පාසල් කාලය තුළ දරුවන්ට වෘත්තීය අධ්‍යාපනය දෙන්න සූදානම් | දිනමිණ

පාසල් කාලය තුළ දරුවන්ට වෘත්තීය අධ්‍යාපනය දෙන්න සූදානම්

නිපුණතා සංවර්ධන, වෘත්තීය අධ්‍යාපන, පර්යේෂණ හා නව නිපැයුම් රාජ්‍ය අමාත්‍ය විශේඥ වෛද්‍ය සීතා අරඹේපොළ

  • කැමැත්ත මත දරුවන්ට උපාධිය දෙන්න සැලසුම් කළා
  • මේ කිසිවක් එක රැයකින් එක මාසයකින් කරන්න බැහැ
  • ලෝකයේ රැකියා අවස්ථා තියෙන්නේ NVQ අධ්‍යාපන මට්ටම් අනුව
  • අධ්‍යාපනය ලබන කාලයේ දී ම රැකියාගත කිරීම අපේ බලාපොරොත්තුව

කොවිඩ් ව්‍යසනය හේතුවෙන් මෙරට පාසල් දරුවන්ට පාසල් අධ්‍යාපනය දීමේ දී අභියෝග රැසකට මුහුණ දීමට සිදු ව තිබේ. එහිදී එම අරමුණු ඉටු කර ගැනීමට රජය මහත් වෙහෙසක් දරමින් සිටී. ඒ අතර මාර්ගගත ක්‍රමය ඔස්සේ දරුවන්ට අධ්‍යාපනය සපයා දෙමින් සිටි අතර ගුරු වෘත්තීය ක්‍රියාමාර්ග හේතුවෙන් මාස තුනක පමණ කාලයක් එම අධ්‍යාපනය කටයුතු ද අඩාළ වී තිබේ. එහිදී දරුවන් පොත පතට යොමු කරවීමේ අරමුණෙහිම නොසිට දරුවන් වෘත්තිය නිපුණතාවන්ගෙන් සවිබල ගැන්වීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගනිමින් නව අධ්‍යාපන මංපෙත් විවර කිරිමට වෑයම් කරමින් නව විෂය ධාරාවන් ඹස්සේ දරුවන් සවි බල ගැන්වීමට කටයුතු කරන නිපුණතා සංවර්ධන, වෘත්තිය අධ්‍යාපන, පර්යේෂණ හා නව නිපැයුම් රාජ්‍ය අමාත්‍ය විශේෂඥ වෛද්‍ය සීතා අරඹේපොළ මහත්මිය සමඟ දිනමිණ කළ සාකච්ඡාවකි මේ.

කොවිඩ් ‍හේතුවෙන් පීඩාවට පත්ව සිටින පාසල් දරුවන්ට මාර්ගගත ක්‍රමය ඔස්සේ තාක්ෂණ පාඨමාලා හඳුන්වාදීමට පියවර ගෙන තිබෙනවා. එහි අරමුණ කුමක් ද?

ඔව්. ඇත්තටම අපි කල්පනා කළේ වර්තමානයේ කොවිඩ් ව්‍යසනයෙන් දරුවන් පාසලට නො එන එක වගේම මෙම තත්ත්වය යටතේ දරුවන් නිවෙස්වලට කොටු වී සිටීමෙන් වෙනත් ක්‍රියාවන්වලට ඇබ්බැහි වීම සහ දරුවන් ඵලදායි කාර්යයකට යොමු කරවීමට. පාසල් දරුවන්ට මාර්ගගත ක්‍රමවේදය ඔස්සේ ඉගෙනුම් ක්‍රියාවලිය මේ මොහොතේ විවිධ ගැටලු නිසා අඩපණ වී තිබෙනවා. ඒ නිසා අපි කල්පනා ක‍ළා දීර්ඝකාලීනව ගත හැකි ක්‍රමවේදයක්. ඒ යටතේ පාසල් දරුවන් වැඩි වශයෙන් වෘත්තීමය අධ්‍යාපනයට යොමු කරවීමට අපි අවස්ථාවක් කර ගත්තා. ලෝකය ගත්තාමත් රැකියා අවස්ථා තියෙන්නේ NVQ අධ්‍යාපන මට්ටම් කේන්ද්‍ර කර ගනිමින්. කර්මාන්ත ක්ෂේත්‍රය ඇතුළු ක්ෂේත්‍රවල නිපුණතා සහිත දරුවන්ට ඇති තරම් රැකියා තිබෙනවා. උපාධියට හා සමගාමීව ප්‍රායෝගික අධ්‍යාපනය ලැබූ දරුවන්ට වැඩි ඉඩක් ලැබෙනවා. ඒ නිසා අපි තීරණය කළා පාසල් කාලය තුළ ම දරුවන් වෘත්තීමය පුහුණුව සඳහා යොමු කරවන්න. එය ‍පාසල් අධ්‍යාපනය ඇනහිටි මේ අවස්ථාවට වගේම ඉදිරියටත් යොදා ගන්න අප සැලසුම් කළා. ඒ නිසා පාසල් කාලය තුළ ම දරුවන්ට වෘත්තීය අධ්‍යාපනය ආරම්භ කරන්න අප සූදානම් වුණා.

