සෞභාග්‍යා පාසල් 13ක් දකුණු පළාතේ අරඹයි | දිනමිණ

සෞභාග්‍යා පාසල් 13ක් දකුණු පළාතේ අරඹයි

දකුණු පළාත් ආණ්ඩුකාර ආචාර්ය විලී ගමගේ මහතාගේ සංකල්පයක් අනුව සියලු පහසුකම්වලින් සපිරි නව සුහුරු පන්ති කාමර සහිත සෞභාග්‍ය පාසල් 13ක් පළමුවන අදියරේදී දකුණු පළාතේ ආරම්භ කෙරිණි.

මාතර ලුම්බිණි සෞභාග්‍යා පාසලේ සුහුරු පන්තියට සිසුන් ඇතුළත් කරගත් අවස්ථාවට ආණ්ඩුකාරවරයා සහ දකුණු පළාත් අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් රංජිත් යාපා මහතා ද එක්වූහ. නවක සිසුන්ව ඔටුණු පළඳවා පිළිගත් අතර, එම සිසු දරුවන්ට තිළිණ ලබාදීමද සිදු කෙරිණි.

විද්‍යාලයේ විදුහල්පතිනි එල්. සී. එන්. යාපා මහත්මිය ඇතුළු ගුරුභවතුන්, නවක දරු දැරියන්ගේ මව්පියන්ද මේ අවස්ථාවට එක්වී සිටියහ.

දකුණු පළාතේ පාසල්වලට පළමු වසරට දරුවන් ඇතුළත් කිරීමේදී ඇතිවන තදබදය අවම කිරීම සඳහා ආණ්ඩුකාරවරයාගේ මඟ පෙන්වීම අනුව දකුණු පළාත් අධ්‍යාපන අමාත්‍යාංශය මඟින් මෙම සුහුරු පන්ති කාමර සහිත සෞභාග්‍යා පාසල් 13 ආරම්භ කෙරිණි. මෙම පන්ති කාමර අලංකාර අයුරින් සකසා ඇති අතර, පරිගණක ඇතුළු නවීන තාක්ෂණික මෙවලම් ලබාදී ඇත. එම පන්තිවල ඉගැන්වීම සඳහා ගුරුවරුන්ට ද විශේෂ පුහුණුවක් ලබාදී ඇත.

දකුණු පළාතේ ග්‍රාමීය ප්‍රාථමික පාසල් සංවර්ධන වැඩසටහන යටතේ පාසැල් 45ක් මෙලෙස සංවර්ධනය කිරීමට සැලසුම් කර ඇත. යටිතල පහසුකම් සංවර්ධනය කිරීමට එක් පාසලකට රුපියල් ලක්ෂ 10 බැගින් ලබාදී ඇත.

වෙනස් ආකාරයේ නිල ඇඳුමක් ද මෙම දරුවන්ට හඳුන්වාදීමට කටයුතු කර තිබේ. වසර 5ක් ගතවන විට මෙම සියලු පාසල්වල පන්ති කාමර සුහුරු පන්ති කාමර බවට පත්වනු ඇති බව අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කරයි.

විජිත සල්ගාදු - අකුරැස්ස මධ්‍යම විශේෂ

නව අදහස දක්වන්න