මේ තමයි ෆියුචර් ෆ්ලැට් ෆෝම් එක! | දිනමිණ

මේ තමයි ෆියුචර් ෆ්ලැට් ෆෝම් එක!

‘අටPass’ රැගෙන එන කැළුම් පාලිත මහීරත්න

සමාජ මාධ්‍ය ජාල මඟින් ඉහළ ප්‍රතිචාර ලැබෙනවා

සිනමාවෙන්, පුංචි තිරයෙන් අප හමු වූ ප්‍රවීණ අධ්‍යක්ෂවරයෙක් වන කැළුම් පාලිත මහීරත්න දැන් වෙනස්ම තලයක සිට ප්‍රේක්ෂකයා ඇමතීමට සූදානමිනි. ඉකුත් දා (13) ජනගත වූ ඒ නිර්මාණ පිළිබඳ අපි කැළුම්ගෙන් වැඩිදුරටත් විමසුවෙමු.

 

l කොහොමද ලැබෙන ප්‍රතිචාර?

ඉතා ඉහළයි. අපේක්ෂා කළාටත් වඩා ප්‍රතිචාර ලැබෙනවා. නව පරපුරෙන් වැඩි ආකර්ෂණයක් ‘අට පාස්’ දිනාගනිද්දි ඉන් එහාටත් විවිධ වයස් පරාසවල සිටින බොහෝ දෙනකුගෙන් සුබවාදී ප්‍රතිචාර ලැබීමෙන් අපේ වෙහෙස මහන්සියට කල් නොයවා ප්‍රතිඵල ලැබී ඇතැයි හැ‍ඟෙනවා.

l ඔබේ ‘නිලම්බරේ’ වැනි චිත්‍රපටවලටත් ‘විසුළ අහස යට’ වැනි ටෙලි නිර්මාණවලටත් වඩා ‘අට පාස්’ වෙනස් බවක් ප්‍රේක්ෂකයන්ගෙන් ඇසෙනවා?

මටත් ඒ වග හුඟ දෙනකුගෙන් අසන්නට ලැබුණා. අපිට ඕනෑ කළේත් වෙනසක්මයි. වෙනස් ට්‍රෙන්ඩ් එකක් කිව්වොත් වඩාත් නිවැරැදියි. ටෙලිවිෂන් එකට වඩා වෙනස් ට්‍රෙන්ඩ් එකක් එළියේ තියෙනවා. ඒත් ඒක අල්ලා ගන්නේ කොතනින්ද කියන තැනත් එක්කයි වෙනස තියෙන්නේ.

ඉතින් කාලයක් නිර්මාණ ක්ෂේත්‍රයේ රැඳුණු කෙනෙක් විදියට මේ වැඩේ ගැන ක්ෂේත්‍රයේ අයත් ප්‍රේක්ෂකයනුත් කතා කිරීම මට අපමණ සතුටක්. අපේ ජීවිතේ අන්තිමට ඉතිරි වෙන්නේත් එච්චරමයි. දෝෂාරෝපණ විවේචන එල්ල වන දෙනෝදාහක් අතරේ මෙතෙක් පැමිණි ගමනත් දැන් නැවතී සිටින තැනත් ගැන මට සන්තෝෂයි.

ඉතා කෙටි කාලයකටයි ‘අට පාස්’ එක් කතාවක් සීමා වෙන්නේ. මිනිත්තු 10 - 12ක් වගේ පුංචි කාලයකින් සමාජ මාධ්‍ය ජාල හරහා ප්‍රේක්ෂකයා හමුවෙන ‘අට පාස්’ ඊටත් වඩා වෙනස්කම් ගණනාවක් උරුම කරගත් නිර්මාණයක්. දැන් කවුරුත් වැඩිපුර වැඩ කරන්නේ ටෙලි‍ෆෝන් එකෙයි ඩිජිටල් ෆ්ලැට් ෆෝම් එකෙයිනේ. අද ටෙලිවිෂන් එකට වඩා මොබයිල් ෆෝන් එක, ලැප්ටොප් එකට වැඩි සමාජ ආකර්ෂණයක් ඇති වෙලා තියෙනවා.

 

l ‘අට පාස්’ නරඹන්නාටත් ලොකු ඉඩක් වෙන් කළ බවත් ආරංචියි?

මෙහෙමයි. නරඹන්නාත් මේ ටෙලි සීරිස් එකේ කොටස්කරුවකු වීම එවැනි තවත් එකක්. එක් අවසානයක් සමඟ ඈ‍ඳෙන අලුත් ආරම්භයට ප්‍රේක්ෂකයාගේ අදහස් උදහස් යෝජනා තදින්ම බලපෑම් කරනවා.

පාරක් තොටක් විතරක් නෙවෙයි, ප්‍රේක්ෂක මැදිහත් වීම කොතරම් දුරකට බලපානවාද කියලා කාටත් ‘අට පාස්’ බැලුවාම පෙනේවි.

