විදෙස් ගමන් ගියේ අනුමැතිය ඇතිවයි -පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ උපකුලපති මහාචාර්ය එම්.ඩී. ළමාවංශ කියයි | දිනමිණ

විදෙස් ගමන් ගියේ අනුමැතිය ඇතිවයි -පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ උපකුලපති මහාචාර්ය එම්.ඩී. ළමාවංශ කියයි

විදේශ සංචාර සඳහා තමා සහ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ කාර්ය මණ්ඩලය විදෙස් ගමන් සඳහා සහභාගී වූයේ අවශ්‍ය අනුමැතිය ලබාගෙන පමණක් බව එම විශ්වවිද්‍යාලයේ උපකුලපති මහාචාර්ය එම්.ඩී. ළමාවංශ මහතා සඳහන් කළේය.

'දිනමිණ' පුවත්පතේ ඊයේ (01) පළමු පිටුවේ “පේරාදෙණියේ උපකුලපති ළමාවංශගේ නව වැනි විදෙස් ගමන අත්හිටුවයි” හිසින් පළ වූ පුවත සම්බන්ධයෙන් කරුණු දක්වමින් ඒ මහතා මේ බව සඳහන් කර සිටියේය.

ඔහු වැඩිදුරටත් මෙසේද පැවසීය.

"උපකුලපති ලෙස අත්‍යවශ්‍යම වූ සංචාරයන් සඳහා මා සහභාගී වන අතර, මා උසුලන සාර්ක් රටවල ශල්‍ය වෛද්‍ය සංගමයේ සභාපති වැඩ කටයුතු සඳහා ද විදේශගත වීමට සිදු වේ. විශ්වවිද්‍යාලය ජාත්‍යන්තර තලයෙහි තවත් ඉහළට ගෙන යාම මෙම සංචාරවල අරමුණයි. පේරාදෙණිය විශ්වවිද්‍යාලය ජාත්‍යන්තර ශ්‍රේණිගත කිරීම් අනුව ලෝක විශ්වවිද්‍යාල අතරින් මුල් සියයට 5ට ඇතුළත් වන අතර, QS ශ්‍රේණිගත කිරීම් අනුව ලෝකයේ ඉහළම සියයට 10 විශ්වවිද්‍යාල අතර වැජඹේ. 2022, ශ්‍රී ලංකාවේ මුල් වරට සහ එකම ශ්‍රී ලාංකේය විශ්වවිද්‍යාලය ලෙස අමෙරිකාවේ (US News) ශ්‍රේණිගත කිරීම් අනුව 901 වැනි ස්ථානය ලබා ගෙන ඇත. පිළිගත් ලෝක විශ්වවිද්‍යාල අතරින් මෙම ශ්‍රේණිගත කිරීමට මූලික සුදුසුකම් ලබා ඇත්තේ විශ්වවිද්‍යාල 2,000ක් පමණි. අන්තර්ජාල ශ්‍රේණිගත කිරීම් (වෙබෝමෙට්‍රික්) අනුව ශ්‍රී ලංකාවේ 2/3 අතර, පේරාදෙණිය විශ්වවිද්‍යාලය පවතී. එහිදී ප්‍රමුඛත්වය දෙන්නේ අන්තර්ජාලය භාවිතයෙන් කරනු ලබන විශ්වවිද්‍යාල කාර්යයන්ය. පර්යේෂණ සහ අධ්‍යයන කටයුතුවලට පිරිනමන ලකුණු ප්‍රමාණය සාපේක්ෂව අඩුය. මා විදේශ ගමන්වලට සහභාගී වන්නේ පුහුණුවීම් සඳහාම පමණක් නොව, අන්තර්ජාතික සහයෝගීතාවයන් පුළුල් කර ගැනීම සඳහාය. මෙම සියලු විදේශ ගමන් සඳහා ඒ ඒ රටවලින් හා ආයතනවලින් ප්‍රතිපාදන ලැබුණු අතර, දේශීය රාජ්‍ය මුදල් කිසි විටකත් භාවිත නොකරන ලදී. පුවත්පතේ ප්‍රකාශ කර ඇති පරිදි නොව, මම සහ මා සමඟ විදේශ සංචාරවලට සහභාගී වූ කාර්ය මණ්ඩලය අවශ්‍ය අනුමැතියන් ලබාගෙන පමණක් එවැනි සංචාරවල නිරත වූ බව ඉතා වගකීමෙන් යුතුව ප්‍රකාශ කර සිටිමි."

නව අදහස දක්වන්න