සවුදියේ දුක් විඳින මගේ බිරිය ගෙන්වා ගන්න ලක්ෂ 3ක් ඉල්ලනවා | දිනමිණ

සවුදියේ දුක් විඳින මගේ බිරිය ගෙන්වා ගන්න ලක්ෂ 3ක් ඉල්ලනවා

 

සවුදි අරාබියේ නිවෙසක වධහිංසාවට ලක් වෙමින් දුක්විඳි තිස් හැවිරිදි දෙදරු මවක වන ගම්පොළ අඟුරුමුල්ල, පහළවත්තහේන පදිංචි සචිනි මධුෂානි ගුණසේකර නමැති කාන්තාව පිළිබඳව මාධ්‍යයෙන් හෙළි කිරීමත් සමඟ ඇය සවුදි තානාපති කාර්යාලයට ගෙන්වා ඇති බවත්, ඇය මෙරටට ගෙන ගැනීමට නම් ඒජන්සියට රුපියල් දෙලක්ෂ අනූඅටදහසක් ගෙවන ලෙස විදේශ සේවා නියුක්ති කාර්යාංශය ප්‍රකාශ කරන බවත් ඇයගේ සැමියා පවසයි.

වත්තේගෙදර ශිරන්ත මධුසංඛ තිලකරත්න වන ඔහු වැඩිදුරටත් මෙලෙස ද සඳහන් කළේය.

"මේ මුදල ගෙවුවේ නැත්නම් ඉදිරියේදී රුපියල් ලක්ෂ 27ක් ගෙවීමට සිදු වන බව සවුදි තානාපති කාර්යාලයේ නිලධාරීන් මට දැනුම් දුන්නා. ගම්පොළ විදේශ සේවා ආයතනයක් මැදිහත්වී මගේ බිරිඳ ගෘහ සේවයට යැවුවා. ඔවුන් රුපියල් ලක්ෂ හතරක් සහ පස්සෙ රුපියල් 13,000ක් දෙන බව ප්‍රකාශ කළා. ඔවුන් ඒ කිසිවක් මට දුන්නේ නෑ.

සවුදි තානාපති කාර්යාලයේ සිටින බිරිඳ ගෙන්වා ගන්න විදේශ සේවා කාර්යාංශයට කීප වතාවක්ම ගියා. ඒ අය ඒජන්සිය පැත්ත අරගෙන කතා කරමින් බිරිඳ ගෙන්වා ගැනීමට උදවු කරන්නේ නෑ. දරුවෝ දෙන්නා බලාගෙන ගෙදර ඉන්න මට කිසිම කුලී වැඩකට යන්න විදිහක් නෑ. මගේ බිරිඳ රවටා රට යවා ඇයට කෲර වධ හිංසා දී සිර කරමින් වැටුප් නොදෙමින් රඳවා තබාගෙන සිටිනවා. ඒ නිසා ඇය එයින් මුදා ලංකාවට ගෙනැවිත් දෙන්න."

 

 

ගම්පොළ සමුහ

සුරංග දිල්හාන්

නව අදහස දක්වන්න