 

l අපි දැන් යොමු වෙන්නේ අට පාස් අන්තර්ගතයටයි?

රාත්‍රී දර්ශන බහුලව කොටස් දහයකින් සැදුම්ලත් ‘අට පාස්’ තුළින් දක්නට ලැබේවි. ඉකුත් අරගල කාලයේදී ඇඳිරි නීතිය පැන වූ කාල වකවානුවක් වටායි ‘අට පාස්’ දිවෙන්නේ.

ඒත් කෙටි කාලෙකට විකාශන කාලය සීමා වුණත් මේ වෙනුවෙන් අපේ කණ්ඩායම කළ කැපකිරීමවත් වියහියදම්වත් කොහෙත්ම කෙටි නැහැ. රත්නපුරේ තමයි මේ ටෙලි සීරිස් එකේ රූගත කිරීම් වැඩිපුර කෙරුණේ. ඒ වෙනුවෙන් එකදිගට දින පහක් රාත්‍රී දහයේ ඉඳන් පහුවදා අලුයම වන තුරුම ‘අට පාස්’ නිර්මාණ කණ්ඩායම අපමණ වෙහෙසුණා. ඒ, ඉහළම තාක්ෂණය යොදා ගනිමින්. ඊට බෙහෙවින් මුදල් වැය වුණත් ඒ පිළිබඳ නොතකා මේ කාර්ය සම්පූර්ණ කර ගැනීමයි අපි අපේක්ෂා කළේ.

 

l එතරම් ප්‍රමිතියකින් අන්තර්ජාලයේ විකාශය වන ටෙලි සීරිස් එක් කළේ ඇයි?

දැනටමත් අන්තර්ජාතික වශයෙන් නම් දිනූ ඒ වගේ ෆ්ලැට් ෆෝම්ස්වල මෙරට නිර්මාණ අඩු වෙන්නට එයත් එක හේතුවක්. ඉතින් ඒ හරහා විදේශ විනිමය රටට ගෙන ඒමක් වෙන්නෙත් නැහැ නේ.

අපේ එක් ඉලක්කයක් යෙදෙන්නේ එතැනට. ආවාට ගියාට ඊට ළඟා වෙන්න බැහැ. අපි කිසිසේත් සුළු කොට නොතකා උපරිමයෙන් මේ ආරම්භය ගත්තේ ඒ නිසයි. ඒ වෙනුවෙන් ප්‍රවීණ සහ අතිදක්ෂ පිරිසක් මා සමඟ සිටියා. එය එසේ නොවන්නට මට ‘අට පාස්’ කියන්නේ තවත් එක් හීනයක් පමණක්ම වෙනවා සිකුරුයි.

ඒ, ‘අට පාස්’ පිටපත රචනයෙන් අසංක සායක්කාරත් කැමරා අධ්‍යක්ෂණයෙන් චන්න දේශප්‍රියත් සංස්කරණයෙන් තිස්ස සුරේන්ද්‍රත් සංගීත අධ්‍යක්ෂණයෙන් පසන් ලියනගේත් රේඛීය නිෂ්පාදනයෙන් සමන් කුමාර ලියනගේත් වශයෙන්.

 

l අපිට දැන් නළුනිළි පිරිස ගැන කතා කළ හැකියි?

ඔව්. එතැනදිත් එක්ස්පෙරිමන්ට් එකක්ම තමයි මං දකින්නේ. ‘අට පාස්’ තුළින් ප්‍රේක්ෂකයා හමුවන හැමෝම අලුත්. අලුත්ම මුහුණු. ඒත් මේ අයගේ දක්ෂතා අතිවිශාලයි. අපි මේ වැඩේට අලුත් කට්ටියක් තෝරාගන්න අයදුම්පත් කැඳෙව්වාම සිය ගණනක් අයදුම් කළා. ඒ අතරිනුත් අතිදක්ෂයන් තෝරාගෙනයි අපි ‘අට පාස්’ රූගත කිරීම්වලට ගියේ. එවන් සය මසක උත්සාහයක ප්‍රතිඵලයක් තමයි ‘අට පාස්’ ඇත්තටම ඉතා හොඳ ඉදිරි ගමනක් ‘අට පාස්’ හරහා ප්‍රේක්ෂකයා හමුවන ගීත්මි සත්සරණි, ශෙහාන් ජයසේකර, දිදුල ඉඳුවර, තිව්‍ය ප්‍රශාන්, දිව්‍යා පද්මිණී, ඩිල්ශාන් තිලංක, මොහොමඩ් ෆස්මිල් සහ තානි අනුත්තරා සතුයි. ඒ අය සමහරු වගේ ඇඳ ගන්නේ නැතිව කලාවේ ඉදිරියට ගියොත් රටම කතා කරන තැනට එන්න ඒ කාටවත් අපහසු නැහැ.

 

l අපි නැවතත් හැරෙන්නේ අද සුලභව දකින ටෙලි පෙරහැර දිහාට?

