පාසල් අධ්‍යාපනයේ ප්‍රමිතිය ඉහළ නැංවීමට ව්‍යාපෘති රැසක් ක්‍රියාත්මකයි | දිනමිණ

පාසල් අධ්‍යාපනයේ ප්‍රමිතිය ඉහළ නැංවීමට ව්‍යාපෘති රැසක් ක්‍රියාත්මකයි

රක්ෂණ ශ්‍රියන්ත

දරුවන් උගතුන් කිරීමටත් ඔවුන්ගේ අනාගතය පැහැබර කිරීමටත් සියලුම මවුපියන් තුළ පවත්නා අධිෂ්ඨානය සාක්ෂාත් කරගැනීමට ඉඩ සලසමින් පාසල් අධ්‍යාපනය ඉහළ නැංවීමට රජය ව්‍යාපෘති ගණනාවක් ක්‍රියාත්මක කරමින් සිටින බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැවැසීය.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මේ බව පැවැසුවේ පොළොන්නරුව, අත්තනකඩවල මහා විද්‍යාලයේ සෞන්දර්ය ඒකකය, ගෘහ විද්‍යාගාරය සහ කෘෂි විද්‍යා ඒකකය සිසු අයිතියට පත් කිරීමේ උත්සවයට පෙරේදා (21) සහභාගී වෙමිනි.

ජනාධිපතිවරයාගේ සංකල්පයක් වූ පිබිදෙමු පොලොන්නරුව වැඩසටහන යටතේ රුපියල් ලක්ෂ සීයකට අධික වියදමින් මෙම ගොඩනැඟිලි සංකීර්ණය ඉදි කර ඇත.

එහිදී අදහස් දැක්වූ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා,

මීට වසර එකහමාරකට පෙර මේ විද්‍යාලයේ තාක්ෂණික ගොඩනැගිල්ල විවෘත කිරීමට මා පැමිණි අවස්ථාවේදී විදුහල්පතිතුමන්, ආචාර්ය මණ්ඩලය, මවුපියන් සහ දරුවන් විද්‍යාලයට ගොඩනැඟිලි අත්‍යාවශ්‍ය බව පෙන්වා දුන්නා. යුද හමුදාව සහ ගුවන් හමුදාව විසින් පාසල වෙනුවෙන් මේ නව ගොඩනැගිලි ඉදිකොට දුන්නා.

දරුවන්ගේ අධ්‍යාපනය සඳහා රටක කරන ආයෝජනය ඒ රටේ අනාගත අභිවෘද්ධිය සඳහා කරන්නාවූ විශිෂ්ටතම දීර්ඝ කාලීන ආයෝජනය ලෙසින් සැලකෙනවා. මේ ඉදිකරන ගොඩනැගිලි වලින් මේ ලබාදෙන සම්පත් වලින් භෞතික සම්පත් සහ මානව සම්පත් වලින් අධ්‍යාපන ක්ෂේත්‍රයට අවශ්‍ය සියල්ල ඉටුකිරීම තුළ අපි බලාපොරොත්තු වෙන්නේ උගත්, බුද්ධිමත් ජාතියක් ගොඩනැගීම සඳහා අවශ්‍ය පදනම සැදීමයි.

1940 දශකයේ සිට මේ දක්වා ගත්විට පොළොන්නරු දිස්ත්‍රික්කයේ ක්‍රියාත්මක සංවර්ධන කාර්යන්හි විවිධ අංශ පිළිබඳව අවධානය යොමු කළ විට පසුගිය කාලසීමාව තුළ අප ඉතාමත් වේගවත් සංවර්ධන කාර්යයක් ඉටු කර තිබෙනවා. මෙහි කතා කළ දරුවා සඳහන් කළ පරිදි ඩී.එස්.සේනානායක මහතාගෙන් ආරම්භ වූ පොළොන්නරුවේ ගොවි ජනපද ව්‍යාපාරයේ ගොවි දරුවකු විදියට මම ඉතාමත් සතුටු වෙන්නේ මේ දිස්ත්‍රික්කය සංවර්ධනය කිරීමට මට වාසනාව උදාවීම ගැනයි. මේ ගන්නාවූ උත්සාහය සහ කැපවීමේ ප්‍රතිඵල අද වගේම හෙට දවසේත් පෙන්වන්නට හැකියාව ලැබේවි කියා විශ්වාස කරනවා.

