විශ්වාසය | දිනමිණ

විශ්වාසය

මෙහි පළමු කොටස පසුගිය සතියේ පළ විය.

මෙතෙක් කතාව:

පර්යේෂණාගාර සංකීර්ණයකදී රේ නම් අයකුට මහාචාර්ය මයාරා නම් තැනැත්තියක් හමු වෙයි. නොසිතූ ලෙස එකිනෙකා වෙත සමීප වන මේ යුවළ හදිසියේ නොසිතූ දෙයකට මුහුණ දෙයි.

“මම ප්‍රමාද වුණා කියල මට බැන්නා... එයාට තරහ ගිහින්... ”

රේ විමසුම් ඇස් මයාරා වෙත යොමු කරයි.

“එකම දෙයක් මට කියන්න. ඔයා ප්‍රමාද වුණා කියල ඔයාට බනින්න එයාට තියෙන අයිතිය මොකක්ද...?”

මයාරා නිරුත්තරව රේ දෙස බලයි.

“මෙන්න ආයෙත් පරිගණකය සක්‍රිය වෙලා... බලමු මොකද වෙන්නෙ කියලා...”

ආචාර්ය අමන්දා හඬ නගයි. විද්‍යාඥයෝ පරිගණකය අසලට රැස් වෙති.

“මේක නම් හරිම අපූරු සොයා ගැනීමක් වෙනවා... අතීතේ ඕන තරම් පරීක්ෂණ කරල තියෙනව සංජානනය ගැන... ඒත් මේ වගේ එකක් කෙරෙන පළවෙනි අවස්ථාව... බලමු... ”

පර්යේෂණ කණ්ඩායම් ප්‍රධානී මහාචාර්ය ඇවන් පවසයි. පරිගණකය ඊට ලැබෙන දත්ත ඇසුරෙන් වාර්තා නිකුත් කරයි. පර්යේෂණ කණ්ඩායමට ඇතුළත් මහාචාර්ය මයාරා පිළිබඳ කිසිවකුගේ අවධානයක් නැත. ඇය රේ දෙස බලා සිටී. රේ ආක්‍රමණශීලීව මයාරා ගෙන් ප්‍රශ්න කරයි.

“කියන්න කවුද ඒ...? ”

“ඇල්ෆ්‍රඩ්...”

“මොකක්ද ඇල්ෆ්‍රඩ් ට ඔයා එක්ක තරහ ගන්න තියෙන හේතුව...?”

“ම්හ්...”

“කියන්න එයාට ඔයා ප්‍රමාද වුණා කියල තරහ ගන්න තියෙන සාධාරණ හේතුව...”

මහාචාර්ය මයාරා පිළිතුරු නොදේ. වඩාත් ආක්‍රමණශීලී ප්‍රවේශයක සිට රේ ඇගේ දෙනෙතට එබෙයි.

“දෙන්න අතර සම්බන්ධයක් තිබුණා... ආදරයක් තිබුණා... ”

ඒක ආදරයක්ම නෙවෙයි...”

“හ්ම්... එහෙනම් ඊට එහා ගිය සම්බන්ධයක්...? ”

මහාචාර්ය මයාරා, රේ දෙස ඍජුව බලයි.

“ඔව්... ”

රේ, මයාරා ගේ දෙනෙතින් ඉවත් වෙයි. දෙදෙනා අතර අදහස් රැසක් හුවමාරු වෙයි. එකිනෙකා සමඟ සබඳතාව අඛණ්ඩව පවත්වාගෙන යාමට මයාරා සහ රේ එකඟ වෙති.

“ඔයා ඔහොම දෙයක් කරනව කියල මම දන්නවා... ඒක ඔයාගෙන්ම දැන ගන්නයි මට ඕන වුණේ... දැන් එතනින් ඉවත් වෙන්න. අපේ කතාවෙ අපි ඉම්මු... මතකද එදා රාත්‍රියෙ මම කිව්ව ඔයාට... ඔයා නිවැරදි වෙන්න ඕන කියල ... ඒ ඔය බව දැනගෙන... ඔයා ඇත්ත කිව්ව මයාරා, මම ඒකට කැමතියි. අපි සතුටින් ඉමු. අපි අතරෙ එකම කොන්දේසියක් තියා ගමු. අපි සතුටින් ඉමු...”

