ආරක්ෂාකාරී ගුවන් ගමනකට කටුනායක ගුවන්තොටුපළ සූදානම් | දිනමිණ

ආරක්ෂාකාරී ගුවන් ගමනකට කටුනායක ගුවන්තොටුපළ සූදානම්

 කටුනායක බණ්ඩාරනායක ගුවන්තොටුපළෙහි ගුවන් යානා ධාවන පථය හා එහි උප ධාවන පථය පුළුල් කර ආස්තරණය කිරීමේ කටයුතු මේ දිනවල ශීඝ්‍රයෙන් සිදු වෙමින් පවතී.

දිවා කාලයේ පෙරවරු 08.30 සිට ගුවන් ධාවන පථය වසා තැබෙන බැවින් රාත්‍රී කාලයේ දී පස්වරු 4.30 සිට පෙරවරු 8.30 දක්වා කාලයේ ගුවන් මගීන්ගේ පිටත්වීමේ හා පැමිණීමේ විශාලවැඩීමක් ඇති වුවත් ඒ සඳහා ගුවන්තොටුපළ හා ගුවන් සේවා ශ්‍රී ලංකා සමාගම නිසි කළමණාකාරීත්වයෙන් යුක්තව මෙහෙයුම් සිදු කරනුයේ මගීන්ට අපහසුතාවක් ඇති නොවන අයුරිනි.

කටුනායක බණ්ඩාරනායක ගුවන්තොටුපළේ ගුවන් ධාවන පථය 1986 වර්ෂයේ සාදා නිම කිරීමෙන් අනතුරුව මේ දක්වා සම්පුර්ණ ප්‍රතිසංස්කරණයක් සිදු කර නොමැත. ජාත්‍යන්තර සිවිල් ගුවන් සේවා සංවිධානයේ විගණනයන්ට අනුව එකී ප්‍රතිසංස්කරණ කටයුතු සිදු කළ යුතු බවට දැනුම් දී ඇත. ඒ අනුව එම සංවර්ධන ව්‍යාපෘතියට ගුවන් යානා ධාවන පථය පුළුල් කර ඒ හා සම්බන්ධිත අනෙකුත් අවශ්‍යතා සපුරාලමින්, ධාවන පථය ආස්තරණය කිරීම් ද සිදු කරනු ලැබේ.

මේ පිළිබඳව ගුවන්තොටුපළ හා ගුවන් සේවා (ශ්‍රී ලංකා) සමාගමේ මාධ්‍ය අංශය පවසන්නේ මෙවැනි අදහසකි.

"මේ ව්‍යාපෘතියේ වැඩ මේ වසරේ ජනවාරි මස 06 වැනි දින ආරම්භ කර අප්‍රේල් මස 05 වැනි දින අවසන් කිරිමට නියමිතයි. ‍ඒ අනුව මේ කාල පරිච්ඡේදයේ උදේ 8.30 සිට සවස 4.30 දක්වා ගුවන් ගමන් සීමා වෙනවා. එම පැය අටක කාලයේ ධාවන පථයේ ප්‍රතිසංස්කරණය ශීඝ්‍රයෙන් සිදු කිරීමට නියමිතයි. ඒ අනුව ගුවන් ගමන් කාල සටහන ද සකස් කර තිබෙනවා. කටුනායක බණ්ඩාරනායක ගුවන්තොටුපළේ ගුවන් ධාවන පථය කැනේඩියානු රජයේ ආධාර ඇතිව 1963 වර්ෂයේ මීටර් 1840ක දිගින් නිර්මාණය වුණා. පසුව 1983 දී ගුවන්තොටුපළ හා ගුවන් සේවා (ශ්‍රී ලංකා) සමාගම පිහිටවීමෙන් අනතුරුව 1986 වර්ෂයේ දී එම ධාවන පථය දිගින් මීටර් 3350කින් ද පළලින් මීටර් 60කින් ද නිමවා ගුවන් යානා මෙහෙයුම් සඳහා විවෘත කළා. වර්තමානය තෙක් අවුරුදු 30කින් පමණ කිසිදු ප්‍රතිසංස්කරණයක් නොකළ නිසා එහි ඉරි තැලීම්, ක‍‍ඩතොලු බොහොමයි. ලක්ෂ අටක පමණ ප්‍රමාණයක් ගුවන් මෙහෙයුම් කොට ඇති මේ ධාවන පථය ගුවන්තොටුපළ හා ගුවන් සේවා (ශ්‍රී ලංකා) සමාගමේ නඩත්තු අංශය විසින් සුළු සුළු නඩත්තු කටයුතු හේතුවෙන් මෙතෙක් කිසිදු බාධාවකින් තොරව මෙහෙයුම් සිදු වුණා. වසර 2001 දී ගුවන්තොටුපළ මෙහෙයුම් විගණනය සඳහා වු ආයතනය විසින් කළ සමීක්ෂණයෙන් අනතුරුව අන්තර්ජාතික සිවිල් ‍ගුවන් සේවා ආයතනය මේ ධාවන පථය පුර්ණ ප්‍රතිසංස්කරණයට ලක් කළ යුතු බවට නිර්දේශ කර තිබෙනවා.

