සිගරැට් මිල ඉහළට? | දිනමිණ

සිගරැට් මිල ඉහළට?

සන්ධ්‍යා කරුණාරත්න
සුභාෂිණී සේනානායක

දුම්වැටියක මිල තීරණය කිරීම සඳහා ඉදිරිපත් කළ මිල සූත්‍රය හේතුවෙන් ඉදිරි අයවැයේදී දුම්වැටි මිල ඉහළ යා හැකි බව දුම්කොළ හා මද්‍යසාර පිළිබඳ ජාතික අධිකාරියේ සභාපති වෛද්‍ය සමාධි රාජපක්ෂ මහතා පැවැසුවේය.

මිල සූත්‍රයට අනුව සෑම වසරකම දුම්වැටියක මිල ඉහළ යෑම වන බවත් ඉතිහාසයේ ප්‍රථම වතාවට දුම්වැටි මිලදී ගැනීම අධෛර්යමත් කිරීම සඳහා මෙලෙස මිල සූත්‍රයක් සකස් කර තිබෙන අතර, එය සෞඛ්‍ය ඇමැතිවරයා හරහා කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරන බවත් ඒ මහතා ප්‍රකාශ කළේය.

එළැඹෙන අයවැයෙන් පසුව දුම්වැටියක මිල රුපියල් 4කින් හෝ 5කින් ඉහළ යන අතර, ඉදිරි වසර පහ තුළදී දුම්වැටියක් දැනට පවතින මිලට වඩා රුපියල් 20කින් ඉහළ යන බවද හෙතෙම පැවසීය. දුම්වැටි භාවිතය හේතුවෙන් දිනකට 60ක් මරණයට පත් වන අතර, වාර්ෂිකව පුද්ගලයන් 22,000ක් පමණ මරණයට පත් වන බවත් ජනතාවගේ ජීවිත ආරක්ෂාව වෙනුවෙන් මේ මිල සූත්‍රය ඉදිරිපත් කළ බවත් ඔහු කීය.

දුම්වැටියේ මිල සූත්‍රය ක්‍රියාවට නැංවීම වැළැක්වීම සඳහා දුම්කොළ සමාගම දැඩි උත්සාහයක් දරන බවත් දුම්වැටියක මිල තීරණය කිරීම සඳහා විද්‍යාත්මක සහ විනිවිදභාවයකින් යුතු මිල සුත්‍රයක් ඉදිරිපත් කර ඇති බවත් ඒ මහතා ප්‍රකාශ කළේය.

නව අදහස දක්වන්න