ඇළහැර බකමූණ ප්‍රදේශය ගත්විට මේ දිනවල දරුවනේ ඔබේ මවුපියන් එතරම් සතුටින් නෙවෙයි සිටින්නේ. එයට හේතුව තමයි, මේ කන්නයට අවශ්‍ය ජලය කුඹුරු වැඩ කිරීම සඳහා නොලැබීම නිසා වගා කිරීමට ඇති වූ අපහසුව.ආර්ථික අපහසුතා මවුපියන්ගේ සිත්වල දැඩි ලෙස කැකෑරෙන අවස්ථාවක මවුපියන්ගේ අරමුණ, අභිප්‍රාය වුණේ සැමවිටම තම දරුවන්ගේ අනාගතය සඳහා කළ හැකි සියලු කැපකිරීම් සිදුකිරීමටයි. දරුවන් වෙනුවෙන් මෙවැනි ව්‍යාපෘති ආරම්භ කිරීමට ලැබීම මගින් ඔවුන්ගේ සිත් සනසන්නට හැකිවේ කියා මා විශ්වාස කරනවා.

ඇළහැර ව්‍යාපාරය වගේම පොළොන්නරු දිස්ත්‍රික්කය රජරට අනුරාධපුරය සහ ත්‍රිකුණාමලය වැනි දිස්ත්‍රික්ක ගත්විට තිබූ ජල හිඟය සඳහා ස්ථිරසාර විසඳුමක් අපි මේ වනවිට ලබාදී තිබෙනවා. වසර 60 ක් වැනි කාලයක් රජරට ජනතාවගේ දුක් කඳුඑ කතාව වන ජලය ඉල්ලා හැඬූ කතාව අවසන් කිරීමටයි ලංකාවේ විශාලතම වාරී ව්‍යාපෘතිය වන මොරගහකන්ද කළු ගඟ ව්‍යාපෘතිය අපි ආරම්භ කළේ. එය ලංකාවේ වැඩිම ජලය එක්වන විශාලතම ජලාශයයි. පරාක්‍රම සමුද්‍රය මෙන් හය ගුණයක ධාරිතාවක් ඇති බව සෑම කෙනෙක්ම දන්නවා. පසුගිය දිනවල මේ ප්‍රදේශවල මවුපියන්, ගොවි සංවිධානවල නායකයන් මාව හමුවී මේ ප්‍රදේශයට අවශ්‍ය ජල ප්‍රශ්නය ඉදිරිපත් කළ අවස්ථාවේ මගෙන් කළ ඉල්ලීම වන්නේ, මොරගහකන්දේ දැනට තිබෙන ජලය නිකුත් කරන්න බැරිද කියන ප්‍රශ්නය. ඒ අවස්ථාවේ සියලු දෙනාට මම කියා සිටියේ අවුරුදු 50 ක් 60 ක් දුක් වින්දා වගේ මේ අවුරුද්දත් මේ විදියට අපිට ගතකරන්න සිදුවේවි කියා. එයට හේතුව වන්නේ, මොරගහකන්ද ජලාශයේ වේල්ලේ ඉදිකිරීම් කටයුතු අවසන් වී පළමු වතාවටයි ජලය පිරෙව්වේ. එය ඉදිකළ තාක්ෂණික විශේෂඥයින්ට මේ වේල්ලේ, බැම්මේ ප්‍රමිතිය එහි තත්ත්වය, ගුණාත්මකභාවය පිළිබඳව ඉදිකිරීම් සම්බන්ධයෙන් ඉංජිනේරුවරුන් සෑහීමකට පත්වෙන්නේත් අවසන් නිගමනයකට එළඹෙන්නෙත් ජලාශය සම්පූර්ණයෙන්ම ජලාශයෙන් පිරිලා මාස ගාණක් යන විටයි ඒ පිළිබඳව නිසි වාර්තාවක් සහ ඇගයීමක් කළ හැකි වෙන්නේ. ලබන මාස් කන්නේ ඔක්තෝබර් නොවැම්බර් වන විට මහ වැසි ලැබී මොරගහකන්ද කළු ගඟ ජලාශය සම්පූර්ණයෙන්ම පිරී ඉහළම ජල ධාරිතාවක් තිබෙන ජලාශය බවට පත්වේවි කියා අපි විශ්වාස කරනවා.

