හදිසි නීතිය වහාම ඉවත් කර ගත යුතුයි | දිනමිණ

හදිසි නීතිය වහාම ඉවත් කර ගත යුතුයි

හිටපු කථානායක කරු ජයසූරිය

හදිසි නීතිය වහාම ඉවත් කර ගත යුතු බවත්, පාර්ලිමේන්තුව වහා රැස් කර ඒ පිළිබඳ තීන්දුවක් ගැනීමට අවස්ථාව දිය යුතු බවත් හිටපු කථානායක කරු ජයසූරිය මහතා පවසයි.

හිටපු කථානායකවරයා මේ බව පැවැසුවේ විශේෂ නිවේදනයක් නිකුත් කරමිනි.

එහි වැඩිදුරටත් මෙසේ ද සඳහන් වේ.

"හදිසි නීතිය පැනවීම තවදුරටත් පවත්වාගෙන යන්නේ ද නැද්ද යන්න තීන්දු කිරීම සියලු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ වගකීමක්. ඒ සඳහා පෙනී සිටින ලෙස සියලු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගෙන් ඉල්ලා සිටිනවා.

හදිසි නීතිය වහාම ඉවත් කර ගත යුතුයි. පාර්ලිමේන්තුව වහාම රැස් කර ඒ පිළිබඳව තීන්දුවක් ගැනීමට අවස්ථාව දිය යුතුයි. මේ මස 06 වැනි දින සිට බලාත්මක වන ආකාරයට ජනාධිපතිවරයා විසින් රටේ හදිසි නීතිය පැනවීම උද්ගතව ඇති සමාජ, ආර්ථික සහ දේශපාලන අර්බුද තවදුරටත් තීව්‍ර කිරීමට හේතුවක් විය හැකියි. ජනතාවගේ කතා කිරීමේ, අදහස් පළ කිරීමේ, සංවිධානය වීමේ සහ රැස්වීමේ අයිතිය ඇතුළත් මූලික අයිතිවාසිකම් සීමා කිරීමට ගන්නා මේ උත්සාහයට වගකීමක් සහිත සිවිල් සමාජ සංවිධානයක් ලෙස අප තරයේම විරෝධය පළ කරනවා.

ජනාධිපතිවරයා විසින් පනවන ලද මේ හදිසි නියෝග යුක්ති සහගත වන්නේ ද යන්න අවධානයට ගනිමින් එය තවදුරටත් නීත්‍යානුකූල වන්නේ ද යන්න සලකා බැලීම පාර්ලිමේන්තුව සතු අත්හළ නොහැකි වගකීමක්. ඒ පිළිබඳව පූර්ණ විවාදයකින් පසු ඊට අනුග්‍රහය දෙන්නේ ද නැද්ද යන්න තීරණය කිරීමට පාර්ලිමේන්තුවට නොපමාවම අවස්ථාව සැලසිය යුතුයි. මේ අවස්ථාවේදී සියලුම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් අයත් පක්ෂ නායකයන්ගේ ප්‍රථම වගකීම වන්නේ වහාම පාර්ලිමේන්තුව කැඳවන ලෙස කතානායකවරයාගෙන් ඉල්ලා සිටීමයි.

රටේ බලවත් අර්බුදයක් නිර්මාණයවී ඇති මෙවන් අවස්ථාවක ජනාධිපතිවරයා විසින් හදිසි නීති තත්ත්වයක් ප්‍රකාශයට පත් කිරීමෙන් ආණ්ඩුවට තම මර්දන යන්ත්‍රණය ශක්තිමත් කිරීමට හැකි වෙතත් එයින් පවත්නා අර්බුදයට විසඳුමක් සපයා ගත හැකි යැයි අප කිසිසේත්ම විශ්වාස කරන්නේ නෑ. එයින් ප්‍රථමයෙන්ම අහිමි කර ඇත්තේ ජනතාවගේ නිදහස සහ අයිතිවාසිකම්. ඒ අනුව රටේ ප්‍රජාතන්ත්‍රවාදය දුර්වල කිරීමට හේතු විය හැකි මෙවැනි නීති බලාත්මක කිරීම අන්තර්ජාතික ප්‍රජාව අප වෙතින් තවදුරටත් දුරස්වීමට හේතුවක් විය හැකියි.

පවත්නා දේශපාලන අර්බුදයට කඩිනම් විසඳුමක් ගැනීමට අනිවාර්යයෙන්ම සිදු විය යුතු සර්ව පාක්ෂික එකඟත්වයක් කරා යොමු වීමට ද එය බරපතළ බාධකයක්. එවන් පරිසරයක් නිර්මාණය වීම යනු රට වැටී ඇති ප්‍රපාතයෙහි ගැඹුර තව තවත් පුළුල් කරන්නක්. එනිසා අප ඉතාමත්ම ඕනෑකමකින් යුතුව ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටින්නේ පනවා ඇති මේ හදිසි නීති නියෝග වහාම අවලංගු කරන ලෙසයි. එය එසේ නොවන්නේ නම් ඒ පිළිබඳව වන පාර්ලිමේන්තු විවාදය ඉදිරි සතියේ ආරම්භයේදීම ගනිමින් එය තවදුරටත් නීත්‍යානුකූල කරන්නේ ද නැද්ද යන්න තීන්දු කිරීම සියලුම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ වගකීමක්."

සුභාෂිණී සේනානායක

  1.  

නව අදහස දක්වන්න