වෘත්තීය පුහුණුවක් පාසල් දරුවකුට දෙන්නෙ කොහෙම ද?

එය ගොඩක් දෙනෙක් අහන ප්‍රශ්නයක්. ශ්‍රව්‍ය දෘෂ්‍ය මාධ්‍ය හරහා කොහොම ද වෘත්තීය පුහුණුවක් දෙන්නෙ කියන එක. අපි මෙතැනදී අදහස් කළේ දරුවන්ට තමන්ගේ අනාගතය ගැන අවබෝධයක් ලබා ගන්න සහ යා යුතු ක්ෂේත්‍රය කුමක්දැයි තීරණය කර ගන්න මූලික පදනමක් සකස් කරන එක. මේ පිළිබඳ ව මූලික අව‍බෝධය ගන්න ගමන් ඒ දරුවන්ට NVQ මූලික අවස්ථාවේ සහතිකයක් ගැනිමට මින් හැකි වෙනවා. එතැනදී අපි කරන්නේ පාසල් දරුවන්ට රූපවාහිනි මාධ්‍ය හරහා යූටියුබ් වගේම ෆේස්බුක් ඔස්සේ අදාළ මාර්ගගත ක්‍රම මඟින් දැනුම ලබා දීම. ජාතික අධ්‍යාපනය ලබා දෙන විදිහට මේ පුහුණුව දෙන්න බැහැ. දැනට දෙරණ 24 නාලිකාව ඔස්සේ ක්ෂේත්‍ර දෙකක් ආරම්භ කරලා තිබෙනවා. T.V. One නාලිකාව හරහාත් ඉදිරියේ දී එය ආරම්භ කෙරෙනවා. අයි නාලිකාව ඔස්සේත් විකාශනයන් සිදු වෙනවා. මෙහිදී මූලික පාඨමාලාවේ න්‍යායික අධ්‍යාපනය තියරි කොටස් ටික මාධ්‍ය භාවිතාවෙන් දීමටත් අවසානයේ දී ඔවුන්ට මූලික පරීක්ෂණයක් පවත්වන්නත් සැලසුම් කරලා තියෙනවා. මේ පාඨමාලාවේ දී දැනුම ගත්ත අයට එම විභාගය සමත් වුණොත් සහතිකයක් දෙන්න සූදානම්.

පාසල් කාලය තුළම අතිරේක විෂයයක් ලෙස හෝ සති අන්තයේ දී හෝ මෙය කරන්න පුළුවන්. හැබැයි NVQ සහතිකය ගන්න ප්‍රායෝගික පැය ගාණ සම්පූර්ණ කළ යුතුමයි. දැනුම ගත්ත සිසුන්ට පාසල හැර ගිය පසු ප්‍රායෝගික පුහුණුව ලබා ගෙන සහතික ලබා ගන්න පුළුවනි. ගොඩක් දරුවන් අට නවය පන්තිවලදී අධ්‍යාපනය අතරමං වෙනවා. අව‍බෝධයක් නොමැති කමින් ඊළඟට කරන්නෙ මොකක්ද කියලා කල්පනා කරනවා. ‍දරුවන් වෙන කෙ‍ාහෙවත් යන්න ඕනෑ නෑ. දරුවෙක් විභාගයක් සමත් වුණත් නැතත් මේ හරහා දරුවා ජීවිතයෙන් සමත් වෙනවා.

