ශ්‍රී ලංකාව - ඔස්ට්‍රේලියාව අද සුපිරි 12 දෙවැනි ගැටුමේ | දිනමිණ

ශ්‍රී ලංකාව - ඔස්ට්‍රේලියාව අද සුපිරි 12 දෙවැනි ගැටුමේ

විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි 12 වටයේ පළමු කාණ්ඩය යටතේ ශ්‍රී ලංකා කණ්ඩායම අද (28) ඔස්ට්‍රේලියාවට එරෙහිව ඩුබායිහිදී තරග බිමට පිවිසෙයි.

මේ තරගය මෙරට වේලාවෙන් රාත්‍රී 7.30ට ආරම්භ වීමට නියමිතය.

සුපිරි 12 වටයේදී මේ කණ්ඩායම් දෙකම ක්‍රීඩා කරන දෙවැනි තරගය මෙයයි.

පළමු වටයෙන් තරග කරමින් එක් වූ තරග 3ම ජය ගෙන එම කාණ්ඩයේ පෙරමුණ ගෙන සුපිරි 12 අතරට එක් වූ ශ්‍රී ලංකා පිල එහි පළමු තරගයේදී බංග්ලාදේශය පරාජය කරමින් ජයග්‍රාහී මානසිකත්වයකින් අද තරගයට එක් වෙයි. ඍජුවම සුපිරි 12ට එක් වූ ඔස්ට්‍රේලියාව අද තරගයට එක් වන්නේ සහභාගි වූ පළමු තරගයෙන් දකුණු අප්‍රිකාව කඩුලු 5කින් පරාජය කරමින් දැඩි විශ්වාසයකින් යුතුවය.

විස්සයි20 පිටියේදී 16 වරක් හමුව ඇති මේ දෙපිල ලෝක කුසලාන තරග බිමේදී හමුවන්නේ සිව්වැනි වරටය. එහිදී තරග දෙකක් ජය ගැනීමට ඔස්ට්‍රේලියාව සමත්ව ඇති අතර, ශ්‍රී ලංකාව (2009) එක් තරගයක් ජය ගෙන තිබේ.

විස්සයි20 තරග ඉතිහාසයේ දෙපිල අතර, මෙතෙක් පැවැති තරග 16න් තරග 8 බැගින් ජය ගැනීමට දෙපිලම සමත්ව සිටී. කෙසේ වෙතත් අද තරගයේදී කණ්ඩායම් දෙක හමුවන්නේ වසර 2කට පසුව වන අතර, ඒ් නිසා ශ්‍රී ලංකා පිලට නවකයන් රැසක් එක්ව සිටීම ද වාසියක් වනු ඇත. අවසන් වරට 2019 වසරේ නොවැම්බර් මස ශ්‍රී ලංකා කණ්ඩායම ඔස්ට්‍රේලියාවේ තරග සංචාරයක නිතර විය. එම තරගාවලිය 3-0කින් ඔස්ට්‍රේලියාව ජය ගත් අතර, 2017 සංචාරයේදී ශ්‍රී ලංකා පිල අවසන් වරට සත්කාරක ඔස්ට්‍රේලියාව 2-1කින් පරාජය කර තිබේ. මෙවර ලෝක කුසලාන තරගාවලියේ සුපිරි 12 අතරට ඍජුවම එක් වීමට ශ්‍රී ලංකා කණ්ඩායමට නොහැකි වුවද පළමු වටයේ තරගාවලිය විශිෂ්ට අයුරින් ජය ගනිමින් සුපිරි 12ට එක් විය. එහි පළමු තරගය ජය ගනිමින් පිතිකරණ අනුපිළිවෙළ සකසා ගැනීමට ද මේ වන විට දසුන් ශානක ප්‍රමුඛ කණ්ඩායමට හැකි වී තිබේ. කෙසේ වෙතත් මේ ජයග්‍රාහී ගමන ඉදිරියට ගෙන යෑමට අද තරගයේදී හෝ ශ්‍රී ලංකා මුල් පෙළ පිතිකරුවන්ගෙන් ඉනිමට සාර්ථක ආරම්භයක් ලැබිය යුතුව තිබේ. ශ්‍රී ලංකා කණ්ඩායම මෙතෙක් සහභාගි වූ තරග හතරේදීම (පළමු වටයේ තරග 3 ද ඇතුළුව) ආරම්භක පිතිකරුවන්ට සාර්ථක සබඳතාවක් ගොඩනැඟීමට නොහැකි වී තිබේ. ඒ සෑම තරගයකදීම ශ්‍රී ලංකා මුල් කඩුලු 2ක් හෝ 3ක් අඩු ලකුණු ගණනකට බිඳ වැටිණි. මේ සියලු තරග ජය ගත්තේ මැද පෙළ පිතිකරුවන්ගේ විශිෂ්ට දස්කම් හේතුවෙනි. ඒ නිසා අද තරගයේදී හෝ ආරම්භක පිතිකරුවන්ගෙන් ඉනිමට සාර්ථක ආරම්භයක් ලැබිය යුතුය.

