ඉන්දු - ලංකා සබඳතාවලට ආර්ථික ඒකාබද්ධතාවය වැදගත් | දිනමිණ

ඉන්දු - ලංකා සබඳතාවලට ආර්ථික ඒකාබද්ධතාවය වැදගත්

ඉන්දියාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් මිලින්ද මොරගොඩ

ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර පවතින සුවිශේෂී සබඳතා වැඩිදියුණු කිරීම සඳහා ආර්ථීක ඒකාබද්ධතාවය ප්‍රධාන බව ඉන්දියාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් මිලින්ද මොරගොඩ මහතා පෙන්වා දෙයි.

මිලින්ද මොරගොඩ මහතා මහෝව්හි පිහිටි ඉන්දීය ආරක්ෂක හමුදා පුහුණු විද්‍යාලයේ ආරාධනයෙන් එහි පැවැති විශේෂ දේශනයකට සහභාගි වූ අතර, එහිදී ඔහු මේ බව සඳහන් කර තිබේ. එහිදී හමුදා පුහුණු විද්‍යාලයේ සේනා විධායක ලුතිනන් ජෙනරාල් දේවේන්ද්‍ර ප්‍රතාප් පාණ්ඩේ මහතා ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරීන් මහ කොමසාරිස්වරයා පිළිගත් අතර, පුහුණු පාසලේ පවතින පහසුකම් හා එහි වෘත්තීය ස්වභාවය පිළිබඳව දැනුම්වත් කළේය.

පුහුණුවන ආරක්ෂක අංශ නිලධාරීන් අමතා 'ශ්‍රී ලංකා ඉන්දීය සබඳතාවල මෑතකාලීන විකාශය' පිළිබඳව දේශනයක් කළ මොරගොඩ මහතා, ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර අනෙක් රටවල් ඉක්මවා ගිය සුවිශේෂ සබඳතාවයක් පවතින බවත්, සබඳතා වැඩිදියුණු කිරීම සඳහා ආර්ථීක ඒකාබද්ධතාවය ප්‍රධාන බවත් කියා සිටියේය. හෙතෙම එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් දෙරට අතර පවතින විශේෂ සබඳතා පුරාතනයේ සිට වර්තමාන තත්ත්වය දක්වා විහිදී ඇති අන්දමත් පවතින සබඳතාවල උපායමාර්ගික වැදගත්කම පිළිබඳවත් පුළුල් පැහැදිලි කිරීමක් කර තිබේ. ඉන්දියන් සාගරයේ ශ්‍රී ලංකාව සතු සුවිශේෂී පිහිටීම හා ඒ ඔස්සේ ලැබී ඇති උපායමාර්ගික වැදගත්කම අවධාරණය කළ මොරගොඩ මහතා, ආරක්ෂක තර්ජන සහ අභියෝගවලට විසඳුම් සෙවීම සඳහා ඉන්දීය සාගර කලාපයේ රටවල් එකමුතුව ක්‍රියා කිරීමේ අවශ්‍යතාව මෙහිදී පෙන්වා දුන්නේය.

මහින්ද අලුත්ගෙදර

නව අදහස දක්වන්න