මෙහි රූපවාහිනි පාඨමාලා හදාරන දරුවනුත් ලියාපදිංචි විය යුතු ද?

හැ. නිද‍හසේ දරුවන්ට අධ්‍යයනය කරන්න අවස්ථාව දීලා තියෙනවා. පාඨමාලා 5ක් විතර විකාශය වෙන කොට දරුවන්ට ඒ පාඨමාලා පහම බලන්න පුළුවන්. ඒ පහම අධ්‍යයනය කරලා මොන ක්ෂේත්‍රයේ ද මම යන්නේ කියලා දරුවන්ට අවබෝධ කර ගන්න පුළුවන්. රූපවාහිනි වැඩසටහන යුටියුබ් එකට ගිහිල්ලා පසුගිය වැඩසටහන් අධ්‍යයනය කරන්න පුළුවන්. අන්තර්ජාල පහසුකම් නැති දරුවන්ට රූපවාහිනිමය වැඩසටහන් නරඹන්න පුළුවන්. ඉස්සරහට අපි මේ විකාශනයන් දියුණු කරන්න බලාපොරොත්තු වෙනවා. ටී.වී. දෙරණ නාලිකාවේ සෙනසුරාදා පෙරවරුවේ ඔටෝ මොබයිල් පාඨමාලාව විකාශය වෙනවා. ටී.වී. වන් නාලිකාවෙන් ඉරිදා පෙරවරුවේ හෝටල් ආශ්‍රිත පාඨමාලා සහ අඟහරුවාදා, බදාදා, බ්‍රහස්පතින්දා පෙරවරු 11 සිට 11.30 දක්වා සංචාරක ක්ෂේත්‍රයට අදාළ පාඨමාලා විකාශනය සිදු කරනවා. තොරතුරු සන්නිවේදන තාක්ෂණය, ශීතකරණ සහ වායුසමීකරණ පාඨමාලා, ඉලෙක්ට්‍රොනික් සහ ඉලෙක්ට්‍රික් පාඨමාලා ඉදිරියේ දී විකාශය කිරීමට කටයුතු කරනවා. අයි නාලිකාවේත් මේ විකාශයන් ඉදිරියේදී පැවැත්වීමට කටයුතු සූදානම්. මේ පාඨමාලා සඳහා ඕනෑම පාසල් දරුවකුට සහභාගි වෙන්න පුළුවන්. එහෙත් අපේ මූලික අවධානය තියෙන්නේ 7, 8, 9 ශ්‍රේණිවල සිසුන් සහභාගි කර ගන්න. සාමාන්‍ය සහ උසස් පෙළ උසස් පෙළ සිසුන් තරගකාරී විභාගවලට මුහුණ දෙන නිසා ඒ ළමයි ඉලක්ක කර ගත්තේ නෑ. ඒ අයට අවස්ථාව තියෙනවා මේ විකාශයෙන් දැනුම ලබා ගන්න. ප්‍රායෝගික පරීක්ෂණවලදී ඔවුන්ව අපි අමාත්‍යාංශයේ ලියාපදිංචි කරනවා. ලියාපදිංචි වීම සඳහා විකාශය වූ මාධ්‍ය ඔස්සේ දරුවන්ව දැනුවත් කරනවා.

සම්බන්ධයෙන් පාසල් දැනුම්වත් කිරීමක් කර තිබෙනවා ද?

විදුහල්පතිවරුනුත් වැඩ නැහැ ගුරුවරුනුත් වැඩ නැහැ. ඒ නිසා මේ මොහොතේ පාසල් සම්බන්ධ කර ගත්තේ නෑ. දරුවන්ට නිදහසේ මේ පාඨමාලා හදාරන්න අවස්ථාව අපි දීලා තියෙනවා. පාසලට නොගිය දරුවකුට වුණත් පාසල හැර ගිය දරුවකුට වුණත් මේ පාඨමාලා කරන්න පුළුවන්. වැඩිහිටියන්ට මේ අවස්ථාව අපි දෙන්නෙ නෑ. ඒ අයට සෘජුව ගිහිල්ලා මේ පාඨමාලාව කරන්න ඕනෑ තරම් අවස්ථාව තියෙනවා. ඇතැම් පාසල් දරුවන් කැමති ක්ෂේත්‍ර තියෙනවා. ඒ අයට නිදහසේ මේ ක්ෂේත්‍ර හදාරන්න පුළුවන්.

