සිරිලක පැරැණිම සෙල්ලිපි උත්තිය රජුගේද? | දිනමිණ

සිරිලක පැරැණිම සෙල්ලිපි උත්තිය රජුගේද?

ශ්‍රී ලංකාවේ අක්ෂර කලාව පිළිබඳ අධ්‍යයනය කළ උගතුන් බොහෝ ඈත කාලයක සිටම ලාංකිකයන් අතර අක්ෂර පිළිබඳ අවබෝධයක් තිබූ බවට අදහස් පළකොට තිබේ. බොහෝ විට සාහිත්‍ය මූලාශ්‍ර හා යම් යම් පුරාවිද්‍යාත්මක මූලාශ්‍ර මත පදනම්ව ඔවුහු මේ අදහස් පළකරති. බොහෝ දෙනකුගේ මතය වන්නේ මෙරට අක්ෂර භාවිතය ඇරැඹෙන්නේ මිහිඳු තෙරුන්ගේ ලංකාගමනයත් සමඟ බවය. නමුත් බොහෝ ඈත අතීතයේ සිටම මෙරට අක්ෂර මාලාවක් පැවැති බවට මහාවංසය ආදි මූලාශ්‍රවල ඇති ඇතැම් කරුණුවලින් පැහැදිලිය. බොහෝ විට එය විජයාවතරණය සිදු වූ ඈත අතීතය තෙක් දිවෙන්නකි. අනුරාධපුර ඇතුල් නුවර සල්ගහවත්ත ආශ්‍රිතව සිදු කරන ලද කැණීම්වලින් සොයා ගත් මැටි බඳුන් කැබලි ආදි සාධක ඔස්සේ මිහිඳු මහ තෙරුන්ගේ ලංකාගමනයටත් පෙර සිටම ලක්දිව අක්ෂර භාවිතයක් පැවැති බව පුරාවිද්‍යාඥයන් විසින් මේ වන විට පෙන්වා දී තිබේ.

මහාචාර්ය තෙන්නකෝන් විමලානන්ද සූරීන්ගේ අදහස වන්නේ අශෝක රජු ස්වකීය ආඥාවන් පර්වතවල හා ස්තම්භවල කොටවා තැබූ කාලයට පෙර ම ලංකාවාසීන් ලේඛන විද්‍යාව දැන සිටි බවය. බියුලර් පඬිතුමා ද කල්පනා කොට ඇත්තේ භාරතීය ධර්ම දූතයන් අශෝක සමයේ දී බ්‍රාහ්මී අක්ෂර මාලාව සිරිලකට ගෙනෙන්නට පෙර ම බ්‍රාහ්මී අක්ෂර මාලාව ශ්‍රී ලංකාවට දකුණු ඉන්දියාව ඔස්සේ ලැබෙන්නට ඇති බවය. මහාචාර්ය පී.ඊ.ඊ.ප්‍රනාන්දු සූරීන් තබා ඇති සටහන ද මේ සාකච්ඡාවේ දී වැදගත්ය.

“...බ්‍රාහ්මී අක්ෂරමාලාව සමහර විට මොහෙන්ජො-දාරෝ අක්ෂරවලින් සකස් වී තදනන්තරව කාලයාගේ ඇවෑමෙන් දකුණු ඉන්දියාවට සංක්‍රමණය වී බ්‍රාහ්මී අක්ෂරයන්ගේ දක්ෂිණ භාරතීය විශේෂය වන්නට ඇත. ඉතා පුරාණයෙහි පටන් ඉන්දියාවේ එකී ප්‍රදේශය සහ ලංකාව අතර පැවැති සබඳකම්වල ප්‍රතිඵලයක් වශයෙන් මේ අක්ෂරමාලාව ලංකාවෙහි භාවිතයට එන්නට ඇත...”

ලංකාවේ බ්‍රාහ්මී අක්ෂර භාවිතය වඩාත් ප්‍රචලිත වූයේ මිහිඳු තෙරුන් ගේ ලංකාගමනයට සමගාමී ව ය. භික්ෂූන් වහන්සේගේ සම්ප්‍රාප්තිය සමඟ ආ ආභාසය ලැබීමෙන් අනතුරු ව පොහොසත් වූ බ්‍රාහ්මී අක්ෂර මාලාව මහජනයා අතර ව්‍යාප්ත වූ බවට රටේ සෑම තැනම පාහේ හමුවන ලෙන් ලිපි සමූහය පමණක් ම දෙස් දෙන බව මහාචාර්ය පී.ඊ.ඊ.ප්‍රනාන්දු සූරීන් වැඩිදුරටත් පෙන්වා දී තිබේ. එහෙයින් ශ්‍රී ලංකාවේ පැරැණිම ශිලා ලේඛන යැයි අපට කල්පනා කළ හැකි ලේඛන හමුවන්නේ බෞද්ධ භික්ෂූන් වහන්සේලා වෙනුවෙන් අතීතයේ දී කරවන ලද විහාරාරාම හා සබැඳි ලෙන් ආශ්‍රිතවය.

