මානව හිමිකම් කවුන්සිලයේ දී සම්මත කළ 51/1 යෝජනාවට ශ්‍රී ලංකාවේ විරෝධය | දිනමිණ

මානව හිමිකම් කවුන්සිලයේ දී සම්මත කළ 51/1 යෝජනාවට ශ්‍රී ලංකාවේ විරෝධය

පසුගිය වසරේ ඔක්තෝබර් මාසයේදී ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ජගත් මානව හිමිකම් කවුන්සිලයේදී සම්මත කර ගන්නා ලද ආකාරයේ යෝජනාවලින් ශ්‍රී ලාංකිකයන්ට කිසිදු යහපතක් අත ්නොවන බව ශ්‍රී ලංකාව ජගත් මානව හිමිකම් කවුන්සිලය හමුවේ අවධාරණය කරයි.

පසුගිය වසරේ ඔක්තෝබර් මාසයේ දී ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ජගත් මානව හිමිකම් කවුන්සිලයේ දී සම්මත කරගත් 51/1 යෝජනාවට ශ්‍රී ලංකාව යළිත් වරක් විරෝධය පළ කරන බවද එවැනි යෝජනා මඟින් සංහිඳියාව ප්‍රවර්ධනය කිරීමේ අරමුණ ඉටුකිරීමට අපොහොසත් වන බවද එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ජිනීවාහි ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිත හා තානාපතිනි හිමාලි අරුණතිලක මහත්මිය ප්‍රකාශ කරයි.

ස්විට්සර්ලන්තයේ ජිනීවා නුවර දී ආරම්භ වූ ජගත් මානව හිමිකම් කවුන්සිලයේ 52 වැනි සැසිවාරය අමතමින් ශ්‍රී ලංකා තානාපතිනිය මේ බව සඳහන් කර තිබේ.

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 51 වැනි නිත්‍ය සැසිවාරයට ඉදිරිපත් වූ ‘ශ්‍රී ලංකාවේ සංහිඳියාව, වගවීම සහ මානව හිමිකම් ප්‍රවර්ධනය කිරීම’ යන මැයෙන් වූ නව යෝජනාව පසුගිය වසරේ ඔක්තෝබර් මස 6 වනදා වැඩි ඡන්දයෙන් සම්මත විය. එක්සත් රාජධානිය, එක්සත් ජනපදය සහ ප්‍රංශය ඇතුළු රටවල් 20ක් අදාළ යෝජනාවට පක්ෂව ඡන්දය ප්‍රකාශ කළ අතර, චීනය සහ පාකිස්තානය ඇතුළු රටවල් 7ක් ඊට විරුද්ධව ඡන්දය ප්‍රකාශ කළේය. ඉන්දියාව සහ ජපානය ඇතුළුව රටවල් 20ක් යෝජනාවට ඡන්දය දීමෙන් වැළකී සිටියේය.

51/1 යෝජනාව හරහා, එක්සත් ජාතීන්ගේ මහ කොමසාරිස්වරයා ශ්‍රී ලංකාව යථා තත්ත්වයට පත්කිරීම සම්බන්ධයෙන් ජාත්‍යන්තර ප්‍රජාවට සහාය දෙන ලෙස දිරිමත් කර තිබෙන අතර, මානව හිමිකම් උල්ලංඝනය කිරීම් සහ ආර්ථික අපරාධ ආදිය සඳහා පවතින හේතු විසඳීමේ අවශ්‍යතාවය ද ඉස්මතු කර ඇත.

පසුගිය වසරේ ඔක්තෝමබර් මාසයේ දී එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 51 වැනි සැසිවාරය අමතමින් ශ්‍රී ලංකා විදේශ කටයුතු ඇමැති අලි සබ්රි මහතා එම යෝජනාව රටේ අනුමැතියකින් හෝ උපදේශනයකින් තොරව ඉදිරිපත් කර ඇති බව පවසමින් එය තරයේ ප්‍රතික්ෂේප කළ අතර, මාර්තු 3 වැනිදා ජිනීවාහි ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිත කාර්යාලය 51/1 යෝජනාවට ශ්‍රී ලංකාවේ විරෝධය නැවත වරක් ප්‍රකාශ කළේය.

51/1 යෝජනාව සඳහා ශ්‍රී ලංකාවේ විරෝධය ප්‍රකාශ කළද ජගත් මානව හිමිකම් කවුන්සිලය, විශේෂ ක්‍රියා පටිපාටි සහ ගිවිසුම්ගත ආයතන සමඟ ඵලදායී සාකච්ඡාවල නිරත වීමට ශ්‍රී ලංකාව සූදානම් බවද තානාපතිනි හිමාලි අරුණතිලක මහත්මිය සඳහන් කරයි.

මහින්ද අලුත්ගෙදර

නව අදහස දක්වන්න