පළමු කාර්තුවේ වෙළෙඳ භාණ්ඩ අපනයන ආදායම ඩො.මිලියන 3,249 දක්වා ඉහළට | දිනමිණ

පළමු කාර්තුවේ වෙළෙඳ භාණ්ඩ අපනයන ආදායම ඩො.මිලියන 3,249 දක්වා ඉහළට

ශ්‍රී ලංකාව තුළ ආර්ථික අර්බුදයක් පැවතිය ද මේ වසරේ පළමු කාර්තුවේදී වෙළෙඳ භාණ්ඩ අපනයන ආදායම අමෙරිකානු ඩොලර් මිලියන 3,249ක් දක්වා ඉහළ ගොස් තිබේ.

පසුගිය වසරේ එම කාලයේදී මෙරට වෙළෙඳ භාණ්ඩ අපනයන ආදායම අමෙරිකන් ඩොලර් මිලියන 2,982ක් වාර්තා කර තිබෙන නමුත් මේ වසරේදි එය සියයට 9ක වර්ධනයක් අත් කර ගෙන තිබෙන බව ශ්‍රී ලංකා මහ බැංකුව ප්‍රකාශ කරයි.

පසුගිය වසරේ මාර්තු මාසයේදී පමණක් වෙළෙඳ භාණ්ඩ අපනයන අමෙරිකන් ඩොලර් මිලියන 1,094ක් වාර්තා කර තිබෙන නමුත් මේ වසරේ මාර්තු මාසයේදී අපනයන ආදායම සියයට 3.4කින් පහළ ගොස් තිබේ. ඒ අනුව මේ වසරේ මාර්තු මාසයේදී වෙළෙඳ භාණ්ඩ අපනයන ආදායම අමෙරිකන් ඩොලර් මිලියන 1,057ක් වී ඇත.

ඒ අනුව මේ වසරේ මාර්තු මාසයේදී අපනයන ඉපැයීම්, වසරකට පෙර පැවති අගයට සාපේක්ෂව සුළු අඩු වීමක් වාර්තා කළ ද අඛණ්ඩව දස වැනි මාසයටත් අමෙරිකන් ඩොලර් බිලියනය ඉක්මවා ගියේය. මේ අතර, ආනයන වියදම්, 2021 වසරේ පෙබරවාරි මාසයෙන් පසු පළමු වරට පෙර වසරේ අනුරූප කාලපරිච්ඡේදයට සාපේක්ෂව කැපී පෙනෙන අඩු වීමක් වාර්තා කර තිබෙන බව ද ශ්‍රී ලංකා මහ බැංකුව නිකුත් කළ නවතම වාර්තාවක් මඟින් පෙන්වා දෙයි.

එහි ප්‍රතිඵලයක් ලෙස, වෙළෙඳ හිඟය, පෙර වසරේ අනුරූප කාලපරිච්ඡේදයට සාපේක්ෂව 2022 වසරේ මාර්තු මාසයේදී පහළ ගොස් තිබෙන අතර, සංචාරක පැමිණීම් සහ විදේශ සේවා නියුක්තිකයන්ගේ ප්‍රේෂණ, පෙර මාසයට සාපේක්ෂව, 2022 වසරේ මාර්තු මාසයේදී කැපී පෙනෙන වර්ධනයක් පෙන්නුම් කළේය. 2022 වසරේ මාර්තු මාසය තුළදී කොළඹ කොටස් වෙළෙඳපොළ වෙත ලැබුණු විදේශ ආයෝජනයන්හි ශුද්ධ ලැබීමක් වාර්තා විය.

දේශීය විදේශ විනිමය වෙළෙඳපොළ තුළ අන්තර් දින විනිමය අනුපාතිකයෙහි යම් ඉහළ විචලනයක් ඇති වීම වැළැක්වීමේ අරමුණින් මහ බැංකුව විසින් 2022 වසරේ මැයි මස 13 දා සිට අන්තර් බැංකු බර තැබූ සාමාන්‍ය එතැන් විනිමය අනුපාතිකයෙහි මධ්‍යය අනුපාතිකයක් සහ විචලන සීමාව ප්‍රකාශයට පත් කිරීම ආරම්භ කළ බව ද ශ්‍රී ලංකා මහ බැංකුව කියා සිටී.

මහින්ද අලුත්ගෙදර

නව අදහස දක්වන්න