මහ කන්නයට MOP පොහොර මෙට්‍රික් ටොන් 40,000ක් | දිනමිණ

මහ කන්නයට MOP පොහොර මෙට්‍රික් ටොන් 40,000ක්

මහින්ද අලුත්ගෙදර

එළැඹෙන මහ කන්නයට අවශ්‍ය මියුරේට් ඔෆ් පොටෑෂ් පොහොර මෙට්‍රික් ටොන් 40,000ක් ගෙන්වීමට රජය තීරණය කර තිබේ.

ඒ අනුව අදාළ පොහොර තොගය මෙරටට ගෙන්වීම වෙනුවෙන් අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබෙන අතර, ආසියානු සංවර්ධන බැංකුව මඟින් සපයන අමෙරිකානු ඩොලර් මිලියන 50ක අරමුදල් භාවිත කරමින් 2022/23 මහ කන්නයට අවශ්‍ය මියුරේට් ඔෆ් පොටෑෂ් (MOP) පොහොර මෙට්‍රික් ටොන් 40,000ක් ප්‍රසම්පාදනය කිරීම සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමි වූ බව ජනමාධ්‍ය, ප්‍රවාහන හා මහාමාර්ග ඇමැති, ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා ප්‍රකාශ කරයි.

ඇමැතිවරයා මේ බව සඳහන් කළේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී ඊයේ (04) පෙරවරුවේ පැවති අමාත්‍ය මණ්ඩල තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවට සහභාගි වෙමිනි.

ඒ අනුව නියමිත ප්‍රසම්පාදන ක්‍රියාවලිය අනුගමනය කළ යුතුව තිබෙන අතර අමාත්‍ය මණ්ඩලය මඟින් පත් කළ ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශ පරිදි අදාළ කොන්ත්‍රාත්තුව Ameropa Asia Pte. Ltd සමාගම වෙත ප්‍රදානය කිරීමට රජය තීරණය කර තිබේ.

ඒ අනුව 2022/23 මහ කන්නය සඳහා කිසිදු හිඟයකින් තොරව ආසියානු සංවර්ධන බැංකුවේ අරමුදල් භාවිත කොට පොහොර දීම කෘෂිකර්ම ඇමැති මහින්ද අමරවීර මහතා විසින් සහතික කර තිබෙන බව ද ඇමැතිවරයා සඳහන් කරයි.

නව අදහස දක්වන්න