කොමර්ෂල් බැංකු ශාඛා හරිතකරණය වෙයි | දිනමිණ

කොමර්ෂල් බැංකු ශාඛා හරිතකරණය වෙයි

බැංකු ශාඛා හතරක සූර්ය විදුලිබල පද්ධති සවිකිරීමත් තවත් බැංකු ශාඛා පහක එවැනි සූර්ය විදුලිබල පද්ධති සවිකිරීම සඳහා ටෙන්ඩර් ලබාදීමත් කඩදාසි භාවිතයෙන් තොර මුදල් තැන්පත් කිරීමේ යන්ත්‍ර 20කට වැඩි සංඛ්‍යාවක් ඇණවුම් කිරීම තුළින් කොමර්ෂල් බැංකුව විසින් සිදු කරන පිරිසර හිතකාමී වැඩසටහන් 2015 වසරේදී ඉහළ ප්‍රගතියක් අත්පත් කරගත් බව බැංකුව සඳහන් කරයි.

ශ්‍රී ලංකාවේ විශාලතම පුද්ගලික වාණිජ බැංකුව වන කොමර්ෂල් සඳහන් කරන්නේ තමන්ට අයත් බලංගොඩ, බොරැල්ල, නාරාහේන්පිට සහ මහරගම ශාඛා මඟින් මේ වන විට කිලෝවොට් 40ක සූර්ය බලශක්තියක් උත්පාදනය කරන බවයි. කොල්ලුපිටිය, නගර ශාඛාව, මහ වීදිය ශාඛාව, ගම්පහ සහ නුගේගොඩ යන ශාඛාවල මෙවැනි සූර්ය විදුලිබල පද්ධති ඉදිරියේදී සවිකිරීම මඟින් උත්පාදනය කරන විදුලිය කිලෝවොට් 240ක් දක්වා ඉහළ දමන බව බැංකුව සඳහන් කරයි.

බැංකුව විසින් මේ ශාඛා හතරේ සූර්ය විදුලිබල පද්ධති ගොඩනැගීම සඳහා රුපියල් මිලියන 10ක මුදලක් ආයෝජනය කර තිබෙන අතර එක් ශාඛාවක් වෙනුවෙන් දළ වශයෙන් රුපියල් මිලියන 2.5ක පමණ මුදලක් ආයෝජනය කර තිබේ. බැංකුව සඳහන් කරන්නේ සූර්ය විදුලිබල පද්ධති සවිකිරීම සඳහා මේ වන විට හඳුනාගෙන තිබෙන ශාඛා කිලෝවොට් 30ත් 60ත් අතර විශාල වශයෙන් විදුලි බලය පරිභෝජනය කරන ශාඛා බවයි. මෙසේ උත්පාදනය කරගන්නා සූර්ය විදුලි බලය ප්‍රධාන වශයෙන් විදුලි පහන් දැල්වීමට සහ අඛණ්ඩ විදුලිබල සැපයුම් ඒකක (UPS) ආරෝපණයට යොදාගන්නා බව බැංකුව සඳහන් කරයි.

මෙම වැඩසටහන යටතේ 2016 වසරේදී කොමර්ෂල් බැංකුවට අයත් ගොඩනැගිලි තුළ පිහිටුවා ඇති ශාඛා 05කට වැඩි ප්‍රමාණයක් සඳහා සූර්ය විදුලිබල පද්ධති සවිකිරීමට කටයුතු කරන බව බැංකුව පවසයි.

කොමර්ෂල් බැංකුවේ අරමුදල් දායකත්වයෙන් හික්කඩුව සමුද්‍රීය ජාතික උද්‍යානයේ විනාශයට පත්වූ කොරල් නැවත වගා කිරීමේ සුවිශේෂී ව්‍යාපෘතියක් වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ආරම්භ කළ අතර කොළඹ ‍ජාතික රෝහල තුළ පිහිටි අක්කර එකහමාරක පමණ ගෙවතු ප්‍රදේශය ක්‍රමවත්ව සහ අලංකාරව සකස් කිරීම සඳහා කොමර්ෂල් බැංකුවේ ආයතනික සමාජ වගකීම් භාරය විසින් ආරම්භ කළ ව්‍යාපෘතිය පසුගියදා සම්පූර්ණ කළේය.

මෙවැනි පරිසර හිතකාමි වැඩසටහන් ක්‍රියාත්මක කිරීම වෙනුවෙන් හොඳම තිරසාරාත්මක හරිත වැඩසටහන යන සම්මානයෙන් මෑතකදී මුම්බායි නුවර පැවති 2015 Asian Customer Engagement Forum (ACEF) හිදී කොමර්ෂල් බැංකුව ජාත්‍යන්තර සම්මානයෙන් පිදුම් ලැබීය.

නව අදහස දක්වන්න