මේ ඉගැන්වීම් අධ්‍යාපන අමාත්‍යාංශයත් සමඟ සාකච්ඡා කරලා විෂයානුබද්ධ කිරීමට සැලැස්මක් තිබෙනවා ද?

තාක්ෂණවේදය දැනටමත් උසස් පෙළට ඉගැන්වෙනවා. ඊළඟ අධ්‍යාපන ප්‍රතිසංස්කරණයේ දී අපි බලාපොරොත්තු වෙනවා 6, 7 පන්තිවලදී මීට සමගාමීව විෂය ධාරාවක් ඉදිරිපත් කරන්න. ඒ අවශ්‍ය ඉල්ලීම් කරුණු කාරණා අධ්‍යාපන ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශයට අපි ඉදිරිපත් කරලා තියෙනවා. ඔවුන් ඊළඟ අධ්‍යාපන ප්‍රතිසංස්කරණයේ දී මේක යොදාගෙන කටයුතු කරන බවට අපට පොරොන්දු වී තිබෙනවා. අප හිතනවා දරුවන්ට එතැනදී මේ ක්ෂේත්‍රයෙන් අධ්‍යාපනය හදාරන්න වෙනම අවස්ථාවක් ලැබෙයි කියලා. පළමුව අපි බලන්න ඕනෑ දරුවන් කොපමණ ප්‍රමාණයක් විභාගයට මුහුණ දේවි ද කියලා. පාසල් අධ්‍යාපනයට පරිබාහිරව නිදහස් අධ්‍යාපනය ඔස්සේ නිදහසේ තම රුචිකත්වය අනුව ඉදිරියට යන්න පුළුවන් මාර්ගය සකස්කර දීමයි අපේ අරමුණ. අධ්‍යාපන ප්‍රතිසංස්කරණවලට යම් කාලයක් ගත වෙනවා. හැම අතින්ම දරුවෝ අසරණ වෙලා ඉන්න අවස්ථාවක් නිසා තමයි කඩිනමින් මේ පාඨමාලා ආරම්භ කරන්න හිතුවේ.

තරුණ තරුණියන්ට හැකියාවෙන් තෘප්තිමත් කරන්න අමාත්‍යාංශය ගෙන යන වැඩපිළිවෙළ කුමක් ද?