ලෙන් ඇසුරු කොට දක්නට ලැබෙන මේ ආකාර ලිපි ඉතා කෙටි ඒවාය.ලෙනේ කටාරම ඇසුරු කොටගෙන කරවන ලද ප්‍රස්තුත ලිපිවල ලෙන පූජා කරන්නාගේ නම, ඔහුගේ තනතුර, පරම්පරාව ආදි කරුණු අඩු වැඩි වශයෙන් දක්නට ලැබේ. මෙබඳු බොහෝ ලිපිවල පෙනෙන පොදු ලක්ෂණයක් වන්නේ දායකයා සිය පූජාව ‘අගත අනගත චතුදිශ ශගශ දිනෙ’ යනුවෙන් ‘පැමිණි නො පැමිණි සිව් දිග සංඝයාට පූජා කරන ලදි’ යන පාඨය සහිතව පූජා කිරීමය. පැරැණි තනතුරු නාම, වෘත්තීන්, පරම්පරා, ඇතැම් ආගමික හා සමාජ කාරණා මතු කර ගැනීමේ දී ද ප්‍රස්තුත ලෙන් ලිපිවලින් සැලැසෙන සේවය මිල කළ නොහැක්කකි.

එසේ ම ඇතැම් අවස්ථාවල මෙබඳු ශිලා ලේඛනවලින් මතු කෙරෙන ඓතිහාසික කාරණා සාහිත්‍ය මූලාශ්‍රවලින් මතු කර ගැනීමට නො හැකි තරමේ ඒවාය. මුලින් සඳහන් කළ ආකාරයෙන් ශ්‍රී ලංකාවේ ශිලා ලේඛන කරවීම වඩාත් ප්‍රචලිත ව පැතිර ගියේ මිහිඳු මහතෙරුන් ගේ ලංකාගමනයත්, එය ඇසුරු කොට සිදු වූ බෞද්ධ ආගමික ප්‍රබෝධයත් හේතුවෙන් බව අපි දනිමු. මිහිඳු තෙරුන්ගේ ලංකාගමනය සිදුවන්නේ ක්‍රි.පූ.250-210 පමණ කාලයේදීය. මේ වන විට මෙරට පාලකයා වශයෙන් කටයුතු කරන ලද්දේ දේවානම්පියතිස්ස රජුය. ඔහුගෙන් පසු රජ වන්නේ සොයුරු උත්තියය. මෙරට පැරැණි ම ශිලා ලේඛන යැයි අභිලේඛන විශේෂඥයන් විසින් හඳුනා ගන්නා ලිපි දෝලනය වන්නේ මේ රජුන් දෙදෙනා ගේ රාජ්‍ය කාලයන් මත ගැටෙමිනි.

මේ කාරණාව සම්බන්ධයෙන් අදහස් දක්වන ඇතැම් උගතුන් පෙන්වා දෙන්නේ මේ වන විට හමු වී ඇති පැරැණිම ශිලා ලේඛන දේවානම්පියතිස්ස රජු ගේ කාලයට අයත් වන බව යි.නිදසුන් වශයෙන් ඔක්කම්පිටියේ පඤ්ඤාසාර හිමියන් ස්වකීය ‘සිංහල අක්ෂර රූප විකාසය හා භාරතීය ආභාසය’ නමැති කෘතියේ දැනට ලැබී ඇති පැරැණි ම ශිලාලේඛන දේවානම්පියතිස්ස රාජ්‍ය සමයට අයත් ශිලා ලිපි හතරක් බව සටහන් කොට තිබේ. මිහින්තලේ ශිලාලේඛන දෙකකුත්, පිච්චන්දියාවෙන් හමු වී ඇති ශිලාලේඛන දෙකකුත්ය.

කොත්මලේ අමරවංශ හිමියන් ද ස්වකීය ‘ලක්දිව සෙල්ලිපි’ නමැති ග්‍රන්ථයේ සටහන් කොට ඇත්තේ මිහින්තලේ අංක 2 දරන ලිපිය පිච්චන්දියාව ලිපිය වැනි ඉපැරැණි බ්‍රාහ්මී අකුරින් කොටා ඇති දෙවනපෑතිස් රජුගේ යයි කිව හැකි ලෙන් ලිපි දැනට ලැබී ඇති ලිපි අතුරෙන් ආදිම ලිපි ය යි නිගමනය කළ හැකි බවය.

එසේ ම නන්දසේන මුදියන්සේ සූරීන් විසින් 1962 වසරේ සඟරාවකට ලියූ ලිපියක සඳහන්ව පැවැති කරුණු කීපයක් පිළිබඳව ද අමරවංශ හිමියෝ අවධානය යොමු කොට තිබේ.

