පළාත් සභා මැතිවරණය පැරැණි ක්‍රමයට පැවැත්වීමට සිදු වන බව කොමිසමේ සභාපති කියයි | දිනමිණ

පළාත් සභා මැතිවරණය පැරැණි ක්‍රමයට පැවැත්වීමට සිදු වන බව කොමිසමේ සභාපති කියයි

පළාත් සභා මැතිවරණය කඩිනමින් පවත්වනවා නම් පැරැණි ක්‍රමයට පැවැත්වීමට වැඩි ඉඩකඩක් තිබෙන බව මැතිවරණ කොමිසමේ සභාපති නීතිඥ නිමල් ජී. පුංචිහේවා මහතා ප්‍රකාශ කරයි. ඒ මහතා වැඩිදුරටත් ‘දිනමිණ‘ වෙත අදහස් දක්වමින් කියා සිටියේ. සුළු සුළු සංශෝධනත් සමඟ පැරැණි පළාත් සභා මැතිවරණ ක්‍රමයට තමයි ඉක්මනින් පවත්වනවා නම් මැතිවරණය පවත්වන්න හැකි වන්නේ.

අලුත් ක්‍රමයට නම් ඉක්මනින් මැතිවරණය පවත්වන්න නොහැකි වේවි. ගෙන එන නව නීති පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්න වෙනවා. එමෙන්ම සීමා නිර්ණ ප්‍රශ්න තිබෙනවා. මේවාට ගත වන කාලය කොපමණද කියා අපිට කියන්න බැහැ. ඒ නිසා පළාත් සභා මැතිවරණය කඩිනමින් පවත්වනවා නම් පැරැණි ක්‍රමයට තමයි පවත්වන්න වෙන්නේ.

පළාත් සභා මැතිවරණය සඳහා යන වියදම කොවිඩ් 19 තත්ත්වය අනුව වැඩි වන බව කියන්න පුළුවන්. ඒ අනුව ඡන්ද පොළවල, ඡන්දදායකයන් ඡන්දය දෙන්න එනවිට ලැබෙන සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුව කටයුතු කිරීමේදී වියදම ඒ අවස්ථාවේ තිබෙන තත්ත්වයත් සමඟ තමයි ඇස්තමේන්තු කරන්න හැකි වෙන්නේ.

අනුර ප්‍රේමලාල්

නව අදහස දක්වන්න