පැන ගිය දකුණේ කුඩු ලොක්කා මෙරටට | දිනමිණ

පැන ගිය දකුණේ කුඩු ලොක්කා මෙරටට

විජයානි එදිරිසිංහ

සහය ලබාදුන් ප්‍රබලයන් රැසකගේ තොරතුරුත් එළියට

දකුණු ප්‍රදේශය පුරා මහා පරිමාණයෙන් මත්කුඩු බෙදාහැරීමේ ජාවාරම් නායකයා වූ පසුගියදා තායිලන්තයේදී ජාත්‍යන්තර පොලිසිය මඟින් අත්අඩංගුවට ගත් ලියනදුරගේ වසන්ත මෙන්ඩිස් පෙරේදා මෙරටට ගෙනවිත් කොළඹ මත්ද්‍රව්‍ය නාශක අංශයට භාර දී තිබේ.මීට වසර තුනකට පමණ පෙර මොහු අත්අඩංගුවට ගැනීම සඳහා මෙහෙයුමක් ක්‍රියාත්මක වෙද්දි හොර රහසේ මෙරටින් පලා ගිය අතර පසුව ජාත්‍යන්තර කුඩු ජාවාරම්කරුවන්ගේ ජාලයට එක්වී විදේශයේ සිට මෙරටට මත්කුඩු එවීමේ ප්‍රබල කොටස්කරුවකු බවට පත්ව තිබෙන බව පොලිස් බුද්ධි අංශ මගින් අනාවරණය කරගෙන තිබිණි.

අනතුරුව මොහු අත්අඩංගුවට ගැනීම සඳහා පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශය මීගමුව මහේස්ත්‍රාත් අධිකරණය හරහා ජාත්‍යන්තර පොලිසියට රතු නිවේදනයක්ද නිකුත් කර තිබුණි. තවත් ප්‍රසිද්ධ කුඩු ජාවාරම්කරුවකු වූ වෙලේ සුදා, වසන්ත මෙන්ඩිස්, වන්මුස් ඇතුළු ජාවාරම්කරුවන් හත්දෙනෙකුට රතු නිවේදන නිකුත් කර තිබුණි.

එහිදී පසුගිය වසරේදී වෙලේසුදා කොටුකරගත් අතර පසුගිය සතියේ වසන්ත මෙන්ඩිස් මෙසේ අත්අඩංගුවට ගත් බව ජාත්‍යන්තර පොලිසිය මෙරටට දන්වා තිබුණි.

ඒ අනුව වසන්ත මෙන්ඩිස් පෙරේදා මෙරටට ගෙන්වා ගත් අතර දැනට රඳවා ගැනීමේ නියෝග මත මොහුගෙන් ප්‍රශ්න කිරීමේදී වසර ගණනාවක් තිස්සේ දකුණ කේන්ද්‍ර කොට ගනිමින් සිදුවු මහා පරිමාණ කුඩු ජාවාරමේ වැදගත් තොරතුරු රාශියක් සහ ඊට සම්බන්ධ ප්‍රබලයන් රැසකගේ තොරතුරුද එළිවෙමින් පවතින බව කොළඹ මත්ද්‍රව්‍ය නාශක අංශය අනාවරණය කරයි.

2013 වසරේදී මත්කුඩු කිලෝ 30ක් සමඟ ලයිබීරියානු ජාතිකයකු අත්අඩංගුවට ගැනීමත් හික්කඩුවේදී මත්කුඩු කිලෝ 10ක් සමඟ ඔස්ටින් නමැති ජාවාරම්කරුවා අත්අඩංගුවට ගැනීමෙන් පසු කොළඹ මත්ද්‍රව්‍ය නාශක අංශය වසර දෙකක කාලයක් තිස්සේ සිදුකරන ලද සූක්ෂම මෙහෙයුමක ප්‍රතිඵලයක් වශයෙන් මේ වනවිට මෙරට ක්‍රියාත්මක වන කුඩු ජාවාරමේ වැදගත් තොරතුරු රැසක් අනාවරණය කරගෙන තිබේ.

ඒ අනුව ළඟදීම මේ ජාවාරමට සහය දුන් සහ ජාවාරම්කරුවන් සමඟ සබඳතා පැවැත්වූ ප්‍රබලයන් රැසක්ද කොටුකර ගැනීමට හැකිවෙතැයි පවසන කොළඹ මත්ද්‍රව්‍ය නාශක අංශය වසන්ත මෙන්ඩිස්ගේ කොටුවීමෙන් පසු ඔහු හෙළිකරන මේ ජාවාරමට සම්බන්ධ එම පුද්ගලයන්ට මෙරටින් පලායාමට නොහැකි වන පරිදි ආරක්ෂක විධිවිධානද යොදා ඇතැයි පැවසේ.

නව අදහස දක්වන්න