රේ මයාරා ට පැහැදිලි කරයි.

“ඔයාට මතකද අපි බෙල්රීව් ගියා. එදා මම දැනගෙන හිටිය ඔයා බෝතලේ දාලා ආවෙ මෙහෙම කෙනෙක් එක්ක එතනට ගිහින් කියලා. මම බෙල්රීව් එකට එනවට ඔයා කැමති වුණේ නැහැ... මාව කවුද කියල හඳුන්වල දුන්නෙත් නැහැ... ඒකට කැමැත්තක් තිබුණෙත් නැහැ... මතකද ඔයාට...? ඔය දෙන්න එක්ක බෙල්රීව් ගිහින් බෝතලේ දාලා ආවා... කවදද ගියේ කියල මම ඇහුවම ඔයා උත්තරයක් දුන්නෙත් නැහැ... මම ඔයාට කතා කරද්දි ඔයා පැය ගණන් ඇමතුම්වල හිටියෙ, මට උත්තර දුන්නෙ නැත්තෙ ඔය නිසා කියල මම දන්නවා...”

මහාචාර්ය මයාරා රේ ට විරුද්ධ නොවේ.

“මම ආයෙත් එහෙම කරන්නෙ නැහැ...”

මයාරා රේ ට ප්‍රතිඥා දෙයි.

මේ අතර විද්‍යාඥයෝ රැස් වෙති. සංජානනය සම්බන්ධ පරීක්ෂණ සති දෙකකින් අවසන් කිරීමට ඔවුහු එකඟ වෙති. අවසන් වාර්තාව ඉදිරිපත් කිරීම සඳහා මහාචාර්ය මයාරා ගේ දායකත්වය අවශ්‍ය බව ඇවන් කණ්ඩායමට පෙන්වා දෙයි. එහෙත් ආචාර්ය අමන්දා පෙන්වා දෙන්නේ මහාචාර්ය මයාරා පරීක්ෂණයට කිසිදු ආකාරයකින් දායක නොවූ බවයි.

“නෑ ඇය ඉන්න ඕන... ඇයට පුළුවන් සංජානනය ගැන වඩාත් හොඳින් විග්‍රහ කරන්න... ”

මහාචාර්ය ඇවන් සඳහන් කරයි. සති දෙකකින් පසු පර්යේෂණ වාර්තාව ඉදිරිපත් කිරීමේ අවස්ථාවට මහාචාර්ය මයාරා සම්බන්ධ කර ගැනීමට විද්‍යාඥයෝ තීරණය කරති.

රේ, මයාරාට දුරකතන ඇමතුමක් ගනී. රේ වෙනුවෙන්ම වෙන්වූ දුරකතනයට ඇමතුම් ගත්තද, මයාරා ප්‍රතිචාර නොදක්වයි. රේ අඛණ්ඩව මයාරා අමතයි. අවස්ථා ගණනාවක් වුවද මයාරා දුරකතනයට ප්‍රතිචාර නොදක්වයි. රේ, මයාරා ගේ සාමාන්‍ය දුරකතනයට ඇමතූ විට ඇය ඇමතුමක රැඳී සිටින බව තිරයේ දිස් වෙයි. මදකින් කෙටි පණිවුඩයක් රේ වෙත ලැබේ.

“මට ටික වෙලාවක් දෙන්න... ”

“ඇමතුම සම්බන්ධ කරන්න...” රේ ද කෙටි පණිවුඩයක් යවයි.

“ඉන්න ටිකක්...”

පැයකට ආසන්න කාලයකට පසුව මහාචාර්ය මයාරා රේ අමතයි.

