ගුරු මාරුව! | දිනමිණ

ගුරු මාරුව!

 රටේ අධ්‍යාපනය සම්බන්ධයෙන් අලුත් තීරණ ගැනීමට ආණ්ඩුව සූදානම් බව අගමැතිවරයා කියා ඇත. රනිල් වික්‍රමසිංහ මහතාගේ එක අදහසක් වන්නේ පාසල්වලට ගුරුවරුන් තෝරා ගැනීමේදී පාසල් මට්ටමින් ම කළ හැකි නම් එය වැදගත් බව ය. අගමැතිවරයාගේ තවත් අදහසක් වන්නේ පාසලේ ඉගෙනීම් කටයුතු සම්බන්ධයෙන් වි‍ශ්ලේෂණයක් කළ හැකි ආකාරයෙන් පරීක්ෂකවරුන් ද නැවත පත්කළ යුතු බව ය. ගුණාත්මක අධ්‍යාපනයක් සඳහා මේ යෝජනා දෙකම වැදගත් බව පෙනී යයි.

ගුරුමාරු, ගුරු හිඟ හා ගුරුවරුන්ගේ අභියාචනා සැලැකිල්ලට ගන්නා කල පෙනී යන්නේ ශ්‍රී ලංකාවේ ගුරුවරුන් පත් කිරීම ගැන ද, ඔවුනට පාසල් ලබාදීම ගැන ද, උසස්වීම් ප්‍රදානය කිරීම ගැන ද නිශ්චිත හා සාධාරණ ක්‍රමවේදයක් අනුගමනය නොකරන බව ය. ඇතැම් ගුරුවරු දීර්ඝ කාලයක් දුෂ්කර‍ සේවයේ යෙදෙති. සමහර ගුරුවරු ඉතා සුළු කාලයකින් දුෂ්කර සේවය නිමා කරති. ඒ හැරත් තමන්ගේ පළාතේම දුෂ්කර සේවය තිබිය දී වෙනත් පළාතකට මාරුවී යෑමට සිදු වූ අවස්ථා ද දැක ගත හැකිය.

අධ්‍යාපනය සම්පූර්ණ වීමට නම් ගුරුවරයා සැහැල්ලුවෙන් සූදානමින් පාසලට පැමිණිය යුතු ය. එලෙසම පන්තියට යා යුතු ය. එහෙත් දුෂ්කර සේවයට යන බොහෝ දෙනා සැහැල්ලුවෙන් පාසලට නොයති. සන්තෝෂයෙන් පන්තියට නො යති. මීට හේතුවක් තිබේ.එක අතෙකින් ගුරුවරයා අධ්‍යාපනයට සූදානම් නැත. අනෙක් අතින් පාසල්වල පරිපාලන පද්ධතිය ද එබඳු ගුරුවරුන් පිළිගැනීමට කැමැති නැත. මේ සියල්ලෙහි ප්‍රතිඵලය වන්නේ ගුරුවරයාත් අසරණ වී ශිෂ්‍ය පරම්පරාවත් අසරණ වීම ය.

අපේ රටට අලුත් අධ්‍යාපන ක්‍රමවේදයක් සේම අලුත් අධ්‍යාපන චින්තනයක් ද අවශ්‍ය වේ. සමහරුන්ගේ කල්පනාවට අනුව පාසල් පද්ධතිය වැඩසටහන් අතින් මෙන්ම චින්තනය අතින් ද පරණය. ඒ නිසා රටේ අධ්‍යාපනය ඉදිරියට යන්නේ නැත. අනෙක් අතින් අධ්‍යාපනය හා සංවර්ධනය එකිනෙකට ගැළපෙන්නේ නැත. ගමේ පාසලක් ගතහොත් විද්‍යා ගුරුවරයා නැත. ගණිත ගුරුවරයා නැත. ඉංග්‍රීසි ගුරුවරයා නැත. ගමේ ඉස්කෝලවල ඇත්තේ කෝකටත් තෛලය මෙන් සියලු විෂයන් උගන්වන ගුරුවරු ය. ඇතැම් පාසලක මුල් ගුරුවරයා ද පරිපාලනය පසෙක තබා පන්තිවලට ගොස් උගන්වයි. එසේ නැතිව ග්‍රාමීය පාසල් පවත්වා ගැනීම දුෂ්කරය.

ග්‍රාමීය මට්ටමෙන් නැතහොත් පාසල් මට්ටමින් හෝ අර්ධ නාගරික මට්ටමින් සලකා බලා අදාළ පාසල්වලට අවශ්‍ය ගුරුවරුන් එම ප්‍රදේශවලින්ම සපයා ගන්නේ නම් ඉතා වැදගත් ය. එම ගුරුවරු සිසුන් ගැන දනිති. අවට පරිසරය ගැන දනිති. එපමණක් නොව අනාගතයේ දී අදාළ ප්‍රදේශය යායුතු ගමන ගැන ද දනිති. එය පළාතේ සංවර්ධනයට හා අනාගත පරපුරේ යහපතට හේතුවන බව කිව යුතු ය.