ඒ තුළ කරන දේ හරියට හරවත්ව කරන අය නිසයි තවම සෑහෙන ප්‍රේක්ෂක පිරිසක් ටෙලිනාට්‍ය නරඹන්නේ. ඒත් පිටපතේ ඉඳන්ම බොරුව, වංචාව, ලෙහෙසිය, පහසුවම සළකාගෙන තවදුරටත් සමහරු ටෙලිනාට්‍ය කලාව කළොත් නම් තවත් ඒක පිරිහීමටම කරුණු යෙදෙයි.

සමහරු ටෙලිනාට්‍ය කලාවට හානි කිරීම සාමාන්‍ය දෙයක් විදියට සලකන තැනටම ඒ තත්ත්වය ඔඩුදිවීම ජුගුප්සාජනකයි. ඒ කොතරම් ද කියනවා නම්, සමහර පිටපත් රචකයන් ලොකේෂන් එකේ ඉඳන් එදා ඇවිත් ඉන්න නළු නිළියන් කවුද බලනවා. පස්සේ ඒ අයට හරි යන්න කතාව ලියන ගමන් ඒ වග අනිත් අයටත් පෙනෙන්නට ‘සෙල්ෆි’ ඡායාරූප ගන්නවා විතරක් නෙවෙයි ඒ එක් එක් පිටපතේ කොළත් ඡායාරූප විදියට සමාජ මාධ්‍ය ජාලවලට දමන අවස්ථාත් අපි දකිනවා. ඒත් ඒ වගේ වැඩ ඩිජිටල් ෆ්ලැට් ෆෝම් එකේ අන්තර්ජාතික වශයෙන් නමක් දිනූ සන්නාමවලින් ඉවත දැමීම පුදුමයක් නෙවෙයි.

 

l අරගලයේ ඡායා මාත්‍රයක් වගේම එහි අතුරු කතාවකුත් අට පාස් සමඟ සම්බන්ධයි. අපි ඒ පිළිබඳත් කතා කරමුද?

මං දැන් වයස්ගත වෙමින් ඉන්නේ. අනාගතය භාර තරුණ තරුණියන්ටයි. මං මුලින්ම ඒ වග කියන්නම ඕනි. ඒත් වැඩිහිටියෙක් විදියට නූතන පරපුර දිහා බලා සිටින මට නූතන යෞවනයන් අඩක් පමණ ඇත්තටම පරිණතද කියලා හිතෙනවා. තවමත් ඒ අය හරි තැනට ඇවිත් නැති බව තමයි මගේ හැඟීම.

තරුණයන් ඊට මූලික වුණත් තාරුණ්‍යයේම බහුතරයක්මයි ඒක අල කළේ. ප්‍රභූන්ගේ කාර්යාලවලට අලාභ හානි කරන්නටත් විවිධාකාරයේ සොරකම්, වංචා කරන්නටත් තරුණයන් රැසක් කටයුතු කළ බවත් කියැවෙනවා.

අද තාරුණ්‍යයේ සමහරු මුදල, කීර්තිය මුල් කරගෙන. ඒත් කරන දේ හරියට කරන්න ඉගෙන ගත්තාම ඒ සම්පත් තමන් ළඟට එන වගක් ඒ අය කල්පනා කරන්නේ නැහැ. ඒ වගේ ඍණාත්මක ආකල්ප නිසා ඉහළ දක්ෂතා තිබුණත් ඒ හැකියාව ඔපමට්ටම් කරගෙන ඉදිරි ගමනක යෙදෙන්නට ඒ සමහරුන්ට බැරි වෙලා තියෙනවා.

මුලින්ම හොඳ පදනමක් ඇතිව නිර්මාණයකට යොමු වීමේ වැදගත්කම ප්‍රවීණයන් නිතර පෙන්වා දුන් කරුණක්. කාලරාමුවකට වැඩ කිරීමට හුරු වීමත් අත්‍යවශ්‍යයි.

අද සාර්ථකත්වයට පත්ව සිටින ප්‍රවීණයන් කවුරුත් එදා ආධුනිකයන් විදියට කැපවීමෙන් වැඩ කළ අය. ඒ කවුරුත් දුෂ්කරතා මැදින් පැමිණි ඒ කටුක ගමනේදී ලද අත්දැකීම් සාර්ථකත්වයට බලපෑවා.

ඉතින් අන්තර්ජාතික මට්ටමෙන් නිර්මාණ කරන්නට මෙරට තාරුණ්‍ය තවත් පසුබට විය යුතු නැහැ. අපිට ඕනෑ තරම් දක්ෂයින් සිටිනවා. ඉතින් විදේශ විනිමය උපයන මාර්ගයක් විදියට නිර්මාණකරණය කෙරෙහි වැඩි අවධානයක් යොමු කළ යුතු කාලය එළැඹ තිබෙනවා.

නුවන් මහේෂ් ජයවික්‍රම

‘අටPass’ රැගෙන එන කැළුම් පාලිත මහීරත්න

නව අදහස දක්වන්න