“අක්ක කතා කළා... එයාට ප්‍රශ්නයක්... අක්කගෙ දරුවා ගැන... අයියගෙ අක්කා ඇවිත්... ඒ ගැන කතා කළේ...”

රේ අසා සිටී.

“ඔයා එනවද දැන් ?”

රේ සහ මයාරා හමුවෙති.

“ඔයාට කතා කළේ ඇල්ෆ්‍රඩ්... ”

“නැහැ අක්කා...”

“ඔයාට මගේ ඇමතුමට කතා කරන්න තිබුණ අක්කා නම්...”

“නෑ... අක්කා... ”

රේ සිතුවිලි විග්‍රහ කරයි. අවසානයේ මහාචාර්ය මයාරා හඬ අවදි කරයි.

“ඔව් ඇල්ෆ්‍රඩ්... මට මේක නවත්තන්න ඕන වුණා... එයාට පැහැදිලි කරල දෙන්න ඕන වුණා...”

“ඔයාට තියෙන අන්තිම අවස්ථාව...”

රේ සඳහන් කරයි. සතුටත් කඳුළත් අතර මයාරාත් රේත් කල් ගත කරති.

සංජානනය සම්බන්ධ පර්යේෂණ වාර්තාව එළි දැක්වීමටත්, පූර්ව වශයෙන් සාකච්ඡා කිරීමටත් විද්‍යාඥයෝ සැලසුම් කරති. ඒ සඳහා මහාචාර්ය මයාරා වෙත ද ඇරයුම් කෙරේ. පරීක්ෂණ වාර්තාව එළි දැක්වීමට දින තුනක් ඉතිරිව තිබේ. විද්‍යාඥයෝ රේ පිළිබඳ විශේෂ අවධානයක් දක්වති. ඔහු සම්බන්ධ තොරතුරු රැස් කිරීමට සේවකයෙක් ද යොදවා සිටී.

රේ ඔහුගේ කාර්යාලයේ සිට මයාරා අමතයි.

“ඔයාව ගන්න එන්නද මම...? ”

“එපා... අදත් ආවොත් කට්ටිය දැන ගනී... ”

“එහෙමද...?”

“ඔයා එද්දි මට කතා කරන්න...”

මහාචාර්ය මයාරා කාර්යාලය වෙත පැමිණිමට නිවසින් පිටත් වෙයි. රේ ඇයට දුරකතන ඇමතුමක් ගනී. කුලී රියකට නැගුණු මහාචාර්ය මයාරා දරුවන්ගේ පාසල වෙත රථය රැගෙන යන්නැයි රියදුරුට අණ කරයි.

“ඔය කාර් එකේම කාර්යාලෙට එන්න... ”

රේ මයාරාට කියයි.

“බලමු... ”

“හරි මම ඉන්නව ඔයත් එක්ක ඔයා කාර්යාලෙට එනකම්...”

මහාචාර්ය මයාරා ගේ හඬ බිඳී ඇතැයි රේ ට හැඟේ. රේ ඇමතුම විසන්ධි නොකරයි. පාසල වෙත යන මයාරා, විනාඩි කිහිපයකින් නැවතත් කුලී රියට නගී.

“මට අක්කා ළඟට යන්න ඕන...”

“හරි යන්න... මම ඉන්නවා ඔයත් එක්ක.. ”

මහාචාර්ය මයාරා ඇමතුම විසන්ධි කරයි. රේ ඇගේ දුරකතන දෙකටම ඇමතුම් ගනී. අවසානයේ මයාරා දුරකතනයට පිළිතුරු දෙයි. විනාඩියකට අඩු කාලයක දී ඇය නැවත ඇමතුම විසන්ධි කරයි. රේ නැවත දුරකතන දෙකටම අමතයි. මයාරා ඇමතුමට පිළිතුරු දෙයි.

“දැන් එන්න කාර්යාලෙට...”

කුලී රථයෙන්ම ඇය කාර්යාලයට පිවිසෙයි.

