භාණ්ඩාගාර බිල්පත් නිකුතුව පිළිබඳ නව නීති | දිනමිණ

භාණ්ඩාගාර බිල්පත් නිකුතුව පිළිබඳ නව නීති

ස්වර්ණා විජේකෝන්
රෝෂන් තුෂාර
සුභාෂිණී සේනානායක

මහා භාණ්ඩාගාර බැඳුම්කර හා භාණ්ඩාගාර බිල්පත් නිකුතුව පිළිබඳව නව නීති සකසන බව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (21) පැවසීය.

වර්තමානයේදී භාණ්ඩාගාර බිල්පත් නිකුත් කිරීම සිදුකරනුයේ 1939 සම්මත කළ කොටස් හා සුරැකුම්පත් ආඥාපනත නීතිය යටතේ බවත් පෙන්වාදුන් අගමැතිවරයා නව නීති යටතේ වඩාත් නම්‍යශිලී හා විනිවිද භාවයෙන් භාණ්ඩාගාර බැඳුම්කර නිකුත් කිරීමේ අවකාශ හිමිවන බවත් සඳහන කෙළේය.

අදාළ නීති සම්පාදන ක්‍රියාවලිය සඳහා නීති කෙටුම්පත් දෙපාර්තමේන්තුවට හා නීතිපතිවරයා වෙත යොමුකර ඇතිබවත් අගමැතිවරයා පැවැසීය.

අගමැති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කළේ පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන මහතා මීට ‍ඉහත දිනකදී අගමැතිවරයා වෙත යොමුකර තිබූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.

නව නීතිය යටතේ අදාළ ඇමැතිවරයා බැඳුම්කර මඟින් ණය ලබාගැනීමට තීරණය කළ පසුව එය පුවත්පත් දැන්වීමක් මඟින් ප්‍රසිද්ධ කළ යුතුබවත් ඉන් පසුව එම ක්‍රියාවලීය මුදල් බලය හිමි පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළහැකි බවත් අගමැතිවරයා පැවසීය.

එමෙන්ම මේ දක්වා නිකුත් කරඇති නිකුතු නීත්‍යානුකූළ බවට ප්‍රකාශ කෙරෙන නීතී සකස් කරන බවත් අගමැතිවරයා සඳහන් කෙළේය.

පවතින නීතිය අනුව ප්‍රථමයෙන් ණය ලබාගෙන අවුරුද්දකට පසුව ගැසට් කරන බව පැවසූ අගමැතිවරයා කේ එන් චොක්සි ඇමතිවරයා අනුමැතිය දුන් ණය ගැසට්කර ඇත්තේ පසුව වෙනත් ආණ්ඩුවක කටයුතු කළ සරත් අමුණුගම ඇමැතිවරයා බවත් හෙතෙම සඳහන් කළේය.

මේ අනුව රටට නුසුදුසු ක්‍රමවේදයක් වෙනුවට නම්‍යශිලි පිළිවෙතක් හඳුන්වාදෙන බවත් පැවසීය. වත්මන් රජයේ ප්‍රතිපත්තිය වනුයේ ප්‍රසිද්ධ වෙන්දේසිය හා විනිවිද ක්‍රමය බවත් අගමැතිවරයා වැඩිදුරටත් පැවැසීය. 

නව අදහස දක්වන්න