පැතුම් නිශ්ශංක, භානුක රාජපක්ෂ, චරිත් අසලංක සහ වනිඳු හසරංග මේ වන විට පිතිකරණයෙන් දස්කම් පෙන්වා ඇති අතර, කුසල් පෙරේරා සහ අවිශ්ක ප්‍රනාන්දුගෙන් කණ්ඩායමට වැඩි දායකත්වයක් හිමි විය යුතුය.

ශ්‍රී ලංකා පන්දු යවන්නෝ මේ වන විට සාර්ථකව තරගාවලියට අවතීර්ණ වී සිටිති. තරගාවලියේ කඩුලු ලාභීන් අතර, තෙවැනි සහ සිව්වැනි ස්ථාන හිමි කර ගැනීමට මහීෂ් තීක්ෂණ සහ ළහිරු කුමාර සමත්ව ඇත්තේ කඩුලු 8 බැගින් බිඳ දමමිනි. විශේෂයෙන් වනිඳු හසරංග සහ මහීෂ් තීක්ෂණ සම්බන්ධයෙන් ඔස්ට්‍රේලියාව වැඩි අවධානයක් යොමු කරනු ඇත.

ආබාධයක් හේතුවෙන් සුපිරි 12 පළමු තරගය අහිමි වූ දඟ පන්දු යවන ක්‍රීඩක මහීෂ් තීක්ෂණ අද තරගයට ක්‍රීඩා කරන බව පුහුණුකරු මිකී ආතර් ඊයේ පැවසීය. ඒ හේතුවෙන් වේග පන්දු යවන ක්‍රීඩක බිනුර ප්‍රනාන්දුට ස්ථානය අහිමි වීමට ඉඩ තිබේ.

මේ අතර, ආරොන් ෆින්ච්ගේ නායකත්වයෙන් යුත් ඔස්ට්‍රේලියාව ඩේවිඩ් වෝනර්, ස්ටීව් ස්මිත්, ග්ලේන් මැක්ස්වෙල්, මිචෙල් ස්ටාක් වැනි පළපුරුදු ක්‍රීඩකයන් වෙත වැඩි විශ්වාසයක් තබා තිබේ. දකුණු අප්‍රිකාව සමඟ තරගයේදී ස්මිත් ලකුණු 35ක් රැස් කරමින් වැඩිම ලකුණු ලාභියා වූ අතර, මිචෙල් ස්ටාක්, ජොෂ් හේසල්වුඩ් සහ ඇඩම් සම්පා කඩුලු 2 බැගින් දවා ගැනීමට සමත් වූහ. පැට් කමින්ස් ද ඔස්ට්‍රේලියානුවන්ගේ ප්‍රධාන තුරුම්පුවකි. ශ්‍රී ලංකා සංචිතය - දසුන් ශානක (නායක), කුසල් ජනිත් පෙරේරා, දිනේෂ් චන්දිමාල්, ධනංජය ද සිල්වා, පැතුම් නිශ්ශංක, චරිත් අසලංක, අවිශ්ක ප්‍රනාන්දු, භානුක රාජපක්ෂ, චාමික කරුණාරත්න, වනිඳු හසරංග, දුෂ්මන්ත චමීර, ළහිරු කුමාර, මහීෂ් තීක්ෂණ, බිනුර ප්‍රනාන්දු.

ඔස්ට්‍රේලියා සංචිතය - ආරොන් ෆින්ච් (නායක), ඩේවිඩ් වෝනර්, මිචෙල් මාෂ්, ග්ලෙන් මැක්ස්වෙල්, ස්ටීව් ස්මිත්, මාකස් ස්ටොයිනිස්, මැතිව් වේඩ්, පැට් කමින්ස්, මිචෙල් ස්ටාක්, ඇඩම් සම්පා, ජොෂ් හේසල්වුඩ්, ඇෂ්ටන් ඒගර්, මිචෙල් ස්වෙප්සන්, කේන් රිචඩ්සන්, ජොෂ් ඉන්ග්ලිස්.

නිරෝෂාන් ප්‍රියංකර

නව අදහස දක්වන්න