“සිංහල අකුරුවල ඉතිහාසය” පිළිබඳව සාරගර්භ ලිපියක් සපයන විද්‍යාලඞ්කාර විශ්වවිද්‍යාලයේ කථිකාචාර්ය නන්දසේන මුදියන්සේ මහත්මා අක්ෂර අතින් මීට ද වඩා පැරණිය යි සැලකිය හැකි සෙල්ලිපි කීපයක් ඇති බවක් කියයි. ඒවා නම්, පිච්චන්දියාව සෙල්ලිපි දෙක හා කොල්ලදෙණියසෙල් ලිපියයි.

මේවායෙහි “දෙවන පිය මහරජ” යනුවෙන් සඳහන් වුව ද එනමින් පසු කල ද රජවරුන් ගණනාවක්ම රජ බවෙහි සිටි බැවින් ඔහු නිසැකව ම හඳුනාගත නො හැකිය. අක්ෂර තත්ත්වය ගැන සලකා බලන විට මේ ලිපි දෙවන පෑතිස් නිරිඳුගේ රාජ්‍ය කාලයට අයත් කළ හැකිය” යි ද ඒ මහතා කියයි....”

නමුත් ශ්‍රී ලංකාවේ පැරැණි ම ශිලාලේඛන දේවානම්පියතිස්ස රාජ්‍ය සමයට අයත් කොට දැක්වීමට මැලිකමක් දක්වන ඇතැම් උගතුන් පවසන්නේ මේ වන විට හමු වී ඇති පැරැණි ම ශිලා ලේඛන අයත් වන්නේ දේවානම්පියතිස්ස රාජ්‍ය සමයට නොව දෙවනපෑතිස් රජුගෙන් පසුව බලයට පත් වූ උත්තිය රජුගේ සමයට බවය. නිදසුන් වශයෙන් ඩබ්ලිව්.ඇස්.කරුණාරත්න සූරීන් විසින් රචනා කරන ලද ‘සිංහල ශිලාලෙඛන’ නමැති කෘතියේ සඳහන් කර ඇත්තේ මේ තාක් සොයාගන්නා ලද ශිලා ලිපිවලින් දේවානම්පියතිස්ස රජතුමා ගේ ම යැයි අනුමාන කළ හැකි ලිපි එකක් දෙකක් තිබෙතත් එය නිසැකයෙන් ම කිව නො හැකි බවය.

ඔහු වැඩිදුරටත් පෙන්වා දෙන්නේ ඉතාම පුරාණ ලිපිය ලෙස ගණන් ගත හැක්කේ දෙවනපෑතිස් රජතුමා ගේ සහෝදරයකු වන උත්තිය රජු ගේ නම ‘දෙවනපිය මහරජ ගමිණි උති’ යනුවෙන් සඳහන් ව ඇති මිහින්තලේ තිබෙන ලිපිය බවය. මහාචාර්ය සෙනරත් පරණවිතාන සූරීන් ද පෙන්වා දෙන්නේ සිංහල අභිලේඛන තුළින් සැකයකින් තොරව හඳුනා ගත හැකි ආදිත ම රජු වන්නේ ‘උත්තිය රජු’ බවය.

ඒ හැර මහාචාර්ය නන්දසේන මුදියන්සේ සූරීන් විසින් සටහන් කොට ඇත්තේ පෙරියපුලියන් කුළමෙන් ලැබුණු ලිපි සතර ද උත්තිය නම් රජ කෙනෙකුගේ කාලයට අයත් කිරීමට හැකි බවය. එහෙත් මේ ලිපිවල උති රජ යනුවෙන් මිස උති මහරඣ යනුවෙන් සඳහන් ව නොමැති බව ඔහු වැඩි දුරටත් සඳහන් කොට තිබේ.

මේ අනුව ශ්‍රී ලංකාවේ මෙතෙක් හමු වී ඇති ශිලාලේඛනවලින් පැරැණිතම යැ යි අභිලේඛන විශේෂඥයින් විසින් හඳුනා ගන්නා ශිලා ලේඛන ප්‍රධාන වශයෙන් රාජ්‍ය සමයන් දෙකක් අතර මතවාදීව ගැටෙමින් පවත්නා බව පැහැදිලි ය. ඒ දේවානම්පියතිස්ස රාජ්‍ය සමය හා උත්තිය රාජ්‍ය සමය අතරය.

කරුණු එසේ වුවත්, මේ වන විට අනාවරණය වී ඇති තොරතුරු අනුව ලංකාවේ ශිලාලේඛන කරවීමේ නවමු ප්‍රබෝධය මිහිඳු තෙරුන් ගේ ලංකාගමනයත් ඒ ඇසුරු කොට ඇති වූ බෞද්ධාගමික බලපෑමත් මත සිදු වූයේ යැ යි යන කාරණාව පිළිගැනීමට එයින් බාධාවක් නොවන බව පෙනේ.

 

ශකිල රාජකරුණා

 

නව අදහස දක්වන්න