“ඔයාට කතා කළා ද ඇල්ෆ්‍රඩ්...? ”

“ඔව් ”

“එයා ඔයාගෙ ගේ ළඟට ආවා... එන බව ඔයා දන්නවා... ඔයා එයාට කතා කළා මම එපා කිව්වට...”

මයාරා ගේ නළලට දා බිඳු නැගේ. රේ ආවේගශීලී වෙයි.

“ඔයා කාර් එක ගත්තෙ පාසල ළඟට... ඔයාට කෙළින්ම කාර්යාලෙට එනව කියන්න බැරි වුණා. මම ගත්තම ඔයා කතා කළේ නැහැ... ඇමතුම විසන්ධි කළා... ඒ හැම තැනම තිබුණා ඔයා මට බොරුවක් කරන බව... ඇයි ඔයා එකඟ වුණේ ඇල්ෆ්‍රඩ් හමුවෙන්න...?”

කිසිදු දිනයක නොදැනුණු ආවේගයක් රේ ට දැනෙමින් තිබේ. මයාරා ද ඔහු අසල අසුන් ගෙන සිටී.

“ ඔයාට ආයෙත් ඇල්ෆ්‍රඩ් ට කතා කරන්න, පණිවුඩ යවන්න ඕනෙ නම් අපි මෙතනින් නවතිමු...”

රේ ආවේගය ඉතා විවෘතව මුදා හරී. මයාරා දැඩිව නොසන්සුන් වෙයි. කාර්ය මණ්ඩලයට නොදැනෙන ලෙස, ඇය ඇස්වලින් ඇද වැටෙන කඳුළු පිස දමයි.

“මාව රවට්ටන්න ඔයාටවත්, ඇල්ෆ්‍රඩ්ටවත් බැහැ. මම ඒ තරම් මිනිස්සු ගැන දන්නවා... මම දන්නවා අද ඔයා මට හොරෙන් ඇල්ෆ්‍රඩ්ව හමුවෙන්න හදන බව... ඒකයි මම කිව්වෙ ඔයා එනතුරු මම ඇමතුමේ ඉන්නම් කියලා... ඔයාට ආයෙත් ඇල්ෆ්‍රඩ් ඕනෙ නම් දැන් තීරණය කරන්න... අපි නවතිමු...”

රේ වේගවත්ව ස්ථිරව කියයි. මයාරා ගේ දිගු අතැඟිලි වෙවුලයි. කඳුළු කැට ඇස් අගින් මතු වෙයි.

“මම ඉන්නවා... ”

මයාරා කොඳුරයි. අවිනිශ්චිත පැය කිහිපයකට පසු උදෑසනක විද්‍යාඥයෝ පර්යේෂණාගාරයේ රැස් වෙති. මහාචාර්ය මයාරා ද ඊට එක්ව සිටී. රේ කාර්යාල කාමරය තුළ රැඳී සිටින අතර ඉන් පිටතට පැමිණීම පාලක නිළධාරීන්ගේ විධානයකින් පසුව පමණක් සිදු විය යුතු බවට ඔහුට දන්වා තිබේ.

මහාචාර්ය ඇවන් විද්‍යාඥ හමුවේ මුලසුන ගනී.

“අපි සංජානනය ගැන පරීක්ෂණයක් කළා... සංජානනය සරලව කිව්වොත් අතීත අත්දැකීම් භාවිතයෙන් වර්තමාන සිදුවීම් අර්ථකථනය හෙවත් තේරුම් ගැනීම කියන්න පුළුවන්... අපේ පරීක්ෂණයේ අරමුණ වුණේ කිසිම සමාජ අත්දැකීමක් නැති මනුස්සයෙකුට විවිධ මිනිස්සුන්ගෙ අත්දැකීම් ලබා දීලා, ඔහු සමාජ සංසිද්ධි අර්ථකථනය කරන ආකාරය අධ්‍යයනය කරන්න. අපි ඒකට දත්ත ඇතුළත් කළ චිපයක් භාවිත කළා. දැන් මේ පර්යේෂණ වාර්තාව ඉදිරිපත් කරන්න වෙලාව ඇවිත්...”