සිසුන් හසුරුවා ගැනීම ගැන ද ඔවුන් අධ්‍යාපනයට යොමු කිරීම ගැන ද නොයෙක් ගැටලු පාසල් තුළ පවතී. මේවා නිරාකරණය කර ගත හැකි හොඳම උපාය මාර්ගයක් වන්නේ ප්‍රදේශයේ ඇත්තන් ගුරුවරුන් වීම හා ඔවුන් දීර්ඝ කාලයක් පාසල් තුළ සේවය කිරීමය.

පාසල් පරීක්ෂක මණ්ඩල පත්කිරීම බොහෝ සෙයින් වැදගත් ය. දසක කිහිපයකට ඉහත දී පරීක්ෂක මණ්ඩල පාසල් සම්බන්ධයෙන් ක්‍රියාත්මක වූයේ ගුරුවරුන්ගේ මෙන් ම සිසුන්ගේ දැනුම හා විනය පරීක්ෂා කිරීමටය. අදවනවිට ගුරුවරුන්ගේ විනය අන්තයටම පිරිහී ඇත. ඇතැම් ගුරුවරු තම ශිෂ්‍ය ප්‍රජාව අතර දූෂිතයන් බවට පත්ව සිටිති.

ගුරුවරුන් පමණක් නොව විදුහල්පතිවරුද ඉතා භයානක ලෙස දූෂ්‍ය තත්ත්වයට පත්ව සිටිති. මෑත කාලයේ පළවු වාර්තාවලට අනුව පාසලකට සිසුන් ඇතුළත් කර ගැනීමේ අවස්ථාවේ සිට දිගටම දූෂණ ක්‍රියාවලිය සිදුවේ. මේවා වැළැක්වීම් ප්‍රබල උපාය මාර්ගයක් ලෙස පරීක්ෂක මණ්ඩල පත්කිරීම දැක්විය හැකිය.

ලෝකයේ දියුණු රටවල් අධ්‍යාපනය සම්බන්ධයෙන් ගෙනයන ප්‍රතිපත්ති හා වැඩසටහන් පිළිබඳ අවධානයක් යොමු කිරීම ශ්‍රී ලංකාව වැනි රටවලට වැදගත්ය. රුසියාවේ ඇමරිකාවේ මැලේසියාවේ අධ්‍යාපනය , ජපානය, චීනය, ඉන්දියාව වැනි රටවල අධ්‍යාපනය හා අධ්‍යාපනයට අදාළ ප්‍රතිපත්ති හා සැලැසුම්වලින් අපට බොහෝ ආදර්ශ ලබා ගත හැකිය. බොහෝ රටවල අධ්‍යාපනය ප්‍රසාරණය වී ඇත්තේ මානව සංවර්ධනය මූලික කරගෙනය. තවත් රටවල අධ්‍යාපනය ප්‍රසාරණය වී ඇත්තේ භෞතික සංවර්ධනය මූලික කරගෙනය. සිදුවිය යුත්තේ මේ අංශ දෙකම සමපාත වන ලෙස අධ්‍යාපනය හැසිරවීමය.

ශ්‍රී ලංකාව නිදහස් අධ්‍යාපනය පිළිගන්නා හා ඒ සඳහා ප්‍රතිපත්ති සම්පාදනයකොට ක්‍රියාත්මක කරන රටක් හැටියට ප්‍රචලිතය. දකුණු ආසියාවේ අධ්‍යාපනය සම්බන්ධයෙන් විශේෂ ස්ථානයක්ද ශ්‍රී ලංකාවට තිබේ.

ඒ ගැන අප ආඩම්බර විය යුතුය. එහෙත් පෙරළා අපේ රටේ අධ්‍යාපනය ගැන සලකා බලන විට එය රටට ගැළපෙන එකක්ද? වේගවත් සංවර්ධනයකට ඔරොත්තු දෙන එකක්ද යන සංවාද පවතී. ඇත්ත වශයෙන්ම සිදුවිය යුත්තේ රටේ ඉදිරි ගමනට ගැළපෙන අධ්‍යාපන ක්‍රමයක් ස්ථාපිත කිරීමය. එහි ඇති අඩුපාඩු ගැන සලකනවිට පාසල් මට්ටමින් ගුරුවරුන් බඳවා ගැනීම යහපත්ය. පරීක්ෂක මණ්ඩල ආරම්භ කිරීම ඊටත් වඩා වැදගත්ය.

නව අදහස දක්වන්න