වාද භේද දුරලා ජනපතිට සහාය දෙන්න පක්ෂ-සංවිධාන 68ක නායකයෝ එකඟතාවකට | දිනමිණ

වාද භේද දුරලා ජනපතිට සහාය දෙන්න පක්ෂ-සංවිධාන 68ක නායකයෝ එකඟතාවකට

රට ගොඩනැඟීමේ දැවැන්ත අභියෝගය බාර ගෙන සිටින ජනපති රනිල් වික්‍රමසිංහ මහතාගේ නායකත්වයෙන් ක්‍රියාත්මක වැඩපිළිවෙළ සාර්ථක කර ගැනීම සඳහා සියලු වාද භේද දුරලා සහයෝගය දක්වන බවට දේශපාලන පක්ෂ, බහුජන සංවිධාන සහ සිවිල් සංවිධාන 68ක නායකයෝ එකඟතාවකට එළඹී තිබේ.

මෙලෙස එකඟතාවයන්ට එළඹූ දේශපාලන පක්ෂ, බහුජන සංවිධාන සහ සිවිල් සංවිධාන නායකයින් පිරිසකගේ සහභාගීත්වයෙන් කොළඹ ගෑස්පහ පිහිටි පැරණි නගර සභා උත්සව ශාලාවේදී ඊයේ විශේෂ මාධ්‍ය සාකච්ඡාවක් පැවැත්විණි. මීට එම සංවිධානවල නායකයෝ මාධ්‍ය අමතමින් මෙසේ ද ප්‍රකාශ කළේය. එක්සත් ජනතා පෙරමුණ නායක සහ දේශපාලන පක්ෂ, බහුජන සිවිල් සංවිධාන ජාතික එකමුතුවේ ප්‍රධාන කැඳවුම්කරු ආචාර්ය සිරිමසිරි හපුආරච්චි මහතා, මේ අවස්ථාවේ සිවිල් සංවිධාන නායකයින් ලෙස අපගේ අරමුණ සහ මූලික පරමාර්ථය රනිල් වික්‍රමසිංහ මහතාගේ නායකත්වයෙන් ක්‍රියාත්මක වැඩපිළිවෙළට එල්ලවන බාධා මඟහැරීමය. වැඩපිළිවෙළ ක්‍රියාත්මක කිරීමට සහයෝගය දැක්වීමයි.

අද වන විට ප්‍රධාන වශයෙන් මාෆියා 3ක් ක්‍රියාත්මකයි. නිලධාරී මාෆියාව. වෘත්තීය සමිති මාෆියාව සහ කළුකඩ මාෆියාව එම මාෆියා තුනයි. මේ නිසා ජනතාවට ලැබෙන්නට තිබෙන බොහෝ වරප්‍රසාද නොලැබී යනවා. ප්‍රතිලාභ නොලැබී යනවා. ඒවා ජනතාවට ලබා දීමට නායකත්වයට සැබෑ කරුණු යථාර්ථය පැහැදිලි කිරීම අප එකමුතුවේ අදහසයි. එක්සත් ලංකා මහා සභාව පක්ෂ නායක - ජයන්ත කුලතුංග මහතා, අපේ රට ඉතිහාසයේ පළමු වතාවට ඉතා දරුණු ලෙස කඩා වැටුණා. සමාජ, ආර්ථික, දේශපාලන සෑම අංශයකින්ම කඩා වැටුණා. ඒ අවස්ථාවේ රට ගොඩනැඟීමට රනිල් වික්‍රමසිංහ මහතාට බාර දුන්නා. එතුමා තමන් බාරගත් කාර්යය මේ අවස්ථාවේ සැලකිය යුතු ප්‍රතිලාභ ජනතාවට හිමිකර දෙමින් ගොඩනඟා තිබෙනවා. ඒ නිසා අප ඔහුට සියලු වාද භේද අමතක කොට වැඩපිළිවෙළ සාර්ථකව ඉදිරියට ගෙන යෑමට සහයෝගය දැක්වීමට ඉදිරිපත් වෙනවා.

ජයසිරි මුණසිංහ

නව අදහස දක්වන්න