සිංහ ලේ සංවිධානයේ නම ලිවීමේ දී පවා ජාතිවාදය අවුස්සන තත්ත්වයක් උද්ගත වෙනවා | දිනමිණ

සිංහ ලේ සංවිධානයේ නම ලිවීමේ දී පවා ජාතිවාදය අවුස්සන තත්ත්වයක් උද්ගත වෙනවා

මහාචාර්ය බෙල්ලන්විල විමලරතන අනුනාහිමියන් හිටපු අධ්‍යාපන අධ්‍යක්ෂ විශිෂ්ට සමාජ සේවක ඩබ්ලිව්. වික්‍රමාරච්චි මහතාට උපහාර ප්‍රදානය කරන අයුරු.

බොරලැස්ගමුව සමූහ සෙනෙවිරත්න කහටපිටිය

මේ රටේ ජාතිවාදය අවුස්සන සංවිධාන රාශියක් මේ දිනවල ක්‍රියාත්මක වෙමින් පවතින බවත්, එම සංවිධාන සඳහා සමහර දේශපාලකයන් හුළං ගසමින් සිටින බවත් ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ කුලපති මහාචාර්ය බෙල්ලන්විල විමලරතන අනුනාහිමියෝ පැවසූහ.

අනුනාහිමියෝ එසේ පැවැසුවේ බොරලැස්ගමුව අධ්‍යාපන හා සංස්කෘතික පදනමේ හත්වන සංවත්සර සභාව අමතා දේශනයක් කරමිනි. මෙම සංවත්සර මහ සභාව බොරලැස්ගමුව මහා විද්‍යාලයේ ශ්‍රවණාගාරයේදී පැවැත්විණි.

එහිදී මහාචාර්ය බෙල්ලන්විල විමලරත්න අනුනාහිමියෝ මෙසේද කීහ. අලුතින්ම ළඟදී බිහිවුණ සංවිධානයක් තමයි “සිංහලේ” සංවිධානය. එම සංවිධානයේ නම ලිවීමේදී පවා ජාතිවාදය අවුස්සන තත්ත්වයක් උද්ගත වෙනවා. එම සංවිධානය නම සකස් කර තිබෙන්නේ “සිංහ” කියන කොටස කළු අකුරෙනුත් “ලේ” කියන වචනය තද රතු අකුරෙනුත් ලියා තිබීමෙන්ම පෙනෙනවා එම සංවිධානය කොයි පැත්තටද ගමන් කරන්නේ කියන එක. ජාතිවාදය අවුස්සන එක බොහොම නරක දෙයක්. අපි වෙන් වෙලා ජීවත්වෙන්න හොඳ නෑ. දෙමළ සිංහල කියලා වෙන්කරන්න හොඳ නෑ. ඇත්තටම එම සංවිධානවලින් කියන්නේ අපේ සිංහල ජාතිය නැතිවෙනවා. එමෙන්ම ජාතිය භංග කරනවා. ඒවා බොරු අදහස්. ඒ අය කියෙන්නේ ලේවලින් සටන් කරන්න ඕනෑ කියලා. අපි එහෙම වෙන්න හොඳ නැහැ. අපි ශ්‍රී ලාංකිකයින් වශයෙන් එකතු වෙලා අපේ රට ජාතිය රැකගන්න අභිවෘද්ධිය කරා ගෙන යන්න කටයුතු කළ යුතුයි. අපි ජාති භේද වශයෙන් භේද බින්න වෙන්න හොඳ නැහැ.