ඒ සමඟ ආචාර්ය අමන්දා පර්යේෂණ වාර්තා පිටපත් රැස්වීමට සහභාගී වූ විද්‍යාඥයන් සහ සෙසු පිරිස වෙත බෙදා හැරීම ආරම්භ කළාය. මයාරා ද වාර්තාව කියවයි. නැවතත් ඇවන් පිරිස අමතයි.

“ඇත්තටම රේ අපේ කාර්ය මණ්ඩලේ කෙනෙක් නෙවෙයි. මානසිකව යහපත් තත්ත්වයක් නොතිබුණු මනුස්සයෙක් අපි අරන් ඇවිත්, එකිනෙකාගේ අත්දැකීම් සහිත චිපය, රේ ගේ මොළයට සම්බන්ධ කළා... රේ ජීවිතේ අත්දැකීම් අර්ථකථනය කළේ මේ දත්තවලට අනුව. හැබැයි රේ ගේ කියවීම සියයට 90 ක්ම නිවැරදියි. එහෙම නේද මයාරා...? ”

මයාරා දෙලොවක් අතර හිඳී. ඇගේ සබඳතාවත්, ඒ පිළිබඳ රේ සිතූ පැතූ ආකාරයත් පරිගණක දත්ත ඇසුරෙන් විශ්ලේෂණය වී තිබේ. මයාරා ගේ හැසිරීම් රේ ගේ නිරීක්ෂණයට ලක්වන්නේ දත්ත ගබඩා කළ චිපයේ අන්තර්ගතයන්ට අනුවයි. දත්ත සහිත චිපයක් මානව මොළයට සම්බන්ධ කිරීමෙන් පුද්ගල චර්යා නිවැරදිව වටහා ගැනීමේ හැකියාවක් ඇතැයි පර්යේෂණයේ නිගමනය වී තිබේ. නැවතත් ඇවන් කණ්ඩායම අමතයි.

“දැන් රේ ගෙ චිපය ඉවත් කරන්න වෙලාව ඇවිත්... මොකද මේ දත්ත නිසා ඇත්තම රේ නැති වෙලා. දැන් ඉන්නෙ වෙනස්ම රේ කෙනෙක්. ඒ නිසා චිප් එක ඉවත් කරමු... ඊට පස්සෙ නැවතත් පරීක්ෂණය පටන් ගන්නවා... ඒකටත් අපි රේ යොදා ගන්නවා...”

එකවරම මහාචාර්ය මයාරා නැ‍ඟී සිටී. ඇය කෑ ගසයි.

“නෑ... එහෙම කරන්න දෙන්නෙ නැහැ...”

විද්‍යාගාරයේ ආරක්ෂිත වීදුරු බිඳ දමමින් රේ ඇතුළු වෙයි.

“මම දැනගෙන හිටියා මෙහෙම වෙයි කියලා... ඒත් මයාරා ව තනි කරන්න බැහැ. මම රේ. කාටවත් චිප් එක ඉවත් කරන්න බැහැ...”

රේ මයාරා ගේ අත දැඩිව ග්‍රහණය කරයි.

රසායන ප්‍රතික්‍රියා කිහිපයක් පර්යේෂණාගාරය තුළ සිදු වන්නේ වීදුරු බිඳ දැමීමත් සමඟ රසායන ද්‍රව්‍ය තැන්පත් කළ බඳුන් ද බිඳී යාම නිසායි. නිල් දුමාරයක් නැ‍ඟෙන අතර මයාරා රේ දෙස බලයි.

“ඔව්... මට දැනෙනව මනුස්සයොත් ඉන්නව කියලා...”

මයාරා, රේ ගේ උරහිසට වාරු වෙයි.

වජිර කැළුම් පෙරේරා 

නව අදහස දක්වන්න