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අපේ ඉදිරි දශකයම නිපුණතා දශකය කියලා නම් කර තිබෙනවා. මේ නිපුණතා දශකය නම් කිරීමත් සමඟ ම ජනාධිපතිතුමා ඇතුළු ආණ්ඩුව බලාපොරොත්තු වුණේ වසර පහක් ඇතුළත රටේ ශ්‍රම බළකාය නිපුණතාවයෙන් පිරි ශ්‍රම බළකායක් කිරීම. නිපුණතාවය රහිත බළකාය 10% දක්වා අඩු කරන්න සැලසුම වී තිබෙනවා. දැනට 50%-60% ශ්‍රම බළකායේ ඉන්නේ නිපුණතාවයෙන් තොර අය. ඒ සඳහා වැඩපිළිවෙළ රාශියක් අපි දියත් කරලා තිබෙනවා. මේ අමාත්‍යාංශය භාර ගන්න කොටම මම තේරුම් ගත්තු එක දෙයක් තමයි විෂය මාලා කාලීන රැකියා අවශ්‍යතාවට කුසලතාවයක් ලබා දෙන්නෙ නෑ කියන එක. ඒ වගේම අපට තේරුණ දෙයක් තමයි සමහර පාඨමාලා රටේ ලෝකයේ පවතින රැකියාවලට අනුකූල නොවන බව. ඒ වගේම තමයි කාලයත් එක්ක දියුණු වෙනකොට ආයතනවල ප්‍රමිතිය ගුණාත්මකභාවය ඉහළ යන්න ඕනෑ. ඒ නිසා පවතින ආයතන අලුත්වැඩියා කරන්න පාඨමාලා අලුත්වැඩියා කරන්න, තාක්ෂණයෙන් සන්නද්ධ කරන්න සියලු කටයුතු සිදුකරමින් එහි අවසානයට පැමිණ තිබෙනවා. ලෝකයටම නමක් ඇති කළ රට තුළ කාර්මික විප්ලවයක් ඇති කළ මරදාන කාර්මික විද්‍යාලය සහ හාඩි තාක්ෂණික විද්‍යාලය නවීන ලෙස අලුත්වැඩියා කරන්න අපි කටයුතු කළා. හාඩි තාක්ෂණික විද්‍යාලයට ‍ලෝකය පුරා රැකියා අවස්ථා ලැබුණා. ඒ වගේම හෝමාගම, කුරුණෑගල, කළුතර, මහනුවර තෝරා ගත් ආයතන සම්පූර්ණයෙන් නවීකරණය කර නවීකරණ කටයුතු ආරම්භ කර තිබෙනවා. එහිදී ගොඩනැඟිලි අලුත්වැඩියාව, සිසුන් භාවිත කරන පුටු මේස අලුතින් මිල දී ගැනීම, ස්මාර්ට් ක්ලාස් රූම් ගොඩනැඟීම සිදු කළා. තාක්ෂණික උපකරණ යොදාගෙන සිසුන්ට නවීන දැනුම ලබා දීම කොවිඩ් බාධාවන් තිබියදීත් කරගෙන යමින් සිටිනවා. මේ ආයතනවල සිටින ආර්ථික අපහසුතා ඇති දරුවන්ට විශ්වවිද්‍යාල දරුවන්ට වගේම ආදායම පදනම් කර ගනිමින් රු. 4000ක ශිෂ්‍යත්වයක් දීමට ගිය වර අයවැයෙන් අප කටයුතු කළා. ඔටෝමොබයිල් වැනි කාර්මික ක්ෂේත්‍රවල ඉගෙනුම ලබන දරුවන්ට සුදුසු නිල ඇඳුමක් තිබුණේ නෑ. ඔවුන් ආරක්ෂිතව ඒ සඳහා යොමු කරවන්න සියලු කටයුතු සිදු කර තිබෙනවා. ලෝකයේ රැකියා අවස්ථාවන්ට සරිලන විදිහට පාඨමාලා යාවත්කාලීන කළ යුතුයි. දක්ෂයන් ආකර්ෂණය කර ගැනීම සඳහා රූපවාහිනි වැඩසටහන් සහ වැඩමුළු රාශියක් අප ඉදරියේ දී ආරම්භ කරනවා. සාමාන්‍ය පෙළ සමත් අසමත් සියලුදෙනාට තමන්ගේ ක්ෂේත්‍රය තෝරා ගන්න මේ වැඩමුළුවලින් අවස්ථාව හිමි වේවි.

සෞභාග්‍යයේ දැක්ම අනුව 2025 ඉලක්කය ජය ගන්න තරුණ තරුණියන් ඔසොවා තබන්න ගෙන යන වැඩපිළිවෙළේ වර්තමාන තත්ත්වය කුමක් ද?

