සතිපොළේ වීදි නාට්‍ය පෙන්වා මුල් තැන දිනූ දිරිය දරුවෝ | දිනමිණ

සතිපොළේ වීදි නාට්‍ය පෙන්වා මුල් තැන දිනූ දිරිය දරුවෝ

වීදි නාට්‍ය කණ්ඩායම

වයඹ පළාතේ දුෂ්කර ප්‍රදේශයක පිහිටි විදුහලක් සමස්ත ලංකා වීදි නාට්‍ය තරගයකින් ප්‍රථම ස්ථානය දිනා ඇත. ඒ කුලියාපිටිය අධ්‍යාපන කලාපයේ බිංගිරිය අධ්‍යාපන කොට්ඨාසයේ දැදුරුඔය අසබඩ පිහිටි වීරපොකුණ විජිත මධ්‍ය මහා විද්‍යාලයයි.

මීට වසර 25කට පමණ පෙර ගණිත ගුරු උපදේශකවරයකු ලෙස මා මේ  විද්‍යාලයට කීප අවස්ථාවකදීම අධීක්ෂණ කටයුතු සදහා ගොස් ඇත. තරඟය සංවිධානය කර ඇත්තේ අධ්‍යාපන අමාත්‍යාංශය සහ සුනීත්‍ය බලශක්ති අධිකාරිය ඒකාබද්ධවයි. ප්‍රථමයෙන් කලාප මට්ටමින් කුලියාපිටියේ දී ද දෙවනුව පළාත් මට්ටමින් කුරුණැගල දී සහ අවසන් වරට සමස්ත ලංකා මට්ටමින් කොළඹ නුගේගොඩ අනුලා බාලිකා විදුහලේදී තරඟය පවත්වා ඇත.

විදුහලේ විද්‍යා විෂය භාර ගුරු මහත්මිය නාට්‍යයේ පිටපත රචනා කිරීම, ඇඳුම් නිර්මාණය කිරීම, වේශ නිරූපණය සහ නාට්‍ය පුහුණු කිරීම ද කර ඇති අතර විදුහල්පතිතුමා ඇතුළු සහෝදර ආචාර්ය මණ්ඩලය සහ දෙමාපියන් ද නොමඳ සහය ලබා දී ඇත. නාට්‍ය පුහුණුවීම් සහ තරඟ සඳහා සිසුන්ව කැඳවාගෙන ගොස් ඇත්තේ එම ගුරු මහත්මිය සතු වාහනයකිනි. ඇය නිර්ලෝභීව සිය සිසු දරුවන් වෙනුවෙන් සියලු කැපකිරීම් කර ඇත.

කිලෝමීටර් 50 ක පමණ දුරක් ගොස් කුලියාපිටිය කලාප තරගයෙන් ප්‍රථම ස්ථානය දිනාගත් මෙම සිසුන්ට පළාත් තරඟය සඳහා කිලෝමීටර් 100ක පමණ දුර ගෙවා කුරුණෑගල යාමට සිදුවිය. පළාත් තරගයෙන් එහිදී වයඹ පළාතේ ප්‍රථම ස්ථානය දිනාගත් මෙම සිසුනට එදිනම ඒ සඳහා සහතිකපත් නොලැබුණු අතර එම සහතිකපත් ලබාගැනීම සඳහා නැවත දිනයක් එම දුර ගෙවා කුරුණෑගල යාමට සිදුවිය.

පළාත් තරගයෙන් ජයගත් මේ දිරිය දරුවන්ගේ ඊළඟ අභියෝගය සමස්ත ලංකා තරගය සඳහා කොළඹ යාමය. මේ වන විට කලාප තරඟය හා පළාත් තරගය සඳහා යාමට අතේ ඇති අන්තිම සතය ද සිය දරුවන් වෙනුවෙන් වැයකර තිබූ විවිධ ආර්ථික අපහසුකම් ඇති මවුපියන්ට ද කිසිවක් කළ නොහැකි විය.

වීරපොකුණ සිට කොළඹ ගමන ද එසේ මෙසේ පහසුවෙන් යා හැකි ගමනක් නොවේ. හලාවත, මීගමුව, කටුනායක සහ ජාඇළ හරහා කිලෝමීටර 150ක පමණ දුරක් යාමට වාහනයකට විශාල මුදලක් අයකර ඇත. එම මුදල් සොයා ගැනීම සඳහා විදුහල්පතිතුමාගේ අවසරය සහ ආචාර්ය මණ්ඩලයේ සහයෝගය ලබාගෙන මෙම ගුරු මහත්මිය දිරිය නැටුම් කණ්ඩායම කැඳවාගෙන ගොස් වීරපොකුණ සතිපොළේ, වීරපොකුණ විහාරස්ථානයේ සහ වීරපොකුණ වැඩිහිටි නිවාසයේ ද නාට්‍ය දර්ශන තුනක් රඟදක්වා ඒ ලැබුණු මුදලින් කොළඹ අනුලා විදුහලට ගොස් පළාත් නමයෙන් සහභාගි වූ කණ්ඩායම් 18ම පරදවා සමස්ත ලංකා ප්‍රථම ස්ථානය හිමිකරගෙන ඇත. ඉතිරි මුදලින් එම දරුවන් හට සිහිවටන තිළිණ පිරිනමා ඇත.

ජේ. ඒ. කරුණාසේන විශ්‍රාමික නියෝජ්‍ය විදුහල්පති

සී. ඩබ්ලිව්. ඩබ්ලිව්. කන්නන්ගර චින්තනය අනුව මේ දක්ෂ දුප්පත් දිරිය දරුවන් හට අධ්‍යාපන අමාත්‍යාංශය ඔවුන්ගේ දස්කම් ඔප්නංවා ගැනීම සඳහා ශිෂ්‍යත්වයක් ලබාදිය යුතු නොවේ ද? සුනිත්‍ය බලශක්ති අධිකාරිය මෙම තරගය සංවිධානය කිරීම සදහා විශාල මුදලක් වෙන්කර ඇති බව දැනගන්නට ඇත. ඒ මුදලින් කවර කොටසක් මෙම දරුවන් සදහා ලබා දෙනු ඇත්ද? වෙන්කළ මුදල් උත්සව සඳහා නොව සත්‍ය වශයෙන්ම මෙම දක්ෂ දරුවන් අතට පත්විය යුතුය. ගම්බද දුප්පත් දක්ෂ සිසුන්ට සිය කුසලතා දියුණු කර ගැනීම සඳහා විවිධ තරගවලට සහභාගිවීමට ගමන් පහසුව සැලසීම සඳහා සියලුම අධ්‍යාපන කලාප කාර්යාලයක් සඳහාම බස් රථයක් බැගින් ලබා දීමට පළාත් අධ්‍යාපන අමාත්‍යතුමන්ලාගේ සහ අධ්‍යාපන අමාත්‍යතුමාගේ ද ඇස යොමු වේවායි පතමි. ළඟම පාසල හොඳම පාසල යන තේමාවේ යථාර්ථය ඉටුවන්නේ එවිටය.

ආඩියාගම මිලාන් දේවසිරි

නව අදහස දක්වන්න