අම්මගේ තනි නොතනියට හිටිය අයියගේ මරණය දරාගන්න බෑ | දිනමිණ

අම්මගේ තනි නොතනියට හිටිය අයියගේ මරණය දරාගන්න බෑ

උදුලා පීරිස්

"මේ මිය ගිහින් ඉන්නේ මගේ අයියා. අපි දෙන්නා පොඩි කාලේ ඉඳලා එකටමයි සිටියේ. අයියගේ රස්සාව ගොවිතැන. අයියා අම්මට හොඳින් සැලකුවා. අසල්වැසියන් සමඟ අයියා සමීපව ඇසුරු කළා. අයියගේ මියයෑම මට දරාගන්න බෑ. විවාහයක්වත් කරගන්නේ නැතිව අම්මගේ තනි නොතනියට හිටිය අයියගේ මියයෑම මට වගේම අම්මටත් වාවගන්න බෑ. මේ හින්දා අම්මා අද අන්ත අසරණ තත්ත්වයට පත් වෙලා." යැයි මරණකරුගේ මල්ලී වන අධිකාරි මුදියන්සේලාගේ ඉරේෂ් එරන්ද මහතා කීය.

රිය අනතුරක් හේතුවෙන් මරණයට පත්ව සිටින අධිකාරි මුදියන්සේලාගේ යසිත් දිල්ෂාන් අධිකාරි (29) මහතාගේ මරණය සම්බන්ධයෙන් සාක්ෂි දෙමින් ඉරේෂ් එසේ පැවැසීය.

මේ මරණ පරීක්ෂණය කොළඹ ජාතික රෝහලේ හදිසි මරණ පරීක්ෂක නීතිඥ එම්. රූමි අශ්රෆ් මහතා ඉදිරියේ කොළඹ නාගරික හදිසි මරණ පරීක්ෂණ කාර්යාලයේදී පසුගියදා පැවැත්විණි. බිංගිරිය පොලිසියේ පොලිස් සැරයන් (62816) ප්‍රියන්ත මහතා සාක්ෂි මෙහෙය වූ අතර, කොළඹ විස වෛද්‍ය ආයතනයේ වෛද්‍ය එස්. යූ. එන්. පෙරේරා මහතා මරණයට හේතුව ලෙස සඳහන් කළේ රිය අනතුරේ අතුරු ආබාධ නිසා සිදු වූ මරණයක් බවයි.

වෑන් රථයේ රියැදුරු පුංචි හෙට්ටිආරච්චිලාගේ සුදත් රෝහණ (48) මහතා ද මෙහිදී සාක්ෂි දෙමින් මෙසේ කීවාය.

"මට අයිති අංක 51-2525 දරන මෝටර් රථය පදවාගෙන සවස 7.30ට විතර වෙන්නප්පුව සිට බිංගිරිය දෙසට යමින් සිටියා. එවිට බෝවින්න පසු වූ විට අයබරු මාර්ගයේදී ඉදිරියෙන් ආ අත් ට්‍රැක්ටරය මගේ දෙසට පැමිණ වෑන් රථයේ වැදුණා. එක පාරටම මහා සද්දයක් ඇසුනා. ඒත් මට හිතුනේ නෑ ට්‍රැක්ටරය මගේ වාහනේ හැප්පිලා මේ සද්දය ඇහුනේ කියලා. හැප්පුනාට පසුව තමයි මට ඒ බව තේරුණේ. ඒ වෙලාවේ අත් ට්‍රැක්ටරයේ රියැදුරු එතැනම හිටියා. ඔහුට අමාරු බව මට තේරුණා.

පස්සෙ ප්‍රදේශවාසීන් සමඟ කතාබහ කරගෙන එ‍ෙවලේම ට්‍රැක්ටරයේ රියැදුරු හලාවත රෝහලට ඇතුළත් කළා. මම එදා ගෙදර ගියා. පහුවදා රෝහල්ගත කළ රියැදුරුට අමාරු වෙලා කොළඹ ජාතික රෝහලට මාරු කර යවා තියෙනවා. එහිදී ඔහු මිය ගිය බව ආරංචි වුණා."

නව අදහස දක්වන්න