ප්‍රචණ්ඩ ක්‍රියාවලට අත්අඩංගුවට ගත් 450න් 150ක් ජවිපෙ සාමාජිකයෝ | දිනමිණ

ප්‍රචණ්ඩ ක්‍රියාවලට අත්අඩංගුවට ගත් 450න් 150ක් ජවිපෙ සාමාජිකයෝ

පොලිස්පති දන්වා ඇතැයි අරුන්දික මැතිසබයේදී කියයි

නිවාස ගිනි තැබීම් ඇතුළු පසුගිය දිනවල වූ ප්‍රචණ්ඩකාරි ක්‍රියා සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් හාරසිය පනස් දෙනාගෙන් එකසිය පනස් දෙනකුම ජනතා විමුක්ති පෙරමුණේ සාමාජිකයන් බව පොලිස්පතිවරයා දන්වා ඇතැයි හිටපු රාජ්‍ය ඇමැති අරුන්දික ප්‍රනාන්දු මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (18) ප්‍රකාශ කළේය.

එහිදී අදහස් දැක්වූ ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා පැවසුවේ පසුගිය දිනවල ඇති වූ ප්‍රචණ්ඩ ක්‍රියාවලට ජනතා විමුක්ති පෙරමුණේ සාමාජිකයන් සම්බන්ධ නම් ඒ සම්බන්ධයෙන් පවත්වන ඕනෑම පරීක්ෂණයකට මුහුණ දීමට සූදානම් බවයි.

අරුන්දික ප්‍රනාන්දු මන්ත්‍රීවරයා කළ ප්‍රකාශයට ප්‍රතිචාර දැක් වූ අනුර දිසානායක මහතා පැවසුවේ එසේ නම් ඒ අයට ජනතා විමුක්ති පෙරමුණේ සාමාජිකත්වය දී ඇත්තේ පොලිස්පතිවරයා විය හැකි බවයි. පසුගිය දිනවල ඇති වූ ප්‍රචණ්ඩ ක්‍රියා සම්බන්ධයෙන් ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා අදහස් දැක්වූ අවස්ථාවේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් රැසක් ඔහුගේ කතාවට දිගින් දිගටම බාධා එල්ල කිරීම නිසා පාර්ලිමේන්තුවේ දැඩි නොසන්සුන් තත්ත්වයක් ඊයේ (18) ඇති විය.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ඇතැම් මන්ත්‍රීවරු ‘‘මිනී මරුවා මිනීමරුවා. ඔයා තමයි ඔක්කොම කළේ‘‘ යනුවෙන් කෑ ගසනු දැකගත හැකි විය.

ජනතා විමුක්ති පෙරමුණ මෙවැනි ආකාරයේ තර්ජනවලට බිය වන පක්ෂයක් නොවන බව මේ අවස්ථාවේදී අදහස් දැක්වූ අනුර කුමාර දිසානායක මහතා ප්‍රකාශ කළේය. තමාගේ නිවෙස ද 1988දී ගිනිගෙන විනාශ වූ බව ඔහු සඳහන් කළේය.

ස්වර්ණා විජේකෝන්, නුවන් කොඩිකාර සහ

සන්ධ්‍යා කරුණාරත්න

නව අදහස දක්වන්න