හැට වසරක් වැනි කාලයක් ජලය ඉල්ලා හැඬූ ජනතාවගේ කඳුළු කතාව නිමාකරමින් අනාගතයේ ගොවි ජනතාවගේ ආර්ථිකය පිළිබඳ ප්‍රශ්නය විසඳන්නට මේ ව්‍යාපෘතියෙන් යෝධ ශක්තියක් ලැබෙනවා. එම

ජලාශය සමග මේ ප්‍රදේශවල ඉදිවෙන කුඩා වැව් ප්‍රතිසංස්කරණය කිරීම් සහ නව ජලාශ, අමුණු හයසීයකට වැඩි සංඛ්‍යාවක් අපේ වාරී පද්ධතියට එක්වෙනවා.

ප්‍රතිසංස්කරණය වන පැරණි වැව් ප්‍රමාණය 600 කට වැඩියි. ආසියානු සංවර්ධන බැංකුව ඒ වගේම ලෝකයේ වෙනත් රටවල් ගණනාවක් මේ සඳහා උදව් දී තිබෙනවා. කළු ගඟ සහ මොරගහකන්ද ජලාශයේ උමඟ කිලෝමීටර් 21 ක් දිගයි. ඒ සඳහා මීට මාස දෙකකට පෙර කුවේට් රජයෙන් මුදල් ලැබුණා. ඒ අනුව ඒ කටයුතුත් මේ වනවිට ආරම්භ කර තිබෙනවා. එය වාසනාවන්ත ආර්ථිකයකට අවස්ථාවක් ලෙසයි මා විශ්වාස කරන්නේ. ගොවි ජනතාවට තම ආර්ථිකය ශක්තිමත් කර ගැනීමට තිබුණු ප්‍රබල ප්‍රශ්නය වුනේ ජල ප්‍රශ්නයයි. ඇළහැර ව්‍යාපාරය වගේම රජරට ගොවි ජනපද ව්‍යාපාරයටත් ජල ප්‍රශ්නය අද ඊයේ ඇතිවූවා නොවේ. ඇතැම් වෙලාවට නියරේ, කමතෙ, කුඹුරේ, ඇළේ ජලය පිළිබඳ ඇතිවූ ගැටුම් වලදී ජීවිත අහිමි වූ අවස්ථා තිබුණා. එවැනි අත්දැකීම් අපට තිබෙනවා.

ඒත් සමග අධ්‍යාපනය පිළිබඳව කතා කිරීමේදී අධ්‍යාපනයට අවශ්‍ය සම්පත් ලබාදෙමින් අනාගතයේ දක්ෂ දරුවන් බිහිකිරීමටයි අපි මෙවැනි ආයෝජනයන් කරන්නේ. මහ ඇමතිතුමා පළාත් සභාවට ලැබෙන මුදල් විශාල වශයෙන් පාසල් සඳහා යොදවනවා. පොළොන්නරු දිස්ත්‍රික්කයේ පිබිදෙමු පොළොන්නරුව වැඩසටහන යටතේ පාසැල් 10 ක අදත් හෙටත් මෙවැනි විවෘත කිරීම් තිබෙනවා.

පාසල් වල තිබෙන අඩුපාඩු සම්පූර්ණ කරන්නේ දරුවනේ ඔබ මේ රටේ යහපත් පුරවැසියන් විදියට ජයග්‍රහණය කරවීම සඳහායි. විභාගය සමත් වනවා සේම ඔබ ජීවිතය ද සමත් විය යුතුයි.

