SLT-MOBITEL ‘රට දිනන සිඟිත්තෝ’ වෙනුවෙන් HNB සමඟ අත්වැල් බැඳ ගනී | දිනමිණ

SLT-MOBITEL ‘රට දිනන සිඟිත්තෝ’ වෙනුවෙන් HNB සමඟ අත්වැල් බැඳ ගනී

ජාතික තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විසඳුම් සම්පාදක වන SLT-MOBITEL දේශයේ උන්නතිය වෙනුවෙන් තබන තවත් පියවරක් වශයෙන් හැටන් නැෂනල් බැංකුවේ රට දිනන සිඟිත්තෝ වැඩසටහන සමඟ අත්වැල් බැඳ ගැනීමට පසුගියදා කටයුතු කළේය. විදේශ රැකියාවල නියුතු පුද්ගලයන්ගේ දරුවන් සවිබල ගැන්වීමේ අරමුණින් හැටන් නැෂනල් බැංකුව මේ සුවිශේෂී වැඩසටහන ආරම්භ කර තිබේ.

ශ්‍රී ලංකාව මේ වනවිට ආර්ථික හා සමාජයීය අභියෝග ඇතුළු අභියෝග රාශියකට මුහුණ දී සිටී. මේ අභියෝග ජය ගනිමින් රටේ ආර්ථික තත්ත්වය යහපත් කිරීම සඳහා විදේශ සේවා නියුක්තිකයෝ අතිශය වැදගත් කාර්යභාරයක් ඉටු කරමින් සිටිති. මේ පිරිස ඉටුකරන මෙහෙවර සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන්ගේ කැපවීම අගය කරමින් හැටන් නැෂනල් බැංකුව HNB Assurance සහ SLT-MOBITEL ප්‍රධාන හවුල්කරුවන් ලෙස සම්බන්ධ කර ගනිමින් ‘රට දිනන සිඟිත්තෝ’ වැඩසටහන ආරම්භ කළේය. මේ වැඩසටහනට මඟ පෙන්වීම සඳහා අධ්‍යාපන අමාත්‍යාංශය, කාන්තා, ළමා කටයුතු හා සමාජ සවිබල ගැන්වීම් අමාත්‍යාංශය, කම්කරු හා විදේශ රැකියා අමාත්‍යාංශය සහ ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය එක් වී සිටී.

විදේශ රැකියා නියුක්තිකයන්ගේ දරුවන් චිත්‍ර කලාව, නර්තනය, ගායනය සහ ලේඛනය සම්බන්ධයෙන් දක්වන දක්ෂතා අගයමින්, ඔවුන්ට ත්‍යාග පිරිනමමින්, ඔවුන් තවදුරටත් දිරිමත් කිරීම අරමුණු කරගත් දීප ව්‍යාප්ත වැඩසටහනක් වශයෙන් ‘රට දිනන සිඟිත්තෝ‘ වැඩසටහන ක්‍රියාත්මක වේ.

ජාතික තලයේ වැඩසටහන්වලට අත්වැලක් වීමට සෑම විටම ඉදිරිපත් වන සන්නාමයක් වශයෙන්, ඉදිරියේදීත් මෙවැනි වැඩසටහන්වලට තම දායකත්වය දීමටත්, ඒ ඔස්සේ ශ්‍රී ලංකාව ඩිජිටල්කරණයේ මීළඟ අදියර වෙත රැගෙන යෑමේ මෙහෙවර තුළ අඛණ්ඩව පෙරමුණ ගැනීමටත් SLT-MOBITEL කටයුතු කරමින් සිටී.

නව අදහස දක්වන්න