ජොන්ස්ටන් ඇතුළු තිදෙනකුට අධිචෝදනා පත්‍ර බාරදෙයි | දිනමිණ

ජොන්ස්ටන් ඇතුළු තිදෙනකුට අධිචෝදනා පත්‍ර බාරදෙයි

ලංකා සතොස ආයතනයෙන් රුපියල් පනස්දෙලක්ෂ හැත්තෑපන්දහසකට අධික වටිනාකමින් යුත් ආහාර ද්‍රව්‍ය ලබාගෙන මුදල් නොගෙවා වංචා කිරීම සම්බන්ධයෙන් එවකට සමුපකාර ඇමැති වත්මන් පාර්ලිමේන්තු මන්ත්‍රී ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා ඇතුළු තවත් දෙදෙනෙකුට එරෙහිව කුරුණෑගල මහාධිකරණයෙහි පවරා ඇති නඩුව ඊයේ (28) පෙරවරුවෙහි විභාගයට ගත් අතර එහිදී වගඋත්තරකරුවනට අධි‍චෝදනාපත්‍ර භාරදීම සිදු විය. මෙම නඩුවෙහි වගඋත්තරකරුවන් වනුයේ හිටපු සමුපකාර ඇමැති ජොන්ස්ටන් ප්‍රනාන්දු, ඔහුගේ ලේකම්වරයකු වන මොහමඩ් ෂාකීර් සහ ලංකා සතොස හිටපු සභාපති ව න ආර්.එම්. එන්. ප්‍රනාන්දු යන තිදෙනාය. අධිචෝදනා පත්‍ර භාරදීමෙන් අනතුරුව වගඋත්තරකරුවන් තිදෙනාම එහිදී තමන් නිවැරැදිකරුවන් බව මහාධිකරණ විනිසුරු සුනන්ද කුමාර රත්නායක මහතා හමුවෙහි කියා සිටියහ. ඒ අනුව එක් චූදිතයකුට රුපියල් දස ලක්ෂය බැගින් වූ ශරීර ඇප මත ඔවුන් මුදාහැරීමට මහාධිකරණ විනිසුරුවරයා එහිදී නියෝග කළේය.

මහා පරිමාණ මූල්‍ය වංචා අපරාධ විමර්ශන කොට්ඨාසය මඟින් කළ පරීක්ෂණ අනුව හිටපු ඇමැතිවරයා ප්‍රමුඛ පිරිස විසින් කුරුණෑගල පිහිටි සතොස ශාඛා තුනකින් රුපියල් ලක්ෂ පනස්දෙකකට අධික භාණ්ඩ ලබාගෙන මුදල් නොගෙවා සිටීම සම්බන්ධයෙන් මෙම නඩුව මහාධිකරණය ඉදිරියෙහි ගොනුකර තිබේ.

මෙම නඩුවේ මූලික විභාගය සිදු කරනු ලැබුවේ කුරුණෑගල මහේස්ත්‍රාත් අධිකරණය හමුවෙහිය. මාස දහයක කාලයක් විභාග කිරීමෙන් අනතුරුව නඩුව මහාධිකරණයට යොමුකොට තිබේ.

රජයේ නීතිඥ ඩබ්.වෑගොඩපිටිය මහත්මිය පැමිණිල්ල මෙහෙය වූ අතර වගඋත්තරකුරවන් වෙනුවෙන් නීතිඥ කාලිංග ඉන්ද්‍රතිස්ස සහ ප්‍රේමලාල් දොළවත්ත යන මහත්වරුන් පෙනී සිටියහ. නඩුවේ ‍වැඩිදුර විභාගය මැයි 02 දිනට කල් තැබිණ.

කුරුණෑගල මධ්‍යම විශේෂ සහ කුරුණෑගල දකුණ සමූහ

නව අදහස දක්වන්න