අපේ සංස්කෘතිය එන්න එන්නම පිරිහීම පැත්තට ගමන් කරනවා. එයට ජනමාධ්‍යයත් එක්තරා ප්‍රමාණයකට වගකිවයුතුයි. 2015 දෙසැම්බර් 31 දා රාත්‍රී මේ රටේ ජනමාධ්‍ය ආයතනවලින් සංස්කෘතික සංදර්ශන පැවැත්වුවා. ජාතික රූපවාහිනියේ එදා පැවැති සංදර්ශනය සම්පූර්ණයෙන්ම දේශීයත්වයෙන් සහ සංස්කෘතියෙන් බැහැර වී තිබුණා. එහෙම වෙන්න හොඳ නැහැ. අපේ සංස්කෘතිය දේශීයත්වය ඒ තුළ රැකිය යුතුයි. මම කියන්නේ අප ජීවත්වන්නේ විශ්ව ගම්මාන යුගයක නිසා අපි සම්පූර්ණයෙන් අපි එදා සිටි නාඩගම් යුගයට යා යුතු නැහැ. වැදි ගීත යුගයට යා යුතු නැහැ. එසේ ද වූවත් නව තාක්ෂණික යුගයේ දීත් අපේ සංස්කෘතිය රැකගත යුතුයි. එමෙන්ම අද අපේ රටේ එකිනෙකා අතර සම්බන්ධ දුරස් වී තිබෙනවා. තාප්පවලින් වටවෙලා ගෙවල් ඇතුළට වී ජීවත්වන යුගයකට එළඹී තියෙනවා. එංගලන්තය ආදී රටවල තමයි මෙම සංස්කෘතිය තියෙන්නේ. අපේ රටට ඒවා ගැළපෙන්නේ නැහැ. අපි විදේශික ආභාෂ ලබාගත්තත් හොඳ සහ අපේ රටට ගැළපෙන දේ තමයි ගත යුත්තේ.

මෙවැනි අධ්‍යාපන හා සංස්කෘතික සංවිධානවලින් එම දේවල් ඉටුවෙනවා. විශේෂයෙන්ම බොරලැස්ගමුව අධ්‍යාපන සංස්කෘතික පදනම එවැනි සංවිධානයක්. පදනමින් ප්‍රකාශ කරන්නේ විද්වතුන්ගේ සහ බුද්ධිමතුන්ගේ සංවිධානයක් බව යැයි අනුනාහිමියෝ වැඩිදුරටත් පැවසූහ.

බස්නාහිර පළාත් ඇමැති ගාමිණී තිලකසිරි මහතා- සෑමදෙයක්ම රජයෙන් කරන තුරු බලා නොසිට ‍මෙවැනි උපදේශක සංවිධාන එකමුතු සමාජයේ අඩුපාඩු සකස් කරමින් තම ප්‍රදේශයට ජාතියට සංස්කෘතියට කරන සේවාව අගය කළ යුතු වන්නේ යැයිද කීය.

ප්‍රවීණ මාධ්‍යවේදී ලේඛක සෝමවීර සේනානායක මහතා-

බොරලැස්ගමුව අධ්‍යාපන හා සංස්කෘතික පදනම ප්‍රදේශයට විශාල සේවාවක් කරන සංවිධානයක් හැටියට හැඳින්විය හැකි බවද කීය.

අධ්‍යාපන හා සංස්කෘතික පදනමේ සභාපති ඩබ්ලිව්. වික්‍රමාරච්චි, ලේකම් රාජේන්ද්‍ර අතුකෝරළ, භාණ්ඩාගාරික ඩබ්. ආර්. දේවසුරේන්ද්‍ර, ලැම්බට් පෙම්මාවඩු යන මහත්වරුද කතා කළහ.

මෙහිදී ප්‍රදේශයෙන් තෝරාගන්නා ලද ශිෂ්‍යත්වලාභීන්ට තිළිණ ප්‍රදානයක්ද සිදුකළ අතර මහා විද්‍යාලීය ශිෂ්‍යාවන්ගේ නර්තනාංග ඇතුළත් සංස්කෘතික සංදර්ශනයක්ද ඉදිරිපත් කෙරිණි.

බස්නාහිර පළාත් සභා කෘෂිකර්ම සහ වනිතා කටයුතු ඇමැති ගාමිණී තිලකසිරි, ප්‍රවීණ මාධ්‍යවේදී සෝමවීර සේනානායක, බොරලැස්ගමුව නියෝජ්‍ය නගරාධිපති අනුර අතුකෝරළ, නාගරික මන්ත්‍රී විශ්ව අලුත්ගේ, කොළඹ විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය ඩබ්ලිව්. ඒ. විල්සන් යන මහත්වරු ඇතුළුව විශාල පිරිසක් මේ අවස්ථාවට සහභාගි වූහ. 

නව අදහස දක්වන්න