බොක්සිං ක්‍රීඩක ක්‍රීඩිකාවන් තේරීම ගැන සංගමයෙන්-පුහුණුකරුගෙන් කරුණු විමසයි | දිනමිණ

බොක්සිං ක්‍රීඩක ක්‍රීඩිකාවන් තේරීම ගැන සංගමයෙන්-පුහුණුකරුගෙන් කරුණු විමසයි

ෆවුස් මොහොමඩ්

පොදු රාජ්‍ය මණ්ඩලයීය යොවුන් ක්‍රීඩා උළෙල නියෝජනය කරන ශ්‍රී ලංකා බොක්සිං කණ්ඩායම තෝරාගැනීම සඳහා පැවැති තරගාවලියේ දී බාලිකා තරග ඉසව්ව ජයගත් පල්ලේබෝවෙල මහා විද්‍යාලයේ එරංගා ප්‍රියදර්ශනීට එම ක්‍රීඩා උළෙල නියෝජනය කිරීමේ අවස්ථාව අහිමි කිරිමට ජාතික බොක්සිං සංගමයේ නිලධාරීන් පිරිසක් උත්සාහ ගනිමින් සිටින බවට පසුගියදා ‘දිනමිණ‘ අනාවරණය කළ පුවතට අනුව එම විද්‍යාලයේ බොක්සිං පුහුණුකරු ජමිත ගයාන් මහතාගෙන් සහ ජාතික බොක්සිං සංගමයේ ලේකම් මහේෂ් දහනායක මහත්වරුන්ගෙන් කරුණු විමසූ බව සහකාර ක්‍රීඩා අධ්‍යක්ෂ ආර්.බී. වික්‍රමසිංහ මහතා ඊයේ ‘දිනමිණ’ට ප්‍රකාශ කළේය.

මේ සිදුවීම මෙතෙක් ලිඛිත පැමිණිල්ලක් ක්‍රීඩා අමාත්‍යාංශ්‍යයට ඉදිරිපත්වී නොමැති වුවත් ක්‍රීඩා ඇමැති දයාසිරි ජයසේකර මහතාගේ උපදෙස් මත දෙපාර්ශ්වයෙන්ම වාචිකව කරුණු විමසීමට කටයුතු කළ බවත් වික්‍රමසිංහ මහතා සඳහන් කළේය.

පොදු රාජ්‍ය මණ්ඩලයීය යොවුන් ක්‍රීඩා උළෙල නියෝජනය කරන ශ්‍රී ලංකා බොක්සිං කණ්ඩායම මෙතෙක් තෝරාගෙන නොමැති බව මෙහිදී ජාතික බොක්සිං සංගමයේ ලේකම්වරයා විසින් ප්‍රකාශ කොට ඇති අතර අවසන් තෝරාගැනීම් සිදුකිරීමෙන් පසුව එම ලැයිස්තුව ජාතික ඔලිම්පික් කමිටුවට ඉදිරිපත් කරන බවත්, ජාතික ඔලිම්පික් කමිටුව විසින් මෙවර පොදු රාජ්‍ය මණ්ඩලයීය යොවුන් ක්‍රීඩා උළෙල නියෝජනය කරන බොක්සිං ක්‍රීඩක ක්‍රීඩිකාවන් නම් කරනු ලබන බවත් මෙහිදී බොක්සිං සංගමයේ ලේකම්වරයා සඳහන් කොට තිබේ.

මෙවර පොදු රාජ්‍ය මණ්ඩලයීය යොවුන් ක්‍රීඩා උළෙලට ක්‍රීඩකයන් දෙදෙනකු සහ ක්‍රීඩිකාවන් දෙදෙනකු සහභාගි කරවීමට බොක්සිං සංගමය අදහස් කොට ඇතැයි ද මෙහිදී ප්‍රකාශ වී තිබේ. කෙසේවෙතත් එම ක්‍රීඩා උළෙලට සහභාගි වන ක්‍රීඩක ක්‍රීඩිකාවන් ප්‍රමාණය තීරණය කිරීම ජාතික ඔලිම්පික් කමිටුවේ කාර්යයක් වන අතර ජාත්‍යන්තර ක්‍රීඩා උළෙලකට ක්‍රීඩක ක්‍රීඩිකාවන් තේරීමේ දී දෙපාර්ශ්වයටම සමානතාව (GENDER EQUALITY) හිමිවන පරිදි එක් ක්‍රීඩකයකුට සහ ක්‍රීඩිකාවකට මේ සඳහා අවස්ථාව ලැබෙනු ඇතැයිද වාර්තා වෙයි.

ඒ අනුව තෝරාගැනීමේ තරගාවලියේදී බාලක අංශයෙන් ජය ලැබූ පිළිමතලාව ධීරානන්ද විදුහලේ සංජය බණ්ඩාරට සහ බාලිකා අංශයෙන් ජය ලැබූ පල්ලේබෝවල මහා විද්‍යාලයේ එරංගා ප්‍රියදර්ශනීට පොදු රාජ්‍ය මණ්ඩලයීය යොවුන් ක්‍රීඩා උළෙල නියෝජනය කිරීමේ අවස්ථාව ලැබෙනු ඇතැයි ආරංචි මාර්ග සඳහන් කරයි.

නව අදහස දක්වන්න