මේ ධාවන පථය ඉදිකිරිමේ දී 'නෙදර්ලන්ත එයාර්පෝට් කන්සල්ටන්ට්' සමාගම මේ සඳහා උපදේශකත්වය සපයනවා. ඒ සමාගම වත්මන් ධාවන පථයේ උපදේශකයා ද වෙනවා. එසේම මෙහි සැලසුම් සකස් කර ඉදිකිරීම් කටයුතු සඳහා චීනයේ සිවිල් ගුවන් සේවා අධිකාරියට අනුබද්ධිත ආයතනයක් වන 'චීන කැතික් සමාගම' හා ඒකාබද්ධ සමාගමක් වන ෂැන්හයි නිව් ඉරා එයාපෝර්ට් ඩිසයින් ඇන්ඩ් රිසර්ච් ඉන්ස්ටිටියුට් කෝපරේෂන් ලිමිටඩ්සමාගම් විසින් මෙහි නිර්මාණ හා නඩත්තු කටයුතු කරනු ලබනවා. මෙහි ගිවිස ගත් මුදල අමෙරිකානු ඩොලර් මිලියන 48.6 ඉදිකිරිම් සඳහා ද, අමෙරිකානු ඩොලර් ලක්ෂ 06ක පමණ මුදලක් උපදේශක කටයුතු සඳහා ද ලබාදීමට නියමිතයි. මේ ව්‍යාපෘතියට අරමුදල් සපයනු ලබන්නේ ගුවන්තොටුපළ හා ගුවන් සේවා (ශ්‍රී ලංකා) සමාගම විසින්. මේ ව්‍යාපෘතියෙන් ආරක්ෂාකාරී ගුවන් ගමනකට පහසුකම් සැලසෙනවා. එමඟින් ශ්‍රී ලංකාවේ ආර්ථිකයට මහත් පිටිවහලක් වනු නියතයි.

ජනවාරි මස 06 වැනි දින ආරම්භ කරන ලද ප්‍රතිසංස්කරණ කටයුතුවල දී පළමුවෙන්ම උප ගුවන් ගමන් ධාවන පථය ආස්තරණය කොට නැවත යථා තත්ත්වයට පත් කිරිමත්, ප්‍රධාන ගුවන් ධාවන පථය අඩි 15කින් පමණ පුළුල් කිරීමත් සම්පුර්ණ කොට අවසන්. එමෙන්ම පෙබරවාරි මස 05 වැනි දින සිට ගුවන් ධාවන පථය නැවත ආස්තරණය කිරීම ආරම්භ කළා. මුල් දිනයේ දී මීටර් 100ක ප්‍රමාණයක් ආස්තරණය කළා. ඊට පසු එය දිනකට මීටර් 200 දක්වා වැඩි කිරීමට අපේක්ෂිතයි. එම ආස්තරණය කිරීමේ කටයුතු එදින පස්වරු 2.00 වන විට අවසන් වුණා. ඒ අනුව පස්වරු 4.35ට ලන්ඩන් සිට මාලේ හරහා ශ්‍රී ලංකාවට පැමිණී ශ්‍රී ලංකන් ගුවන් යානය ගොඩ බෑමේ කටයුතු සිදු කළා. පෙබරවාරි මස 06 වැනි දිනයේ දී මීටර් 130ක් දුරට ආස්තරණය කටයුතු සාර්ථකව සිදු කළා. සාමාන්‍ය පරිදි එදිනෙදා ගුවන් යානා ගොඩබැස්සවීම සිදු වූණා.

බණ්ඩාරනායක ගුවන්තොටුපළෙහි වැඩි වශයෙන් ගුවන් යානා මෙහෙයුම් සිදු වන්නේ රාත්‍රී හා අලුයම් කාලයේදීයි. එබැවින් ප්‍රතිසංස්කරණ කටයුතු දිවා කාලයේ සිදු කිරීමේ දී ගුවන් මගීන්ට අපහසුතාවකින් තොරව තම ගුවන් ගමන ඉටු කරගැනීමට අවස්ථාව උදා වෙනවා. මේ ප්‍රතිසංස්කරණ සිදු කරන කාලයේ ඉතාමත් සීමිත ගුවන් යානා මෙහෙයුම් තිබෙනවා. එම මෙහෙයුම් රාත්‍රී කාලයේ ලබාදීමට ගුවන් සේවා සමාගම් තීරණය කළා. රාත්‍රී හා අලුයම් කාලයේ දී විශාල වශයෙන් ගුවන් මගීන් පැමිණීම හා පිටත්වීම් හේතුවෙන් ගුවන්තොටුපළ ප්‍රධාන පිවිසුම් මාර්ග හා පර්යන්ත ඇතුළත ඉතාමත් කාර්යය බහුල තත්ත්වයක් ඇති විය හැකියි. විශාල වශයෙන් ගුවන් මගීන් පිටත් කිරීමට පැමිණෙන්නන් හා ගුවන් මඟින් පැමිණෙන අය ලබාගැනීමට පැමිණෙන අය නිසා ගුවන්තොටුපළ පිටත ආලින්ද සාමාන්‍ය ජනතාවගෙන් පිරී පවතිනවා. එමෙන්ම මාර්ගවල වාහන තදබදය ඇති විය හැකි නිසා එය වළක්වා ගැනීමට නියමිත වේලාවට කලින් පැමිණීම, අවම පිරිසක් රැගෙන ඒම, අවම වාහන ප්‍රමාණයක් භාවිත කිරීම ආදිය සිදු කළ හැකියි."

මේ ප්‍රතිසංස්කරණ කටයුතු ඉතාමත් ශීඝ්‍රයෙන් සිදු කොට නියමිත කාල සීමාවට පෙර අවසන් කිරීමට සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශයත්, ‍ගුවන්තොටුපළ හා ගුවන් සේවා ශ්‍රී ලංකා සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩලය ඇතුළු සියලු කළමණාකාරීත්වයත් බලාපොරොත්තුවේ. මේ ව්‍යාපෘතියෙන් ආරක්ෂාකාරී ගුවන් ගමනකට පහසුකම් සැලසේ. එමඟින් ශ්‍රී ලංකාවේ ආර්ථිකයට මහත් පිටිවහලක් වනු නියතයි.

සටහන - රක්ෂණ ශ්‍රියන්ත 

නව අදහස දක්වන්න