අද ඩෙංගු උවදුර පිළිබඳ වැඩි වශයෙන් කතාවෙනවා. උතුරු මැද පළාත ඩෙංගු උවදුර සම්බන්ධයෙන් අවම තත්ත්වයක සිටින්නේ. බස්නාහිර පළාත තමයි ඩෙංගු උවදුර වැඩිම වෙලා තිබෙන්නේ. මෙය අපේ රටේ පමණක් ඇති ප්‍රශ්නයක් නෙවෙයි. කලාපය වශයෙන් ගත්විට ඉන්දියාව, පකිස්ථානය, මැලේසියාව, ඉන්දුනීසියාව, සිංගප්පූරුව වැනි රටවලත් තිබෙනවා. මෙක්සිකෝව දක්වා ඩෙංගු ප්‍රශ්නය ඉතාමත් ප්‍රබලයි. ඩෙංගු මර්දනය සම්බන්ධයෙන් ලෝකයේ ඉහළම වාර්තාව පිහිටෙව්වේ කියුබාවයි. නමුත් කියුබාවටත් පුළුවන් වෙලා නැහැ ඩෙංගු මදුරුවා සම්පූර්ණයෙන් මර්දනය කරන්න.

ඩෙංගු උවදුර තුරන් කිරීමට මහජනතාව සහාය දිය යුතුයි . ඒ වෙනුවෙන් කෙරෙන වැඩපිළිවෙල සඳහා රාජ්‍ය නිලධාරීන්ට මහජනතාව සහාය දිය යුතුයි.

ඒ වගේම කැළි කසළ ප්‍රශ්නය විශාල ගැළුවක් වෙලා. පාසල් වල විදුහල්පති වරුන් ප්‍රමුඛ ගුරුවරුන්ගෙන් මම ඉල්ලා සිටිනවා ඔබ දරුවන්ට අධ්‍යාපනය දෙනවා සේම තම ගේ දොර ඇති කැළි කසළ නිසි ආකාරයට බැහැර කිරීම පිළිබඳව සමාජ දැනුමත් දරුවන්ට ලබා දෙන්න කියලා. පසුගිය මාස කිහිපය තුළ කැළි කසල වර්ගීකරණය පිළිබඳව තීන්දු තීරණ රාශියක් ගනු ලැබුවා. කැළි කසල වර්ගීකරණය කර ප්ලාස්ටික්, වීදුරු, කාඞ්බෝඞ්, දිරන ද්‍රව්‍ය වෙන වෙනම දාලා කැළි කසළ ගෙන යාමට කටයුතු කරන අංශ වලට භාරදෙන්න කියා ජනතාව දැනුවත් කළා.

අද කොළඹ ප්‍රමුඛ ප්‍රධාන නගර වල කසළ ගොඩගැසී තිබෙනවා. ඇතැම් අය සාර්ථකව ඒ වර්ගීකරණය කරනවා ඇතැම් අය අනවබෝධයෙන් හෝ උවමනාවක් නැතිකමින් කසළ වර්ගීකරණය කරන්නේ නැහැ. එසේ වර්ගීකරණය නොකරන විට කසළ ගෙන යන ඒවා රැගෙන යන්නේ නැහැ. එසේ වීමේ ප්‍රථිපලය වන්නේ පාරවල් ඉදිරිපිට, ගෙවල් ඉදිරිපිට කැළි කසළ ගොඩවල් පිරී යාමයි.

විදුහල්පතිතුමා පැවසුවා මේ පාසැලේ අතීතය 1951 ඔක්තෝබර් මාසයේ තමයි පාසල ආරම්භ කර තිබෙන්නේ. පසුව 1952 දී රජයට පවරා ගෙන තිබෙනවා. 1963 දී මහා විද්‍යාලයක් බවට පත්ව තිබෙනවා. මේ පාසලේ අඩුපාඩු අතර ශ්‍රවණාගාරයක් නැහැයි කියලා සඳහන් වී තිබුණා. ශ්‍රවණාගාරයක් ඉක්මනට සදා දීමට මම කටයුතු කරන බවත් කියන්නට කැමතියි.

විදුහල්පතිතුමා ඇතුළු ආචාර්ය මණ්ඩලය මේ දරුවන් වෙනුවෙන් කරන කැපවීම ඉතාමත් අගය කරමින්, ඔබ සියලු දෙනාට සුබවාදී අනාගතයක් ප්‍රාර්ථනා කරමින් ඔබෙන් සමුගන්නවා.

ඡායරූප ජනාධිපති මාධ්‍ය අංශය හා සුදත් මලවීර

නව අදහස දක්වන්න