනුම ලබන විට පාසල් ඇරෙන විට ගේට්ටුව අසල සිටි තරුණයෙකු නොමිලයේ 'කම්කරුවා' නම් වූ පුවත්පත ලබා දුන්නා. මල්ලිලා මේක ගෙනිහින් කියවන්න කීවා. මාස 3ක් විතර මේ විදියට පත්‍රය බෙදාදීමෙන් පසු ඒ තරුණයාගේ දේශපාලන පන්තිවලටත් මා සහභාගී වූවා.

1967 වෙසක් පෝය දිනය දවසේ මැයි දිනයද යෙදී තිබුණා. මැයි 1 ඒ නිසා රජය විසින් පෙළපාලි රැස්වීම් තහනම් කරනු ලැබුවා. ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂය මේ නියෝගය පිළිගත්තේ නැහැ. 1967 මැයි 2දා පොළොන්නරුවේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රී ලීලාරත්න විජේසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් මේ දීප උයනේදී රැස්වීමක් පැවැත්වුණා. මේ රැස්වීමට කොමියුනිස්ට් පක්ෂයේ කුලරත්න වික්‍රමසිංහ මහතා මා කැඳවාගෙන ආවා. මේ රැස්වීමට අපි මොනවා හරි කරන්න ඕනෑ යැයි කුලරත්න මට යෝජනා කළා. දෙතුන් දාහක් ඉන්න රැස්වීමකට අපි මොකද කරන්නේ කියා. මම ඈත ගසක් යටට වී සිටියා.

මේ රැස්වීම පවත්වන ස්ථානයට ගිය කුලරත්න සහෝදරයා ලීලාරත්න විජේසිංහ මහතා සමඟ බහින්බස් වී මේසය මත තිබූ වීදුරුවකින් පහරදෙන අයුරු මා දුටුවා. ඒ සමඟම රැස්වීමේ සිටි අය ඔහුට පහරදුන්නා. කුලරත්න සහෝදරයා මැස්සෙක් වගේ උඩට විසිවී යන අයුරු මට දැකගන්නට ලැබුණා. මම සිටි ස්ථානයෙන් ඉවත්ව ගියා.

එතැනට පැමිණි පොලිස් නිලධාරීන් කුලරත්න සහෝදරයා පොලිසියට කැඳවාගෙන ගියා. ඉන්පසුව පොලිසියට ගිය ලීලාරත්න විජේසිංහ මහතා කුලරත්න සහෝදරයාට නඩු පැවරීමක් නොකරන ලෙසත් ඔහුට රැස්වීමට පැමිණ සිටි අය දඬුවම් දුන් බවත් ප්‍රකාශ කළා.

එදා මම කොමියුනිස්ට් පක්ෂයෙන් ඉවත්වී ලීලාරත්න විජේසිංහ මහතාගේ නායකත්වයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට එක්වීමට තීරණය කළා. මේ භූමියේදී එය එසේ නොවුණා නම් කොමියුනිට්ස් පක්ෂයේ මම සිටියා නම් අද මම සිටින මේ තැන මට නැති‍වන්න තිබුණා.

මේ ඓතිහාසික දීප උයන ආරක්ෂා කර ගන්නට ඕනෑ. දෙස් විදෙස් සංචාරකයන්ට පහසුකම් සලසනවා මෙන්ම මෙහි පරිසරය ආරක්ෂා කර ගැනීමට කටයුතු කළ යුතුයි.

මෙම ජන හමුව අමතා උතුරුමැද පළාත් මහ ඇමැති පේෂල ජයරත්න බණ්ඩාර, සංචාරක රාජ්‍ය ඇමැති ජෝන් අමරතුංග, පුරාවිද්‍යා ස්ථාන භාර නිලධාරිනි තනුජා වික්‍රමතුංග මහත්ම මහත්මීහුද මෙහිදී කතා කළහ.

ඡායාරූප ජනාධිපති මාධ්‍ය අංශය

නව අදහස දක්වන්න