දුම්රියට යෝජනාවක් | දිනමිණ

දුම්රියට යෝජනාවක්

අද සමාජයේ වයස මුහුකුරා ගිය ජ්‍යෙෂ්ඨ පුරවැසියන් විශාල ප්‍රමාණයක් සිටින අතර, ඔවුනගේ අපේක්ෂාවන්, ජීවන තත්ත්වයන් යහපත් බවකින් යුතුව පවත්වාගෙන යාම සඳහා ඔවුනට කළ හැකි මෙහෙයක් ඉටුකිරීම අප කාගේත් යුතුකමකි.

තරුණ වයසේ කෙසේ ජීවිකාව ගෙන ගියද, විශ්‍රාමික වයසේදී මෙම සියලු දෙනම පාහේ තැන්පත් ජීවිතයකට යොමුවෙමින් ආගමානුකූලව ජීවත්වීමට බොහෝ උත්සාහ ගන්නා බව අප කවුරුත් දන්නා කරුණකි.

මෙම කාලපරාසයේදී පිනක් දහමක් කිරීම සඳහා බොහෝ ජ්‍යෙෂ්ඨ පුරවැසියන් උත්සාහයක් ගන්නා අතර, බොහෝ දෙනෙකුගේ ආර්ථිකය අද එයට හරස් වී ඇත. විශේෂයෙන් යාපනය - නාගදීපය, අනුරාධපුරය, නුවර දළදා සමිඳුන්, කැලණිය මහා විහාරය ආදී කී නොකී පූජනීය ස්ථාන වැඳ පුදා ගැනීම සඳහා අවශ්‍යතාවය ඔවුන් තුළ පැලපදියම්ව තිබුණද අයහපත් ආර්ථිකය අද එයට හරස් වී ඇත.

විශ්‍රාමිකයන් අතරින් රාජ්‍ය සේවයේ යෙදී සිට විශ්‍රාම ගත් අය සඳහා පමණක් නිදහස් දුම්රිය වාර ප්‍රවේශ පත්‍ර හිමිව තිබෙන අතර සංස්ථා, මණ්ඩල හා අධිකාරී හි සේවය කොට විශ්‍රාමලත් අය සඳහා මෙසේ නිදහස් දුම්රිය වාර ප්‍රවේශ පත්‍ර සඳහා හිමිකම් නැත. එයට පරිබාහිරව සමස්ත වයස අවුරුදු 60 පමණ ඉක්මවූ ජ්‍යෙෂ්ඨ පුරවැසියන් සඳහා මෙම නිදහස් දුම්රිය වාර ප්‍රවේශ පත්‍ර හිමිකමක් නැත.

විශ්‍රාමිකයන් හට දුවා දරුවන් සිටියද ඔවුන් වියපත් වන විට ඔවුනට ආවේණිකව පවතින ආර්ථික ප්‍රශ්න හේතුවෙන් තම දෙමාපියන් හට පිනක් දහමක් කර ගැනීම සඳහා ඔවුන් සමඟ වියදම් දරමින් එම පූජනීය ස්ථාන කරා යෑමට ඇති අවස්ථාව ද ඉතා අල්පය.

මෙවන් තත්ත්වයක් යටතේ නිදහස් දුම්රිය වාර ප්‍රවේශ පත්‍ර අහිමි ජ්‍යෙෂ්ඨ පුරවැසියන් සඳහා වර්ෂයකට එක් නිදහස් දුම්රිය වාර ප්‍රවේශ පත්‍රයක් හෝ රජය මඟින් ලබාදීමට කටයුතු කරනු ලබන්නේ නම්, ඔවුනට තම දුවා දරුවන්ගේ හෝ වෙනත් අයෙකුගේ සහාය ද ඇතිව මෙම පූජනීය ස්ථාන වන්දනා කිරීමට ඉන් හැකියාවක් ඇති වන බව ද සඳහන් කර සිටිමි.

කරුණු මෙසේ හෙයින් නිදහස් දුම්රිය වාර ප්‍රවේශ පත්‍රයක් අහිමි ජ්‍යෙෂ්ඨ පුරවැසියන් සදහා (වයස අවුරුදු 60 න් ඉහළ) නිදහස් දුම්රිය වාර ප්‍රවේශ පත්‍රයක් වාර්ෂිකව ලබාදීමට කටයුතු කරන්නේ නම් එය පිං ලැබිය යුතු පුණ්‍යකර්මයක් බව ද සඳහන් කර සිටිමි.

එම්. ඒ. ජයවීර
ඕකන්ද, අම්බලන්ගොඩ 

නව අදහස දක්වන්න