අශ්ව පැටවු දෙන්නෙකුත් සොරකම් කරලා | දිනමිණ

අශ්ව පැටවු දෙන්නෙකුත් සොරකම් කරලා

කොහිලවත්තේ අශ්ව ගාලකින් සොරකම් කරන ලද රුපියල් ලක්ෂ 30ක් පමණ වටිනාකමකින් යුතු අශ්ව පැටවුන් දෙදෙනකු සමඟ සැකකරුවන් දෙදෙනකු දිඹුලාගල කැලයක සිටියදී අත්අඩංගුවට ගැනීමට වැල්ලම්පිටිය පොලිසියට හැකිවී තිබේ.

මෙයින් එක් අශ්ව පැටියකු වයස මාස එකහමාරක් පමණ වන අතර අනෙකා වයස අවුරුදු දෙකක පැටවකු බව අශ්වගාලේ අයිතිකරු කියයි.

අශ්වගාලේ අයිතිකරු විසින් කරන ලද පැමිණිල්ලකට අනුව ඒ අවට ඇති විදුලි සම්ප්‍රේෂණ කුලුනක තාක්ෂණාධාරයෙන් අසුන් සඟවා සිටි ස්ථානය පිළිබඳ තොරතුරු ලබාගත් පොලිසිය අශ්වයන් සඟවා සිටි කැලය තුළ කරන ලද වැටලීමකදී අසුන් සමඟ සැකකරුවන් දෙදෙනා ද අල්ලාගෙන ඇති අතර ඉන් එක් අයෙකු සිරිපුර ප‍්‍රදේශයේ පදිංචිකරුවකු වන අතර අනෙක් පුද්ගලයා දෙහිඅත්තකණ්ඩියේ පදිංචි අයෙකු බව පොලිසිය කියයි.

වැල්ලම්පිටිය පොලිස් ස්ථානාධිපති සම්පත් සංජීව මහතාගේ උපදෙස් පරිදි එම පොලිසියේ අපරාධ අංශ ස්ථානාධිපති රොෂාන් පෙරේරා, පොලිස් සැරයන් 24003 චන්දන හා පොලිස් කොස්තාපල්වරුන් වන 69411 හේරත්, 89266 ඉරෝෂන් හා 57241 උපුල් යන පොලිස් නිලධාරීන් මෙම වැටලීම සිදුකොට තිබේ.

කොළොන්නාව සමූහ - ඒ. සුමනසේන

නව අදහස දක්වන්න