සෞභාග්‍යයේ දැක්මේදී තීරණය කළ බොහෝ කාරණා ඉෂ්ට කිරිම සඳහා අපට අමාත්‍යාංශයේ වැඩ කරන්න හැකි වුණේ වසරක් වාගේ කාලයක්. ඒ වසරෙදිත් බහුතර කාලයක් කොවිඩ් හේතුවෙන් ආයතන වසා තබන්න සිදු වුණා. රට අකර්මණ්‍ය වෙලා තිබුණේ. නිපුණතා‍වයෙන් පිරි දශකයක් බවට පත් කරන්න ඉලක්කයක් තිබෙන්නේ ඒ තුළමයි. මේ වන විටත් ආයතන දහයකට වැඩි ප්‍රමාණයක් නවීකරණය කිරිම අප ආරම්භ කළා. පාඨමාලා නවීකරණය කිරීමට අවශ්‍ය නිර්ණායක අපට ලැබී තිබෙනවා. අප ඒවා ඊළඟ වසරේ ඉඳලා ක්‍රියාත්මක කරන්න බලාපොරොත්තු වෙනවා. ඉන්පසු ඉලක්ක සාර්ථක කර ගන්නත් අප කටයුතු කරනවා. නිපුණතා දශකයත් සමඟ අපේ ශ්‍රම බළකාය නිපුණතාෙවන් පිරි පිරිසක් බවට පත් කරන්න දැනට ක්ෂේත්‍රයේ සිටින දැක පුරුද්දෙන්, කළ පුරුද්දෙන් ක්ෂේත්‍රවල ප්‍රවීණයන් වී සිටින අයට රැකියාවේ සුරක්ෂිතභාවය මෙන්ම අභිමානයක් එක් කිරීමට දැනුම පිළිබඳ සහතිකයක් දෙන්න කටයුතු කරමින් සිටිනවා. දැනට ශ්‍රම බළකායේ සිටින ඔවුන් කෙටි අධ්‍යයනයක් කර පළපුරුද්ද ඇගයීමට ලක් කර NVQ සහතික ලබා දෙන්න කටයුතු කරනවා. විදුලි කාර්මිකයන්, මේසන්වරුන්, ජලනල කාර්මිකයන් ඇතුළු සියලු ක්ෂේත්‍රවල සෑම තැනම විසිරී සිටින ශ්‍රම බළකාය තෝරා ගෙන කෙටි කාලීන පුහුණුවකින් පසු NVQ සහතිකය දීම වේගවත් කර තිබෙනවා. විවිධ ක්ෂේත්‍රවල සිටින අය විදේශ රැකියා සඳහා යොමු කිරීමත් අපේ බලාපොරොත්තුවක්. සෞඛ්‍ය අංශයේ රැක බලාගන්නන්ට විශාල රැකියා අවස්ථා තියෙනවා. ඒ සඳහා වූ ආයතනයක් අලුතින්ම ස්ථාපිත කරනවා. පෞද්ගලික අංශය සමඟ බැඳී එහි ඇති රැකියා අවස්ථා සොයා බලා ඔවුන්ගේ රැකියාවට සුදුසුකම් රාමුව ඔවුන්ගෙන් ගෙන ඒ ශ්‍රමිකයන් පුහුණු කිරීම සඳහා අවබෝධතා ගිවිසුම් 10 කට වැඩි ප්‍රමාණයක් අප අත්සන් කළා. රැකියා බැංකුවක් සඳහා කැබිනට් අනුමැතිය අපට ලැබී තිබෙනවා. ලබන මාසයේ එය ආරම්භ කරනවා. රජයේ, පෞද්ගලික හෝ විදේශ රැකියා පුරප්පාඩු සම්බන්ධයෙන් නිරන්තර සමීක්ෂණයක නියැලෙමින් තොරතුරු මත පදනම් වෙමින් ඉලක්කගත රැකියාවකට යෑමට කටයුතු කරමින් සිටිනවා. මේ කිසිවක් එක රැයකින් එක මාසයකින් කරන්න බැහැ. උපාධි දීම සඳහා අපට තියෙන්නෙ එකම විශ්වවිද්‍යාලයයි. ඒ සදහා අපි පුරවර විශ්වවිද්‍යාල (City Univercity) ආරම්භ කරනවා. උසස් පෙළ සමත් වෙලා විශ්වවිද්‍යාලයට තේරුණ හෝ එහෙත් නොයන දරුවන්ට කැමැත්ත මත උපාධිය දෙන්න අප සැලසුම් කර අවසන්. එහි පළමු අවස්ථාව කෑගල්ලේ පුරවර විශ්වවිද්‍යාලය ආරම්භ කරමින් ඉදිරියේ දී සිදු කරනවා. එහිදී අධ්‍යාපනය ලබන කාලයේ දී ම රැකියාගත කිරීම අපේ බලාපොරොත්තුව. එහි අරමුණ වන්නේ රැකියා කරන ස්ථානයේ ප්‍රායෝගික පුහුණුව දීම. න්‍යායික අධ්‍යාපනය අවුරුද්දක් දෙකක් ලබලා ප්‍රදේශයේ තියෙන රැකියා විෂයට අදාළ ස්ථානවල ප්‍රායෝගික අධ්‍යාපනය ගැනීම යොමු කරනවා. එහිදී ඔහු නිපුණයකු වෙන්නෙ ආයතන තුළ දී. විශ්වවිද්‍යාලයේ දී මෙන්ම වැඩබිමේ දී ලබන පුරුද්ද සමඟ රැකියා ගැනීම පහසුයි. .

සුභාෂිණී සේනානායක

ඡායාරූප - ගයාන් පුෂ්පික

 

නව අදහස දක්වන්න